2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා

ඉරාජ් කියන්නෙ අසූචි වුණත් විකුණන වෙළෙන්දෙක්

 2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 304

-ජයන්ත රත්නායක

ජයන්ත... ඔබේ පියාවූ වික්ටර් රත්නායකයන්ගේ ජීවිතය අදාළ ඉරාජ් විසින් නිර්මාණය කරපු අලුත් වීඩියෝව ගැන මොකද හිතන්නේ...? 
බොහෝ දෙනෙක් දන්නේ නැති දෙයක් තමයි ගිය අවුරුද්දේ ඉරාජ්ට යූ ටියුබ් එකෙන් “සිල්වර් මෙඩ්ල් එකක් හම්බ වුණා. ඒ කියන්නේ වීඩියෝ එකක් වැඩිම Views ගාණක් ගත්ත විඩියෝව හැටියට දෙවැනි තැනට. ඉතින් ඉරාජ්ට දැන් ඊළඟට ඕනේ ගෝල්ඩ් මෙඩ්ල් එක ගන්න.

 

ඒ වෙනුවෙන් ඉරාජ් තුරුම්පුව විදිහට වික්ටර් රත්නායකගේ ජීවිතය  අරගත්තා කියල ද ජයන්ත කියන්නේ...?
ඔව්... ඒකට තමයි මේ ඉරාජ් මෙහෙම හිට් කරන්න ජරාවක් කරලා යූ ටියුබ් එකට දැම්මේ. ඉරාජ් දන්නවා මේකෙන් ඉරාජ්ට Views වැඩිවෙලා ගොඩයන්න පුළුවන් කියලා. ගෝල්ඩ් මෙඩ්ල් එක ගන්න පුළුවන් කියලා. ඒ හැර ඉරාජ්ට කිසිම හොඳ දෙයක් කරන ටාගට් එකක් කොහොත්ම නෑ.

ඉරාජ්ලා ලංකාවේ වීරයෝ කළෙත් සමහර ජනමාධ්‍යවේදියෝම තමයි   

ඉරාජ්... මීට ඉස්සර කරපු වීඩීයෝත් ඔබ බලලා තියෙනවද?
ඔව්... මෙයා මුල ඉඳලම කළේ ජරා වැඩනේ. සමහර විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යවල ඉන්න සමහර අය මියුසික් ගැන මොනව හරි කතා කරනවා නම් ඒ අයට මියුසික් පිළිබඳ යම් දැනුමක් තිබෙන්න ඕනෙනේ. අද විද්‍යුත් මාධ්‍ය බොහෝමයක් අර Chat මේ Chat කියලා යන සංගීත වැඩසටහන්වල යන සින්දු මොනවාද... ඉතින් ඉරාජ්ලා ලංකාවේ වීරයෝ කළෙත් සමහර ජනමාධ්‍යවේදියෝම තමයි. එයාලා මියුසිෂන්ලා නෙමේ. එයාලා තනිකරම බිස්නස්මන්ලා. එයාලාට ඕනෑම දෙයක් විකුණලා සල්ලි හම්බකරගත්තොත් ඒ ඇති. අසූචි පැකට් එකකට දාලා ඒකට තව සුවඳ ටිකක් දාලා නිරුවත් ලස්සන ගෑනු ළමයෙක්ගේ පින්තූරත් දාලා මෙයා ලස්සන වුණේ මේවා ගාලා කියලා දැම්මොත් අපේ මිනිස්සු ගන්නවනේ. අන්න එහෙම බඩු විකුණන වෙළෙන්දෙක් තමයි ඉරාජ් කියන්නේ. ඒ හැර කිසිම කලා හැකියාවක්වත් කිසිම නිර්මාණ හැකියාවක්වත් ඉරාජ්ට නෑ. මුදල් පසුපස හඹායන කෙනෙක් තමයි එයා. ඉතින් ඒ වගේ අයට උඩගෙඩි දීලා ඒ වගේ අය ඉහළ තැන්වල තියන්න එපා කියලයි මම ඒ මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලන්නේ. ඇත්තටම මම මේ ගැන වැඩිය කතාකරන්න කැමති නැහැ.

ජයන්ත... ඒ වීඩියෝ එක දැක්කද...?
ඔව්... ඔව්... ඒ වීඩියෝ එක දැකපු බොහෝ දෙනා ඒ ගැන අදහස් කිව්වනේ. ඇත්තටම දැන් හැමෝම කරන්නේ ඉරාජ්ට සල්ලි හම්බකරලා දෙන එකයි. දැන් මේ අපිත් කරන්නේ ඒකනේ. දැන් මේ ආටිකල් එක දැක්කම කොහේවත් නැති කුණු ගොඩක් බලන්න මිනිස්සුන්ට ආස හිතෙනවා. ඉතින් බලපු නැති අයට බලන්න ඕනේ වෙනවා. ඉතින් ඉරාජ්ට ඕන වෙන්නෙත් ඒකමනේ... ඉතින්... අපි හැමෝම කුණු ගොඩක් විකුණලා ඉරාජ්ට සල්ලි හොයලා දෙනවා.

බොහෝ දෙනා මේ සිදුවීමත් එක්ක ජයන්තට සහ ලෙලුම්ට දෝෂා‍රෝපණය කළා... ඔය දෙන්නට ඇඟිල්ල දික් කළා...?
බොහෝ දෙනා මගේ තාත්තා දිහා අද අනුකම්පාවෙන් බලනවා. ඇයි මෙහෙම වික්ටර් රත්නායකට වුණේ... කියලා. හැබැයි මගේ තාත්තා වැරැද්දක් කරපු නිසා තමයි එහෙම දේවල් ඉරාජ්ලට කරන්න මාතෘකා හැදුණේ. සමහරු කිව්වා පව්... වික්ටර්... ළමයි සලකන්නේ නැහැනේ. කියලා... ඒත්... අපි ඒ ප්‍රකාශය තරයේ හෙළා දකිනවා. මගේ පවුලේ අයත් එක්ක ළඟින් ආශ්‍රය කරන අය ඒ ගැන දන්නවා. වික්ටර් රත්නායකයන් ළඟින් ආශ්‍රය කරපු ඕන කෙනෙක්ගෙන් අහලා බලන්න අපි තාත්තට සැළකුවද නැද්ද කියලා. අපි සැළකුවේ නැහැ කියන්නේ තනිකරම බොරුවක්. තාත්තට එල්ලවෙන අපවාදවලින් වැළකෙන්න තාත්තාව මෙහෙයවන ඒ ගෑනු කෙනා කියන අදහසක් තමයි ඒ.

ඒ කියන්නේ... ජයන්තයි, ලෙලුම් ඇතුළු වික්ටර්ගේ දරුවන් වික්ටර් රත්නායකයන්ට ඔය ඉරාජ්ගේ වීඩියෝවේ තියන සිදුවීම් කළේ නැහැ...?
ඒවා අමූලික බොරු. තාත්තා අපිත් එක්ක ඉන්නකන් අපි තාත්තාට හොඳින් සැළකුවා. ලොකු නංගී තමයි තාත්තාට ළඟින් ඉඳන්ම සැලකුවේ. අපි හැමවෙලේම වගේ තාත්තාට ගිහින් බලනවා. ඒ නිසා තාත්තාගේ හැත්තෑපස්වෙනි ජන්ම දින උත්සවේ හැම සාකච්ඡාවක් පැවැත්වුණේ මගේ නංගීගේ ගෙදර. ඒ උත්සවය සංගීතවත් කළේ මම. ඒ උත්සවයේ හැම දේකටම උදව් වුණේ ලෙලුම්. ඉතින් ඒ හැත්තෑපහ ජන්ම දිනය තිබුණෙත් ළඟදී. ඉතින් අවුරුදු දහතුනක් මගේ අම්මා නැතිවෙලා. තාත්තාට සැළකුවේ නැහැ කියනවානම්... මම දන්නේ නැහැ ඇයි එහෙම බොරු කියන්නේ කියලා.

බොහෝ නිර්මාණයන් ජයන්ත, ලෙලුම් කළේ වික්ටර් රත්නායකයන් හරහා. දැන් ඔබේත් ලෙලුම්ගේත් කලා කටයුතුවල අලුත් නිර්මාණ මොනවාද...?
අද මේ හේතුව නිසා මාවයි මල්ලිවයි දෝෂාරෝපණයට ලක් කරලා. මායි මල්ලියි සින්දු සීඩී දෙකක් කරලා තියෙනවා. කලා ක්ෂේත්‍රයේ ඉන්න ප්‍රවීණ බොහෝ දෙනා ඒවා අගේ කළා. හැබැයි තාත්තාගේ මේ සිදුවීමෙන් මගෙයි මල්ලිගෙයි ජීවිතවලට බොහෝ දෙනා ඇඟිල්ල දික්කළා. ඒත්... අපේ හෘද සාක්ෂිය දන්නවා අපි තාත්තාට වරදක් කළේ නෑ. ඒ නිසා අපේ ජීවිත අළලා බොරු ප්‍රචාර පතුරවන්න එපා.
  

► Text – Dishani  /  Pic - Sumudu