2017 මැයි 13 වන සෙනසුරාදා

සින්දු කියපු මොහාන් දැන් කියන්නෙ පිරිත්

 2017 මැයි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 324

Cabin Crew Staff member කෙනෙක් විදිහට SriLankanAir ගුවන් යානයකදී ආයේ කවදාවත් කාටවත් මොහාන් වික්‍රමසූරිය මුණගැහෙන්නේ නෑ. මන්දාරම් ගීතයෙන් හදවත් කෙනිත්තුව, මොහාන් අලුත් සින්දුවකින් ආයෙ මුණ ගැහෙන්නෙත් නෑ

නලින් රාජපක්ෂගේ රන්දේදුන්නක් චිත්‍රපටයේ පසුබිම් ගායනයෙන් චිත්‍රපට ගීත ගායකයෙක් වෙච්ච මොහාන් ආය චිත්‍රපටයකින් මුණගැහෙන්නෙත් නෑ. 

රොෂාන් රණවනගේ විවාහ මංගල්‍යයේදී දෙවැනි මනමාලයා වෙච්ච මොහාන් ආයේ කාගෙවත් විවාහ මංගල්‍යයක දෙවැනි මනමාලයෙක් විදිහට අපට මුණගැහෙන්නෙත් නෑ...

ඒ සියලු සාමිස ආශාවන් මොහාන් එක් නිරාමිස ආශාවක් වෙනුවෙන් අත්හැරලා දැම්ම නිසා... කොල්ලෙක් කොච්චර ආසද හොඳ ජොබ් එකකට... Super කාර් එකකට... සල්ලි වලට.... ජනප්‍රියත්වයට... කෙල්ලන්ගේ ආකර්ෂණයට... මචං උඹ හැන්ඩ්සම් කියලා කවුරු හරි කියනවට... මොහාන්ට ඒ හැමදේම තිබුණා. ඒත් ඔහු ඒ හැමදේම අත්හැරියා. මොහාන් ඉන්නවා... ඒත් අර ඉස්සෙල්ලා කීව අර හැමදේම තියෙන මොහාන් විදිහට නෙවෙයි... සරල නික්ලේෂි ................ ජීවිතයක් වෙනුවෙන් පෙරුම්දම් පුරන. රත්නපුරයේ චිත්තසති හාමුදුරුවෝ විදිහට

මෙච්චර තරුණ වයසේදී හැමදේම අත්හැරලා ඇයි පැවිදි ජීවිතයකට ආවේ... සැප සම්පත් අත්හැරලා සිවුරක් දෙවුර දරන්න තීරණය කළේ ඇයි?

එක මොහොතක ඇතිවෙච්ච සංසිද්ධියක්වත්, කලකිරීමක්වත් ජීවිතය ගැන එපාවීමක්වත් නෙවෙයි. අවුරුදු දෙකක් විතර තිස්සේ මම හිතුවා ගිහි ජීවිතය අත්හරින්න ඕනෑ කියලා. කොච්චර සැප සම්පත් වලින් ජීවිතය පිරිලා තිබුණත් අවසානයේදී මේ සියල්ලක් ඇතුළේ පවතින්නේ මහ දුකක් කියලා මම අවබෝධ කරගත්තා. මට වැටහුණා සැබෑ සැනසිල්ල තියෙන්නේ ඒ අත්හැරීම් තුළ කියලා. ඒකයි මම පැවිදි ජීවිතයට ආවේ. ඒක හදවතින්ම ගත්තු තීරණයක්. 
ඒ චිත්තසති හාමුදුරුවන්ගේ උත්තරයයි. 

මොහාන්ගේ අම්මා නියත දහමට අවනතව ජීවිතයෙන් සමුගනිද්දී මොහාන් පුංචි දරුවෙක්. එයාට වෙන සහෝදර සහෝදරියන් හිටියේ නෑ. එයා ඉගෙන ගත්තේ කොළඹ රෝයල් ඉන්ස්ටිටියුට් ජාත්‍යන්තර පාසලේ. කොළඹදි එයාට හොඳ යාළුවෙක් මුණගැසුණා. ඒ චානක. චානක කියන්නේ කවුරුත් දන්න රොෂාන් රණවනගේ මල්ලී.

මොහාන් ඔයා අපේ ගෙදර නතර වෙමු. ඔයාට එහෙ ඉඳන් ඉගෙන ගන්න ලේසියි. මොහාන් චානකගේ ගෙදර නතර වුණේ එහෙම. මොහාන් ඉගෙන ගන්න වගේම සංගීතයටත් හරිම දක්ෂයි. 

චානකගේ ගෙදර හැමෝම වගේ නිර්මාංශිකයි. ඇයි අපි මිනිස්සු විදිහට මළකුණු කන්නේ... ඒක මිලේච්ඡත්වයක් එහෙම කල්පනා කළ මොහාන් පසුකාලෙක නිර්මාංශ වුණා. 

මොහාන්ට SriLankan ගුවන් සේවයේ රැකියාවක් ලැබෙද්දී එයා ඉස්කෝලෙන් අයින් වුණා විතරයි. ඔහු හිටියේ සතුටින්. නිතරම හින්දි, ඉංග්‍රීසි, සිංහල සින්දුවක් මුමුණන එක එයාගේ පුරුද්දක් වුණා. මේ අතරේ මොහාන් මන්දාරම් සින්දුව Video එකත්  එක්ක Release කළා. 

මොහාන්ගේ තාත්තා ජීවිතයට ආයුබෝවන් කීවේ මීට අවුරුදු දෙකකට උඩදී. ඔයාට මතකද කාන්තාරෙක විනෝද වෙද්දී මිය ගිය ගුවන්සේවිකාව..  ඇයත් මොහාන්ගේ සමීපතම යෙහෙළියක්. මේ වගේ සංසිද්ධිත් එක්ක ජීවිතේ සියලු බැඳීම් තාවකාලික බව  සියල්ල අස්ථීර බව ටිකෙන් ටික මොහාන් පසක් කර ගත්තා. බුදදහම ඇසුරේ ළැදියාව මොහාන්ට ආත්මීය පුරුද්දක් වගේ වුණා. ගිහි කාලයෙත් මොහාන්ගේ ගෙල රැඳිලා තිබුණ නවගුණ වැලක් වන් මාලය ඔයාට මතකද? ගිහි ජීවිතයට ආයුබෝවන් කියන වුවමනාවට ඒ මාලයත් එක සාක්ෂියක්ද කියලා අපිට හැඟෙනවා.
කඩවත වෑබඩ අරහන්තක සමාධි ආරන්‍යයේදී බොරැල්ලේ සිරි සුමන හිමියන් සෙවණේ මොහාන් රත්නපුර චිත්තසති හාමුදුරුවෝ නමින් පැවිදි ජීවිතයට ඇතුළත් වුණා. 

මන්දාරම් සින්දුවේ ඉන්න ඩෙනිම ඇන්ද හැන්ඩ්සම් කොල්ලා, ගායකයා තුළින් දැන් දිස්වන්නේ වඩා තැන්පත් නිවුණ තරුණ පෙනුමක්... එදා නිරන්තරයෙන් ගී මිමිණූ මුවින් හෙට උන්වහන්සේ පිරිත් පදයක් ගාථාවක් මුමුණාවී. 
ගී ගැයූ ගැඹුරු හඬින් පිරිත් සඡ්ඡායනා කරාවී...

ගැඹුර විනිවිද ජීවිතයේ අක් මුල් පිරික්සද්දී මොහාන්ගේ ජීවිත පරිවර්තනය අනන්ත සංසාර ගමනේ සුභ ලකුණක්. 
මේ පැවිදි ජීවිතය මට හරි සතුටක්... අද මගේ දෙවුරේ තියෙන්නේ මේ සිවුරෙ බර විතරයි... ඒ චිත්තසති හාමුරුවෝ අද වදාරණ වදනයි.