2021 ජනවාරි 16 වන සෙනසුරාදා

මොනවැඩේ පටන් ගන්නෙත් බත් මුලකට වැඩේ දීලා...

 2021 ජනවාරි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 166

ඔබේ නම ඩොනල්ඩ් ලියනආරච්චි වුණත් කවුරුත් ඔබට කතා කරන්නෙ රාජු කියලයි. ඒ නිසා අපිත් ඒ නමින්ම කතා කරන්නම්. රාජු.. ඔබ Stage masters සංගීත කණ්ඩායමේ කළමනාකරු විදිහටයි කටයුතු කරන්නෙ. මේ සංගීත කණ්ඩායමේ ආරම්භය ගැන කතා කළොත්?
Stage masters සංගීත කණ්ඩායම දැන් ආරම්භ කරලා අවුරුද්දක් විතර වෙනවා. මේ සංගීත කණ්ඩායමේ සියලුම දෙනා ලංකාවේ ඉතා ප්‍රවීණ, සංගීතය පිළිබඳ විශාල ප්‍රගුණත්වයක් තියෙන සාමාජිකයෝ. අපි හැමෝම සංගීතයට හරි කැමති අයයි. මමයි කාංචන මාස්ටරුයි සංගීතය තියෙන තැනකට ගියත් අපි සින්දුව කියනවා. කාංචන මාස්ටර් ගිටාර් එක වාදනය කරද්දී මම ඒ කාලේ බොංගෝ එක වාදනය කළා. ඒක අපේ සංගීතයට තියෙන ආසාවට කරපු දෙයක්. ඒ අතරතුරේදී අපිට නුවන් මාස්ටර්ව මුණගැහුණා. ඔහු රාජු අයියා.. මගේ හිතේ සංගීත කණ්ඩායමක් පිළිබඳව අදහසක් තියෙනවා. අපි එකතුවෙලා වැඩක් කරමුද?* කියලා යෝජනාවක් ගෙනාවා. ඒ යෝජනාවත් එක්ක තමයි Stage masters සංගීත කණ්ඩායම ගැන මුලින්ම අපේ හිතේ අදහසක් ඇතිවුණේ.

වර්තමානයේදී Stage masters එක්ක එකතුවෙලා ඉන්න සාමාජිකයෝ සංගීතය පිළිබඳ විවිධ හැකියාවන් තියෙන අය වගේම විවිධ ප්‍රදේශවලින් එකතු වුණු කණ්ඩායමක්. මේ හැමෝගෙම එකතුව වෙන්නේ කොහොමද?
නුවන් මාස්ටර්ගේ යෝජනාව මම කාංචන මාස්ටර්ටත් යෝජනා කළා. ඔහුත් කැමති වුණා. ඒ කැමැත්ත මත නුවන් මාස්ටර්, කාංචන මාස්ටර් සහ මම අතරේ පොඩි සාකච්ඡාවක් පැවතුණා. ඔය සාකච්ඡාවේදී අපි තුන්දෙනාම එකඟ වුණු, තුන්දෙනාගේම අදහස වුණු එකම තීරණයක් තිබුණා. අපි සංගීත කණ්ඩායමක් කරනවානම් සාමාන්‍යයෙන් ආවට ගියාට කරන සංගීත කණ්ඩායම් වෙනුවට අලුත් හැඩයකින්, අලුත් වෙනසකින් මේ ගමන යන්න එකඟ වුණා. සංගීත කණ්ඩායම් වර්තමානයේදී යන රැල්ලට යන්න අපිට ඕන වුණේ නැහැ. නුවන් මාස්ටර් වටා ලංකාවේ සංගීතය පිළිබඳ ඉතා ප්‍රවීණ අය හිටියා. ඒ හරහා මහේන්ද්‍ර මාස්ටර්, නාලක මාස්ටර්, අපි සංගීත කණ්ඩායමට එකතු කර ගත්තා. ඔය අතරේ ඩුබායිවලදී මට අපූරු නිර්මාණකරුවෙක් මුණගැහුණා. ඒ සමිත් මාස්ටර්. මම සමිත් ගැන යෝජනා කරද්දී තව කෙනෙක්ව නුවන් මාස්ටර් යෝජනා කළා. කතා කරලා බලද්දී ඒ දෙන්නම එක්කෙනයි. ඒ සමිත් මාස්ටර්. අවසානයේදී සමිත් මාස්ටරුත් ඩුබායි සිට ලංකාවට පැමිණ අපේ Stage masters කණ්ඩායමට එකතු වුණා. ඔය අතරේ නුවන් මාස්ටර්ගේ සම්බන්ධයෙන් ඉඳුනිල් මාස්ටර් වගේම සමිත් මාස්ටර් සහ නුවන් මාස්ටර්ගේ ආරාධනයෙන් හර්ෂ මාස්ටර් මේ වැඩේට එකතු වෙනවා. වර්තමානයේදී අපි අට දෙනෙක් Stage masters අපූරු කටයුත්ත කරගෙන යනවා.

රාජු කියන්නේ මේක රුල්ලට යන සංගීත කණ්ඩායමක් නෙවෙයි කියලා. Stage masters සංගීත කණ්ඩායමේ වෙනස මොකක්ද?
Stage masters කලඑළි බහින්න ටික කාලයක් ගත වුණා. ඇත්තටම අපිට හදිස්සියක් තිබුණේ නැහැ. අපිට හෙමින් ගමනක්, ඒ යන ගමන වෙනසක් එක්ක යන්න අපිට ඕන වුණා. Stage masters කණ්ඩායමට සාමාජිකයන් තෝරාගනිද්දී අපි ඉතා සැලකිලිමත් වුණා. ඒ අයගේ පවුල් පසුබිම, සංගීතයට තියෙන හැකියාව, දක්ෂතාවය, ඔවුන්ගේ විනය සහ ඒ හැම වටපිටාවක්ම අපි හොයලා බැලුවා. ඒ නිසා සමහරු අපේ සංගීත කණ්ඩායමට එකතු වුණා. ටික දවසක් ඔවුන් එක්ක වැඩ කටයුතු කරගෙන යද්දී අපි හොයපු දේ සමහරු තුළ නොමැති වුණා. අද මේ අවසානයේදී එකතු වුණේ එකම පවුලක ඉන්න පුළුවන් එකම පිරිසක්. මේක team work එකක්. ඒ team work එක කරගෙන යද්දී එකම පවුලේ අය විදිහටම ඉන්න ඕනෙ. පවුල් පසුබිම, හැදියාව, අධ්‍යාපනය, සංගීත නිපුණත්වය, දැනුම ආදී සියල්ල කැටි කරගෙන තමයි අපි කට්ටිය එකතුවෙලා තියෙන්නෙ. මේ අපේ පවුලේ සාමාජිකයෝ. මේක එක පවුලක්. මේ වන විට අපි විවිධ උත්සව, විවාහ උත්සව ආදී බොහොමයකට සහභාගිවෙලා තියෙනවා. ඒ හැමදෙයක්ම ඉතා සාර්ථක වුණා.  

ඔය හැමදෙයක්ම කරන්න කලින් බත් මුලත් එක්ක ඇතිකර ගත්ත සම්බන්ධය මොකක්ද?
ඔව්.. අපි හැම වැඩසටහනක්ම, හැම කටයුත්තක්ම ආරම්භ කරන්න පෙර එක බත් එකක් ගෙනත් හැමෝමත් එක්ක වටවෙලා ඒ බත් මුල කාලා තමයි ඒ ඕනෑම වැඩක් පටන් ගන්නේ. ඒ බත් මුල හැමදාම ගෙදරින් අරගෙන එන්නේ නුවන් මාස්ටර්. ඒකේ වැඩි දේවල් නොතිබෙන්න පුළුවන්. පරිප්පු ටිකක්, කරවල බැදුමක් එක්ක රතු කැකුළු බත් මුලක් වගේ දෙයක් අපි උදේට වටවෙලා කාලා තමයි අපේ වැඩ පටන් ගන්නේ. අපි එක බත් මුල කාලා එක සහෝදරත්වයෙන් තමයි මේ ගමන යන්නේ. මේ වනතුරු ආපු මේ ගමන ඉතා සාර්ථකයි.

රාජු වගේම කළමනාකාරවරයෙක් ලෙස කාංචනත් සම්බන්ධ වෙනවා නේද?
ඔව්.. මම වගේම කාංචන මාස්ටරුත් (කාංචන සිල්වා) කළමනාකාරීත්වයට විශාල දායකත්වයක් දක්වනවා. ඔහු ඉතා දක්ෂ ගායකයෙක්. මම ව්‍යාපාරිකයෙක්. ඒ ව්‍යාපාරය කරන ගමන් තමයි Stage masters සංගීත කණ්ඩායමට එකතුවෙලා වැඩ කරගෙන යන්නේ. කාංචන මාස්ටර් මේ වෙද්දී ලංකාවේ දැවැන්ත ආයතනයක හිමිකරුවෙක්. ආයතනයක ප්‍රධානියකු වුණත් ඔහු තුළ හරි අපූරු හැකියාවක් වගේම සංගීතයට ලොකු කැමැත්තක් තියෙනවා. කොයි තරම් කාර්යබහුල වුණත් සංගීතයට ඔහු තම කාලය වෙන්කර ගන්නවා.

Stage masters සංගීත කණ්ඩායමට විදෙස් සංචාර සඳහා ආරාධනා ලැබී ඇති බවයි ආරංචිය?
ඔව්.. අපේ සංගීත කණ්ඩායමේ කලඑළි දැකීම වෙනුවෙන් අපි කළ වැඩසටහන YouTube හරහා බොහෝ දෙනෙක් නරඹලා තිබුණා. ලංකාවේ වගේම පිටරට ඉන්න ශ්‍රී ලාංකිකයන්ගේ ඉතා හොඳ ප්‍රතිචාර Stage masters සංගීත කණ්ඩායමට ලැබුණා. හැබැයි Stage masters පටන් අරගෙන අවුරුද්දයි. මේ කාලය පුරාවට ලෝකය වගේම ලංකාවෙත් කොවිඩ් වසංගතය නිසා හැමදෙයක්ම නතර වුණා. අද වෙද්දී අපේ එළිදැක්වීම හරහා පිටරට සංචාර කිහිපයකටම ආරාධනා ලැබුණා. දැනට අමෙරිකාව, එංගලන්තය, කැනඩාව, ඔස්ට්‍රේලියාව වැනි යුරෝපා රටවල් කිහිපයකින්ම ආරාධනා ලැබිලා තියෙනවා. තාමත් අපේ රට වගේම ඒ රටවල් කොවිඩ් වසංගතයට මුහුණදෙමින් සිටින්නේ. ඉතින් මේ අවුරුද්දේ බොහෝ විට ඒ සංචාරවලට අපිට සහභාගී වෙන්න පුළුවන් වේවි.

Stage masters සංගීත කණ්ඩායමේ සමිත් ගායනා කරන ඩබ්.ඩී. අමරදේව මාස්ටර්ගේ නිවහල් සිතුවිලි ගීතයට බොහෝ දෙනෙක්ගේ හොඳ ප්‍රතිචාර ලැබුණා?
ඔව්.. ඒක ඇත්ත. අමරදේව මාස්ටර් කියන්නේ මුළු ලංකාවේම ඉන්න ප්‍රේක්ෂකයෝ ඉතාමත් ගෞරවාන්විතව වැළඳගත්තු චරිතයක්. එතුමාගේ වියෝවත් එක්කම මිනිස්සු යම්කිසි දෙයක් සොයමින් හිටියේ. සමිත් මාස්ටර්ගේ හැකියාව සහ කටහඬත් එක්ක අපි අපේ පළමු එළිදැක්වීමට අමරදේව මාස්ටර්ගේ නිවහල් සිතුවිලි ගීතය තෝරාගත්තා. ඒකට ඉතා හොඳ ප්‍රතිචාර ලැබුණා. අපි නිතරම ස්වභාව සෞන්දර්ය එක්ක තමයි ගමන් කරන්නේ. ඒ නිසා අපි මුලින්ම අපේ වැඩසටහනේ කතා කළේ අපේ උතුම් රට ගැනයි. ඒ අනුව තමයි අමරදේව මාස්ටර්ගේ නිවහල් සිතුවිලි ගීතය සමිත් මාස්ටර් ගායනා කළේ.

Stage masters සංගීත කණ්ඩායමේ සාමාජිකයන්ට පුහුණුවීම් කරන්න නිශ්චිත කාලයක්, දිනයක් තියෙනවද?
ඔව්.. මේ සාමාජිකයන්ගෙන් ඇතැමුන් ව්‍යාපාර කටයුතු කරන ගමන් Stage masters එක්ක එකතු වුණු අයයි. සමහරු සංගීතය උගන්වන ගමන් Stage masters හා එකතු වුණු අයයි. අපි හැම සතියෙම බදාදා සහ බ්‍රහස්පතින්දා පුහුණුවීම් කටයුතු සඳහා කාලය නිශ්චිතවම වෙන්කරලා තියෙන්නේ. ඒ හමුවේදී අපේ පුහුණුවීම් කටයුතු වගේම අලුත් නිර්මාණ ගැනත් කතාබහ කරනවා.

Stage masters පවතින ගීත ප්‍රතිනිර්මාණය පමණක් කරන සංගීත කණ්ඩායමක්ද?
නැහැ. අපේ අදහස හා බලාපොරොත්තුව covers කිරීමම නෙමේ. අපේම කියලා අපේ අනන්‍යතාවයක් ගොඩනැංවීම අපේ බලාපොරොත්තුවයි. ඒ වෙනුවෙන් මේ වන විටත් අපි ගීත කිහිපයක්ම පටිගත කරලා අවසානයි. අපේ අනන්‍යතාවය රුකෙන පරිදි ඉතාම සෞන්දර්යාත්මක ගීත තමයි අපි නිර්මාණය කරන්නේ. ඒක වෙනස්ම ගමනක්. නොබෝ දිනකින් ඒ නිර්මාණ අහන්න දකින්න පුළුවන් වේවි. 

අපි එහෙමනම් සංගීත කණ්ඩායම හඳුනා ගනිමු නේද?
ඔව්.. මගේ නම රාජු ලියනආරච්චි. මම Stage masters සංගීත කණ්ඩායමේ කළමනාකරු විදිහට කටයුතු කරනවා. මම වගේම මෙහි කළමනාකාර දායකත්වය සහ ගීත ගායනයටත් කාංචන සිල්වා සම්බන්ධවෙලා කටයුතු කරනවා. මේ කණ්ඩායමේ නායකත්වය දරන්නේ නුවන් තේනුවරයි. ඔහු ගැමුණු මහරජ ටෙලිනාට්‍යයේ ඔහුගේ පළමු සංගීත අධ්‍යක්ෂණය කළා. ඊට අමතරව චත්‍ර, ප්‍රාණ, මිණිගංදෑළ තේමා ගීතත්, ජූලි හතයි චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණයත් කළා. ඔහු බේස් ගිටාර් වාදනය කරනවා. ඊට අමතරව ගීත ගායනයටත් සම්බන්ධ වෙනවා. හර්ෂ නිශ්ශංක ද සිල්වා Stage masters සංගීත කණ්ඩායමේ රිදම් ගිටාර් වාදනය කරනවා. මහේන්ද්‍ර වාස් ලීඩ් ගිටාර් වාදනය කරනවා. මීට අමතරව ඔහු ගිටාර් සහ ඕගන් ඉගැන්වීම් කටයුතුවලත් නිරත වෙනවා. සමිත් චතුරංග අබේවික්‍රම Stage masters සංගීත කණ්ඩායමේ ගායකයෙකු මෙන්ම කීබෝඩ් වාදනයෙනුත් සම්බන්ධවෙලා කටයුතු කරනවා. ඉඳුනිල් ප්‍රභාත් ඩ්‍රම්ස් වාදනයෙන්ද නාලක මන්තිලක තබ්ලා වාදනයෙන්ද Stage masters සංගීත කණ්ඩායමට සම්බන්ධවෙලා කටයුතු කරනවා. මේ සියලු දෙනාටම ගීත ගායනා කරන්න පුළුවන්. ඒ වගේම මේ හැමදෙනාටම අනෙකුත් වාද්‍ය භාණ්ඩ වාදනය කිරීමේ හැකියාවත් තියෙනවා. අපි එක විනයකින්, එක සංයමයකින් යන මේ ගමනේදී ගීතයට ආදරය කරන පිරිසක් අපි වටා එකතු වේයැයි අපි විශ්වාස කරනවා. මේ හැමදෙනාම මේ ගහකොළ, ස්වභාව සෞන්දර්යාත්මක පරිසරයත් එක්ක ජීවත්වෙන අයයි. කෙටි කාලයක් තුළදී අපි ආපු ගමන සාර්ථකයැයි අපි විශ්වාස කරනවා.

Stage masters^ වෙනුවෙන් අලුතින් ශබ්දාගාරයක් ගොඩනැගෙමින් පවතින බවයි ආරංචිය.. ඒක ඇත්තද?
ඔව්.. ඒක ඇත්ත. මිනිස්සු අපිව වැළඳගන්න විදිහ හා අපේ ගමන ගැන හිතලා අපි අපිටම කියා අලුතින් ශබ්දාගාරයක් නිර්මාණය කරනවා. අපේ හඬ සහ රූප පටිගත කිරීමේ හැකියාව තියෙන අංගසම්පූර්ණ ශබ්දාගාරයක් නිර්මාණය වෙමින් පවතිනවා. ඒකට සෑහෙන මුදලක් වැය වෙනවා. නමුත් එකම තැනකදී හොඳ නිර්මාණයක් ඒ හරහා පටිගත කරන්න පුළුවන් වේවි. හොරණ ප්‍රදේශයේ ඉතා සුන්දර වටපිටාවක තමයි ඒක ඉදිවෙන්නේ. අපිට විතරක් නෙමේ.. ඒ පරිසරයට ආදරය කරන, පරිසරයට හිතකාමී මේ විශ්වයට යහපත් දෙයක් සංගීතමය හෝ රූප මාධ්‍යයෙන් දෙන්න හදන කෙනෙක්ට ඒ ශබ්දාගාරයෙන් ඒ අවස්ථාව ලබාදෙන්නත් අපි ඉදිරියේදී සූදානම් වෙනවා. 

Web – www.stagemasters.lk
YouTube – stagemastersbandaragama

 

                 සේයාරූ I සුමුදු හේවාපතිරණ