2017 ජුලි 15 වන සෙනසුරාදා

පිනි වැස්සේ තෙමෙන්න HUNNAS FALLS

 2017 ජුලි 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 165

තාමත් ඒ සීතල ඉදිකටු තුඩු මෙන් දැනෙන තරම්.... ඒත් ඒ සීතල හා බැඳුණු මතකය අපේ Walk 111 මතකයේ තවත් සුන්දර මතකයක්... ගිය ඉරිදා ඔයත් එක්ක  සීතල සෙම්බුවත්තේ සඳපානේ රැයක් පහන් කළ අපි මේ නිස්කලංක සති අන්තයේ ඔයාව එක්ක යන්නෙ HUNNAS FALLS ළඟට... සුන්දර දිය ඇල්ලෙන් වෑස්සෙන වස්සාන දිය දහරේ පුංචිම බිඳිති වුවන මත රැඳෙද්දී දියඇල්ල ගැන ඇත්තටම ඇතිවෙන්නෙ ආදරයක්... මහනුවර... වත්තේගම පාරෙන් ඇල්කඩුව පාර දිගේ ගිහින්  තමා අපි දියඇල්ල තියෙන ඉසව්වට සේන්දු වුණේ... HUNNAS FALLS සුන්දරත්වය විඳගන්න එදා වැඩිහරියක් ඇවිත් හිටියේ සොබාදහමේ සුන්දරත්වයට හුඟාක් ප්‍රිය කරන විදේශිකයන්... ඉතින් එන්න walk 111 එක්ක අපි යමු HUNNAS FALLS...

ප්‍රවේශ පත්‍රයක් ලබා ගත්තම HUNNAS FALLS ළඟටම යන්න පුළුවන්... දෙපැත්තේ වැවුණු ගස් කුඩා ගල්පර අස්සෙන් දියඇල්ල ළඟටම සේන්දු වෙන්න පටු පාරක් වැටී තියෙනවා... ඒ පාර දිගේ අපිත් එක්ක සෙම්බුවත්තේ ගිය මාධව සහ දිමුතුත් ආවා HUNNAS FALLS යන්න.... HUNNAS FALLS ළඟටම ගිහින් පල්ලෙහා බලද්දී පුංචි පුංචි කුටි කිහිපයක්ම දකින්න ලැබෙනවා... පොඩි පොඩි GROUP ආවාම සින්දුවක් කියලා පොඩ්ඩක් DANCE කරලා TRIP එක ENJOY කරන්න HUNNAS FALLS බලන්න එන හුඟක් දෙනා HUNNAS FALLS බලලා ඒ කුටිවලට යනවා. ඒ කුටි ඇතුළට ගිහින් බලද්දිත් අහස පසුබිම් කරගත් මුදුනක ඉඳන් වැටෙන දියඇල්ල හරි අපූරුවට පේනවා.

HUNNAS FALLS මීටර් හතළිස් අටක් උසයි.... මුහුදු මට්ටමේ ඉඳන් බැලුවම මීටර් 1765 ක උසකින් තමා මේ සුන්දර දිය ඇල්ල පිහිටලා තියෙන්නෙ... දුර්ලභ සහ ශ්‍රී ලංකාවට ආවේණික ශාඛ විශේෂ කිහිපයක්ම HUNNAS FALLS ආසන්නයේ ඇති පුංචි වනාන්තරයේ තියෙනවා... ඒ වගේම ඕකිඩ් විශේෂ ගණනාවකුත් ඒ සාර භූමියේ උත්පත්තිය ලබලා තියෙනවා... ඒ විතරක් නෙවෙයි ලේසියෙන් ඇස් ඉස්සරහට හමුනොවන සත්ත්ව විශේෂත් මේ බිම වාස භූමිය කරගෙන ඉන්නවා... හැබැයි ඒ කවුරුත් දිවා කාලයේ නම් කලඑළි බසින්නෙ නෑ... Hunnas Falls බලන්න එන සමහරුනම් පරිස්සමින් දියඇල්ල පාමුලට ගිහින් නාන්න අමතක කරන්නෙත් නෑ... HUNNAS FALLS හෝටලයේ රැයක් නවතින්න හිතුණොත් හෝටලය තියෙන්නෙත් ඒ කිට්ටුවමයි.

සැපදායි දෙශගුණයකට හිමිකම් කියන ඒ පරිසර පද්ධතියට ඔයත් ආදරේ නම් පොලිතින් කෑල්ලක්වත් මඟ හලලා නම් එන්න එපා... මහී කාන්තාවගේ තවත් සුන්දර නිමැවුමක් වුණ මේ දියඇල්ල හෙට දවසෙත් ආකර්ෂණීය සංචාරක නවාතැන්පොළක් කිරීමේ යුතුකම එහි සුන්දරත්වය නරඹන්න යන හැමදෙනාටම තියෙනවා.... සීතල රිදී දිය බිඳු දහරක ආස්වාදය විඳින්න ඔයාටත් හිතුණොත් ඔයත් යන්න HUNNAS FALLS... ගිහින් එන්න හිතුණොත් දවස් හතක්ම තියෙනවා. ලෑස්තිවෙලා ඉන්න එහෙනම් Walk 111 අපිත් එක්ක එන සති අන්තයේත් කොහේ හරි ගිහින් එන්න.

 

►Text -Saara / Pic -Channa Kassapa Koralearachchi