2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා

මාවත් මරන්න හැදුවා ( - ශලනි තාරකා )

 2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 571

ප්‍රේමය - ප්‍රේමයම මිස අන් කවරක්ද?
සම්මතය, විශ්වීය රීතිය, නීතිය සාදාචාරය ආදී සීමාවන් තුළ ලඝු වී ප්‍රේමයට අප දෙන අර්ථකථන හා ප්‍රේමයේ සීමාවන් හා කාෙන්දේසි කිසිවක් ප්‍රකෘති මනුෂ්‍ය සන්තානයේ උපදින ප්‍රේමයට අදාළ නැත. වලංගු නැත
එහෙයින්
ප්‍රේමය - ප්‍රේමයම මිස අන් කවරක්ද?
එහෙයින්...

ප්‍රේම කළ උන් ගැන විනිශ්චයන් දෙන්නට කිසිවෙකුටවත් නොහැකිය. කිසිවෙකුටවත් අයිතියක් ද නැත.
ප්‍රේමයට සාධාරණයක් ඉටුකළාද නැත්ද යන්න දන්නෙත් ඔවුන්ගේම හෘද සාක්ෂිය පමණි.

ප්‍රේමය විඳිද්දීත් විඳවද්දීත් සුන්දරය. විරහව ද සුන්දරය. එහෙත් බලහත්කාරයෙන් ඉල්ලාගෙන යන මරණය ප්‍රේමය සෙයින් සොඳුරු නැත. එය ආදරය කළ සියල්ලන් වෙත නොහිම් වේදනාවක් පමණක් අවසන ඉතිරි කර සැඟව යන්නකි. දසුන්ගේ හැරයාමෙන් ඉනික්බිති ශලනි තැබූ fb මතක පද කියන්නේත් දරාගත නොහී ඒ වේදනාවේ තරමය.

I අපේ සටහන

 

නොදැන හෝ කළ වරදකට අද
&$#@ යැයි උන් මට කියනවා....
එහෙම බැණ බැණ අන් කතාවට
උන් ස්වර්ගය පතනවා

ඇත්ත හොඳටම දන්න එවුන් අද
අනේ නිහඬව ඉන්නවා
කිසි කතාවක් නොඅසාම ලොව
නුඹ විනිශ්චය කරනවා

දෙනෝ දාහක් ගැටෙන නගරෙන්
මිදී ඈතට දුවනවා
ලොවට උත්තර බැහැ බඳින්නට
අනේ පව් නුඹ සිතනවා

හත් දොහක් යන්නත් කලින් දැන්
මව් බිරින්දෑ වැනෙනවා
අඩුම කුඩුමත් බෙදාගන්නට
උනුන් කෙහෙවලු කඩනවා

නුඹ පරිස්සම් කරල දුන් මහ
ආදරේ මට වටිනවා
නුඹ දමා ගිය අමු සොහොන ළඟ
තනිව මං අද අඬනවා

I ශලනි
 

පෙති පුරා සුවඳ විහිදුනු අනන්තයේ යළි හමුවෙමු
මල් පුරා බඹරු පියඹන ඒ ලොවේ යළි හමුවෙමු
බිඳුණු සිත් සතන් සුව කළ ඒ ආදරයෙන් යළි හමුවී
මේ භවේ බැරිනම් ඉතින් අපි මතු භවේවත් අපේ වෙමු

කතර සරු කළ දිය උපත අපි වෙමු
ගිරිදුර්ග මැදින් ගලනා සිසිල දිය අපි වෙමු
මහ මුහුද පෙම් බඳින හීත ඉම ඔබ ඉනූ
සැඩ සයුරු රලින් පෙරළී වෙරළට සමුදෙමු

නිමක් නොමැති අහසේ කොණකටම පියඹමු
මහ පොළවේ ඉඩ නැතිනම් වලාවක අපි ඉමු
සැඩ වැස්සට නොතෙමී පිහාටුවක් ඉහළමු
මේ ආත්මේදි බැරිනම් මරණින් මතු හමුවෙමු

I පද රචනය - ශලනි

 

අදට ඔයා ගිහින් දවස් 7යි...
ඔයාව මෙතන දාලා ගියාට පස්සේ කවුරුත් ඔයාව බලන්න ඇවිල්ලා නෑ...
හැමදාම හිතන්නේ හෙට උදේ නැගිටිද්දි ඔයා Call කරයි කියලා
තාම මේක හීනයක් වගේ
හැබැයි අපි ආයේ හමුවෙනවාමයි....
ඉන්න තැනක සතුටින් ඉන්න....

- ඔයාගේ ආදරේ

 

හිමි වේවා...... හමු වේවා.... අහිමි නොවේවා.... ලෝකයේ කාටත්....

 

මේ මුළු රටම බාගෙට බාගයක් මිනිස්සු මාව මානසිකව වට්ටලා මාවත් දසුන් ගිය තැනටම යන්න මනස හදවද්දී මන් වෙනුවෙන් මුල ඉඳලම කතා කරපු ළඟ හිටපු කීපදෙනයි හිටියේ. ඒකට පිං ඇත්තමයි. හදිස්සියේ හරි මං මැරුණොත් දසුන් නෙවෙයි මේ කිසිදෙයක් නොදැන ණයට කහින උන් ඔක්කොටම සාප වෙන්න ඕනේ මන් විඳින දුක දැනෙන්න ඕන.

 

ඉක්මන් වුණා වැඩිද මන්දා
කියා සිතුණා දසදහස් වාරයක්
නික්ම යන්නට සිතුවේ ඇයි නුඹ
ලොවට දැන් එය ප්‍රශ්නයක්

නුඹේ දුක නැහැ කෙනෙක් ඇසුවේ
වැරදි නෑ නුඹ රත්තරං
අපේ පවකට අප හමුවුණේ
අයිති වූ පසු ඇයට නම්

ඇයගෙ ලොව තුළ නුඹ කුරැටු ගෑ
පැරණි ගී හරි රස ඇති
ඇයත් දැන්නැති මාත් දන්නැති ලොවට
ඔබ අප ගෙන යන්නැති

අසීමිත ප්‍රේමයක් වපුරා
මගේ හද නුඹ ගත් හැටි
මුලාවක් වුව ඔබේ ප්‍රේමය
සදාකල් මියදෙන්නැති

හැරගියත් නුඹ යළි නොඑන ලෙස
තරහවෙනු බෑ කිසි දිනේ
මුළු ලොවම අද නගන හඬ යට
තනිව පිළිතුරු නැහැ අනේ

සසරේ මතුදින කිසිම දේකට
ඉක්මන් නොවී ඉනු මා වගේ
දරනු බැරිවුව දරා ගනු නුඹ
මඟ ඇරුනු මා සිත වගේ

හීනවල හිද කියන හැඟුමන්
අදත් මට මී පැණි වගේ
රැවටුවත් නුඹ එදත් මා සිත
ආදරෙයි මං පණ වගේ

නාඩා ඉනු නුඹ සැනසෙන්න දැන්
එයයි නුඹ ඉක්මන් කළේ
ලොවේ ගැරහුම් දරා ගන්නම්
ඔෙබ නමින් මියැදෙන වෙලේ

පරාජිත නොව නුඹ විඳපු දුක
ලොව නුඹේ විනිසුරු නොවේ
නිදාගනු ප්‍රිය ලොවෙන් හැංගි
සැනසීම ගෙන මා එන දිනේ

I ශලනි-