2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා

චිත්‍රපටය තිරයේ දසුන්ගේ පුටුව හිස්......

 2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 420

අපිට සොරි කියලා දසුන් හැංඟුණා

දේදුණු පාට තැවරුණු ජීවිතේ කැඩපත වූ දේදුණු ආකාසේ - ප්‍රියන්ත කොළඹගේ එයාගේ චිත්‍රපටයට දීලා තිබුණු ආමන්ත්‍රණය තමා ඒ. ආදරයේ හෘද සංවේදී කතා තේමාවක් ප්‍රස්තුත කරගත් දේදුණු ආකාසේ, සිනමා ආකාසයේ අමාවකට ඇත්තටම දේදුණු පාටක් අරන් එනවද නැද්ද කියලා ඔයාම විනිශ්චය කරන්න. එහෙම කීෙව් ඒ දේදුන්න ආකාසයේ පායන්නත් ඉස්සර ඒ පාට ගැන අපට හිතුණ, දැනුණ අැත්තම කියන්න - සුදු-අළු-කළු ගැන කියන්න තවමත් කල් වැඩි හින්දා. දේදුනු ආකාසේ බලන්න ගිය දවසේ අපට හේමාල් රණසිංහ චුලක්ෂි වගේම ටීනා ෂනෙල්වත් මුණගැසුණා.

නොගිහින් හිටිය නම් නොවැරදීම දසුන් නිශානුත් එදා එතන. එහෙම හිතෙද්දී නම් හිතෙනවා වෙලාවකට ජීවිතයත් සරදමක්ද කියලා. ටීනා හොල්මනක් විදිහට දේදුනු ආකාසේ පුරා සැරිසරද්දී ඒ විදිහටම දේදුණු ආකාසේ බලන්න දසුනුත් අපි අතරට ඇවිද්ද කියලත් ඒ මොහොතේ අපට හිතුණා. ඒ හැඟීම් ඔක්කොම දරාගෙන අපි ඉස්සරලම කතා කළේ හේමාල්ට.

හේමාල්

දේදුණු ආකාසේ චිත්‍රපටය ප්‍රියන්ත කොළඹගේ මහතාගේ නවතම අධ්‍යක්ෂණයක්. ඒක පවුලේ හැමෝටම එකට ඉඳගෙන නැරඹිය හැකි හරි අපූරු නිර්මාණයක්. ප්‍රියන්ත අයියා මට මේ චරිතයට කතා කරද්දී ඒ පිටපත දකිද්දී ඇත්තටම ඒක හොඳ නිර්මාණයක් වෙන බව මම තේරුම් ගත්තා. අනික එහි සහය අධ්‍යක්ෂණය කළේ ඩෝනල්ඩ් ජයන්තයන්. ඉතින් ප්‍රියන්ත අයියත් ඩොනල්ඩ් අයියත් නිසා මම මේක බාරගත්තා. ගිය අවුරුද්දේ තමයි අපි මේ නිර්මාණය රූගත කිරීම් කළේ. ඒ කාලය හරි සුන්දර කාලයක්. හැමෝම ටීම් වර්ක් එකක් විදිහට මේ වැඩේ කළා. අද ඒක හරි ලස්සන අපූරු නිර්මාණයක් වෙලා තියෙනවා. ඒ ගැන හරි සතුටුයි.
හේමාල් කතාවේ හැටියට සමුද්‍ර. සමුද්‍රගේ ජීවිතේ මුල් කාලයේදී සමුද්‍ර ටිකක් සෙල්ලක්කාර චරිතයක්. නටන්න දක්ෂ විසේකාරයෙක් වගේම මනමාලයෙක්. ඉතින් සමුද්‍ර ගතකරන ඒ විසේකාර ජීවිතේ අතරේදී ඒ කැම්පස් එකේම ඉගෙන ගන්න ඒ විතරක් නෙමේ එකට නැටුම් නටන තවත් ගෑනු ළමයි දෙන්නෙක් සමුද්‍රට මුණගැහෙනවා. ඒ තමයි විහඟි සහ පවනි.
දේදුණු ආකාසේ සිනමා සිත්තමේ හීන දකින්නට ආස කරන විහඟිට පණ දෙන්නේ නිරූපණ ක්ෂේත්‍රයේ දී බොහෝ දෙනා හඳුනන චුලක්ෂි. හැබැයි ඉතින් නිරූපණ ක්ෂේත්‍රයට අමුත්තියක් නොවුණට සිනමාවට නම් චුලක්ෂි කියන්නේ අමුත්තියක්.

චුලක්ෂි 

“අම්මෝ... මම බයෙන් තමයි මුලින්ම රඟපෑවේ. හැබැයි ප්‍රියන්ත අයියයි, ඩොනල්ඩ් අයියයි අනික් හැමෝමයි මට ගොඩාක් උදවු කළා. ඒ විතරක් නෙමෙයි හේමාල්ගෙන් මට ලොකු සපෝට් එකක් ලැබුණා. එයා හැමවෙලේම මට ඊළඟට කරන ෂොට් එක කරන්න ඕන විදිහ ගැන ප්‍රියන්ත අයියත් එක්ක එකතුවෙලා කියලා දුන්නා. සමහර තැන් ගන්න ටේක් දෙක තුනක් කරන්නත් සිද්ධ වුණා. ප්‍රියන්ත අයියා මට මේකේ ප්‍රධාන චරිතයක් කියලා කියපුවම මට මුලදී බයක් හිතුණා. අපි මේකේ රූගත කිරීම් කළේ නුවර හන්තානේ, කොළඹ වැනි ප්‍රදේශවලයි. සමහර දවස්වලට මේ ඩාන්සින්වලට පැය ගාණක් අපි වෙහෙසුණා. ඒත් අපිට ලොකු මහන්සියක් දැනුණේ නෑ. අපි ඒ හැම දෙයක්ම කළේ හරිම අාසාවෙන්. 
හැබැයි අනේ දැන් අපි මේ චිත්‍රපටය බලද්දී හරිම හරි දුකයි. අපිත් එක්ක හිටපු දසුන් අද අපි අතරේ නෑ. දසුන් කියන්නේ හරිම හරි හොඳ නළුවෙක්. එයා හැමවෙලේම හිටියේ හිනාවෙලා. සමහර වෙලාවට දසුන් මොකක්හරි දෙයක් කියලා මහ හයියෙන් හිනාවෙනවා. සමහර ඩාන්සින් ස්ටෙප් වැරදෙද්දීත් දසුන් “සොරි... සොරි... කියලා හිනාවෙනවා. ඇත්තටම අද අපි අතරේ දසුන් නැති එක අපිට ලොකු පාළුවක්. අදත් දසුන් අපි අතරේ හිටියා නම් එයත් අපිත් එක්ක ඉඳගෙන “දේදුණු ආකාසේ බලනවනේ.

සැබැවින්ම දසුන් නිශාන් ජීවිතයෙන් සමුගෙන සති දෙකක් යන්නටත් මත්තෙන් ඔහුගේ පළමු සිනමා නිර්මාණය වූ “දේදුණු ආකාසේ දෙඇසින් බලාගන්නට විඳින්නට දසුන්ට නොහැකි විය. දසුනක ෙශ්ෂය  පමණක් ඉතිරි කර දසුන් නිශාන් ජිවිතයට අායුබාේවන් කියා අහවරයි. දේදුන්නක තැවරුණු පාට ගෙන ජීවිතයේ හීන පාට කරන්නට හීන දැකපු දසුන් දේදුණු ආකාසයෙන්ම සිනමාකරණයෙන් සමුගත්තේය.
දඟකාර සොඳුරු යෞවනියක් වූ විහඟිගේ ජීවිතේ එක්තරා තැනකදී වෙනස්ම වෙනවා. වේග රිද්ම සංගීතයට බටහිර පන්නයට නර්තන ඉදිරිපත් කරන්නට වැඩි කැමැත්තක් දැක්වූ විහඟිගේ ජීවිතේ නතර වන්නේ තම පියාගේ අඩිපාර ඔස්සේ යමින් ගමේ අහිංසක දරුවන්ට නැටුම් උගන්වන ගුරුවරියක් ලෙසින්. ඒ අතර තවත් බොහෝ දේ සිදුවෙනවා.
දේදුණු ආකාසේ සිනමා නිර්මාණයේ විහඟිත් සමුද්‍රත් එක්කම නටන තවත් නැට්ටුක්කාරියක් ඉන්නවා. දේදුණු ආකාසේ ගීත පාට කරන්නට උත්සාහ කළ පවනි විදිහට ඔබ හමුවන්නේ නිරූපණ ක්ෂේත්‍රයේ නිරූපණ ශිල්පිනියක් වූ ටීනාය. 

ටීනා

දේදුණු ආකාසේ කියන්නේ මගේත් පළමු චිත්‍රපටයයි. ප්‍රියන්ත කොළඹගේත් ඊ.ඒ.පී. මාධ්‍ය ජාලය හරහාත් තමයි මට මේ චාන්ස් එක ලැබුණේ. මේකට ලංකාවේ ජනප්‍රිය නිළියන් පනහකට අධික සංඛ්‍යාවක් අතරින් තමයි මාව මේකට තෝරා ගත්තේ. ඉතින් මට හරි සන්තෝසයි මේකට මාව තෝරගත්තාට. ඒකට ප්‍රියන්ත අයියට ගොඩාක් ස්තූති කරන්න ඕනේ. නිරූපණ ක්ෂේත්‍රය කියන්නේ වෙනස් දෙයක්. රංගන ක්ෂේත්‍රය කියන්නේ වෙනස් දෙයක්. ඒ දෙක ගොඩාක් වෙනස්. ඉතින් මුලදී මගෙත් ලොකු බයක් තිබුණා මට මේ දේ කරන්න පුළුවන් වෙයිදෝ කියලත්. ඒත් හැමෝම මට ලොකු ස්පෝට් එකක් දුන්නා. අපි හමෝම පවුලක් වගේ එකට වැඩකළා. හේමාල් අයියාගෙනුත් මටයි චුලක්ෂිටයි ලොකු ස්පෝට් එකක් ලැබුණා. ඩාන්සින්වලදීත් අපි දෙන්නා වෙනමම රියසල් කළා. ඒ කාලේ හරි සුන්දරයි. සමහර තැන් වැරදුණු තැන් තිබුණා. ඒ හැමවෙලේම ප්‍රියන්ත අයියා කිව්වේ “කමක් නෑ... කමක් නෑ... අපි අලුත් ටේක් එකක් ගමු. කියලයි. ෆිල්ම් එකේ හැම තැනකදීම මට ජීවිතේ අලුත් අත්දැකීමක් එකතු වුණා. මගෙයි හේමාල්ගෙයි අනතුරක් වෙන සිදුවීමක් තියෙනවා. ඒක කරද්දී මම හරියට බයවුණා. ඒක රිය අනතුරක් නිසා සමහර වෙලාවට මමම හයියෙන් කෑ ගහනවා. ඉතින්... ඒ තරමටම මට ඒක අමතක වෙන්නේ නෑ...*
“දේදුණු ආකාසේ ඔය රිය අනතුර ගැන ටීනා එහෙම කියන නිසාම ඒ රූගත කිරීම් ගැනත් කිව යුත්තක් තියෙනවා. මේ ගැන රූගත කිරීම් කළේ හැඳළ වැලිකන්ද ප්‍රදේශයේ. රූගත කිරීමේදී සමුද්‍ර පදවන රිය ලොරියක හා ගැටෙන දර්ශනයක් රූගත කිරීම් කරනවා. ඒ සඳහා ලොරි රියදුරු වෙනුවෙන් නළු චරිතයක් යොදාගත්තේ නෑ. ඒ වෙනුවෙන් ලොරි රියදුරෙක්ම තමයි යොදා ගත්තේ. පළමු දෙවන ටේක් දෙකේම ලොරිය වේගයෙන් ඇවිත් වේගයෙන් පැමිණි සමුද්‍රගේ රිය අසලම නතර කරනවා. ඒ අධ්‍යක්ෂකට වේලාව තීරණය කරගන්නටයි. අධ්‍යක්ෂකගෙන් විධානය ලැබුණා. වේගයෙන් පැමිණි ලොරිය සමුද්‍රගේ කාරයේ වේගයෙන් ගැටුණු අාකාරයට දැඩි අලාභහානියක් සිදුවුණා. මේ දර්ශනය ඉතා තාත්විකව ගන්නට ප්‍රියන්තට තිබූ ඕනෑකම අද චිත්‍රපටය දකිද්දී ඔබටත් දැකිය හැකිවේවි.

“දේදුණු ආකාසේ නිර්මාණයේ නර්තනය මෙහෙයවනු ලබන්නේ ගයාන් ශ්‍රීමාල්. මේ චිත්‍රපටයේ එක තැනකදී නර්තන අතරතුර එක්තරා නර්තන ශිල්පිනියක් උස් තැනකින් බිමට වැටී දරුණු අනතුරකට මුහුණ දෙනවා. සියල්ල සූදානම්. ශිල්පියා එම නර්තන ශිල්පිනියව ඉහළට ඔසවා අල්ලා ගන්නට යාමේදී අතරතුර පහළට වැටීමක් පිටපතේ ලියවිලා තියෙනවා. නමුත් රූගත කරන්නට යාමේදී ඇත්තටම ඇය පහළට වැටී ජීවිතය අනූ නමයෙන් බේරාගන්නට අසල සිටි කිපදෙනෙකුට හැකිවීම ඇගේ වාසනාවක්. නැත්නම් රංගනයක් නොවී එම අනතුර සැබෑවක් වන්නට බොහෝ ඉඩකඩ තිබුණා.

හේමාල්, චුලක්ෂි, ටීනා මෙන්ම ජයලත් මනෝරත්න, මීනා කුමාරි, ශ්‍රියානි අමරසේන, බිමල් ජයකොඩි වැනි බොහෝ ප්‍රවීණ නිර්මාණවේදීන් මෙම සිහිනය දකින්නට දායක වුණා. විහඟිගේ ආදරණීය පියා ලෙසින් රඟපාන්නේ ජයලත් මනෝරත්න. වරක් විහඟිට කම්මුලට ගැසීමේ දර්ශනයක් රූගත කිරීමට සිදුවුණා. මෙය තාත්විකව ගන්නට අධ්‍යක්ෂකට අවශ්‍ය වුණා. ඒ සඳහා ඇත්තටම විහඟිට කම්මුලට ගසන්නට උපදෙස් ලැබුණා.
“කමක් නෑ... ගහන්න... චුලක්ෂි ද ඒ සඳහා සූදානම්. ජයලත් මනෝරත්නයන්ගෙන් වේගවත් කම්මුල් පහරක් චුලක්ෂිට යොමුවුණා. චූලක්ෂිගේ ඇස්වලට කඳුළු පිරුණා. නමුත් අධ්‍යක්ෂක සෑහීමකට පත්වුණේ නෑ.
“ඊළඟ පාර තව හයියෙන් ගහමු.

ජයලත් මනෝරත්නයන් අකමැත්තෙන් වුවද නැවතත් වේගයෙන් කම්මුල් පහරවල් චුලක්ෂිට ගැහුවා. අධ්‍යක්ෂ කට් කීවා. ඔහු සෑහීමකට පත්වුණා. මනෝරත්නගේ අතේ ඇඟිලි පහරවල් චූලක්ෂිගේ කම්මුලේ අපූරුවට සටහන්ව තිබුණා. ඇස්වල හිර වී තිබුණු කඳුළු කම්මුල් පුරා ගලා ගියා.
“අනේ දුවේ... මම කවදාවත් මගේ දරුවෙකුටවත් ගහලා නෑ... මනෝරත්නගේ අැස්වලත් කඳුළු. ජයලත් මනෝරත්නයන් චුලක්ෂිගෙන් සමාව ඉල්ලුවා. නමුත් චුලක්ෂිට ද ඕනවුණේ අධ්‍යක්ෂකට මෙන්ම තාත්වික රංගනයක්.
දේදුණු ආකාසේ පායන්න තව දවස් හතරයි....
 

► Text -Dishani / Pic- Sumudu