2021 ජනවාරි 09 වන සෙනසුරාදා

ඒ පදපේළිය ඇහෙද්දි මට කඳුළු එනවා...

 2021 ජනවාරි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 261

ගීතයට කවියට ජීවිතයට තරම්ම ඇය ආදරය කරන්නීය. මා හිත නැවතුණු කවි ගී රැසක අයිතිකාරිය ඇයයි. ඇය යමුනා මාලීනි පෙරේරාය.

ගීතය හා කවිය එක්ක ඔබට තිබෙන්නේ ආත්මීය බැඳීමක්. ඒ බැඳීමට ඔබ දෙන්නෙ කොහොම අර්ථකථනයක්ද?
කවිය සහ ගීතය කියන්නේ මගේ ජීවිතයේ හුස්ම කියලයි මට හිතෙන්නේ. යම්තමට අකුරු ලියන්න පුළුවන් වෙලා, යමක් ගැන හිතන්න පුළුවන් වෙච්ච දා පටන් කවියට මම සමීප වුණේ පුදුමාකාර විදියට.. ඒක හරියට ආත්මීය සම්බන්ධයක් වගේ මට දැනෙන්නේ.

මට මතකයි මගේ මුල්ම කවි පොතක මම සඳහන් කළා..
හිරු නොපතම් - සඳු නොපතම්
දිළිසෙන කහවනු නොපතම්
උපදින හැම ආත්මයෙම
පතම් සොඳුරු වූ කවිකම් කියලා.

මේ කවි කැමැත්තට සමගාමීව තවත් දෙයක් තිබුණා. ඒ ගීතයට මගේ තිබුණු ඇල්ම. ගීත අහන්න මගේ තිබුණු ආසාව හරිම පුදුමයි. පාඩම් කරද්දි පවා යම්තමට හරි සංගීත රාවයක් අහන්න ඕන වුණා.
තවත් එකක්.. රූපවාහිනිය නොතිබුණු ඒ කාලයේ මම දැකපු අරුම පුදුම මැජික් මෙවලම තමා ගුවන්විදුලිය. ගීතය කියන එක මොන තරම් සූක්ෂම ඉසියුම් වූ හිත නිවන කලා මාධ්‍යයක්ද කියන එක මට ප්‍රත්‍යක්ෂ වුණේ කුඩා වියේදීමයි. මොන තරම් මම ගීත අහන්න ඇබ්බැහිවෙලා හිටියද කිව්වොත් පොඩි කාලේ කම්මුල්ගාය හැදිලා මාව වෙනම කාමරයක කොටු කරලා තිබ්බ වෙලාවෙත් මගේ සිතැඟි හොඳටම හඳුනාගත්තු තාත්තා මගෙන් ඇහුවෙ පුතේ රේඩියෝ එක කාමරේ ඇතුළට ඕනද? කියලා.

මගේම නොවන ඒත් හදවතින් මගේම කරගත් දේවල් අපේ ජීවිතවල තියෙනවා. මම අහන්නේ ඒ විදිහට මගේම කරගත් ගීතයක් ඔබට තියෙනවද?
මගේ නොවන ඒත් මගේම කරගත් ගීත බොහොමයි. ඒ තරමටම මගේ රසවින්දනයට මම අවංක වෙනවා. ඒ ඔක්කොම ගීත අතරින් මගේ ලැයිස්තුවේ මුලටම යන ගීතයක් තියෙනවා. ඒ පණ්ඩිත් අමරදේවයන් ගයන සිහින නෙළුම් මල ජීවිත පොකුණේ ගීතය.

ඇයි ඒ ගීතයට එච්චර කැමති?
මේ ගීතය මා මුලින්ම ඇහුවෙ කලකට පෙරදි. නමුත් ඇසූ දා පටන්ම එය මගේ හිතට කාවැදුණේ ඇයිද කියන එක මට විස්තර කරගන්න ටිකක් වෙලා යනවා. ගීතයක පදමාලාවද සංගීතයද ගායනයද හිත ඇදගත්තේ කියන එක ගලපාගන්න අමාරුයි. ඒක හරියට මමම ගීතයකට ලියූ නුඹට සිත බැඳි කාරණේ මම තවම සොයන්නෙමි^ වගේ.
මේ ගීතය ලියලා තිබුණේ ධර්මසිරි ගමගේ ශූරීන්. එතුමා අපේ පහන් වැට නිර්මාණ සංසදයේ නිර්මාතෘ සේම බෝසත් ගුණෝපේත මිනිසෙක්. මගේ නිර්මාණ ජීවිතයේද පහන් තාරකාව විදිහට මම සලකන්නේ එතුමා. නමුත් මේ පදවැලට හිත බැඳුණේ එතුළින් කියවෙන, ලියවෙන, ඇඳෙන, මැවෙන ජවනිකාවල අපූර්වත්වය නිසා. මෙය මා මුලින් ඇසුවේ යොවුන් වියේදී. නමුත් එතුළින් එන ජීවන සත්‍යතාව පිළිබඳ සෞන්දර්යාත්මක සිතුවම ඉතාම ගැඹුරට සහ සරලව විඳින්න පුළුවන් වුණා.
මෙහි සංගීතය පටන් ගැනෙද්දිම, ගායනය ඇරඹෙද්දිම, මම ඇතුළු වෙනවා අමුතුම හුදෙකලා නිම්නයකට.. බොහොම සුවදායක, සුවඳවත් නිමේෂයකට.. මඳ එළිය සහ මඳ අඳුර එක්ක හුස්ම සැහැල්ලුවෙන් වැටෙද්දි රෑප රටාවක් තමුන්ගේ අභිනයන් පාමින් ඉදිරියට යනවා. ඊළඟට ජීවිතය ගැන, චිත්ත ස්වභාවය ගැන, අපූරු අවලෝකනයක්.

ගීතයක් අහද්දි ඒ ගීතයේ එක පද පේළියක් ළඟ හදවතම නැවතුණා වගේ දැනෙන අතිශය සංවේදී තැන් හමුවෙනවා. මේ ගීතයෙත් ඔබේ හදවත නවතින තැනක්, ඔබව ප්‍රකම්පනයට පත් කරන තැනක් තියෙනවද?
මුලින්ම කියවෙන්නේ අහස ඉසව්වේ ඔබ මා දුටුවේ රිදී පහන් තරුවක් වාගේ^ කියලා. ඇස් පියාගෙන මේ රෑප රාමුවට අවතීර්ණ වුණාම ඊළඟට ඇහෙනවා දෑස වසාගෙන මැදියම් යාමේ යහනක වැතිරී නිදන වෙලේ - කවියක් සේ ඔබ හද මත ගුලි වී මා හද පිරිමැද අවදි කළා කියලා.

මේ යෙදුම, මට අනුව හරිම උත්ප්‍රාසාත්මක යෙදුමක්. අපේ පංචේන්ද්‍රියන්ට ගෝචර වන හැඟිම් වන්නේ දැකීම, ඇසීම, ආඝ්‍රාණය, රස දැනීම, ස්පර්ශය. 
මෙහි කියවෙන්නේ කවියක් සේ හදවත පිරිමැද අවදි කළා කියලා. මෙන්න මේ පදය මගේ ඇස්වලට කඳුළු නංවන තරමේ සංවේදනාවක්. ඒක හෘදසත්ත කම්පනයක්. ඒක එහෙම වෙන්නේ මගේ ජීවිතයේ ප්‍රථම ප්‍රේමය කවිය නිසා වෙන්න ඇති. මගේ හිත බොහෝ වෙලා නවතින්නේ ඒ පදය ළඟයි. 

ඊළඟට කියැවෙනවා මැදියම අවදිවෙලා පෙරයම දුටු සිහිනය හැබැහින් දුටුව බව. මෙතැනින් අවලෝකනය කෙරෙන්නේ මනුෂ්‍ය චින්තනයේ ස්වභාවය. 
සිහින, සිහින දැකීම, සිහින සැබෑකර ගැනීම, සතුටු වීම, සිහින බිඳවැටීම, දුක් වීම.. මෙය තමා මුළු ජීවිත කාලය පුරාවටම සිදුවන්නේ. ඊළඟට කියවෙනවා, එහෙත් සිහිනයක් වේදෝ එය යළි ජීවිතයේ අන්තිම යාමේ කියා.
ඒ පදය හරිම තිගැස්සුම් සහගත කම්පනයක් දෙන්නෙ.. ජීවිතයේ අන්තිම යාමය.. එය නිශ්චිත නැති යාමයක්.. නමුත් එය අනිවාර්යයි. ඒ කම්පනය හරි ප්‍රබල වෙන්නෙ සැබෑ වුණායැයි සිතූ සිහිනය ජීවිතයේ අන්තිම යාමයේ සිහිනයක් වේදැයි යන ප්‍රශ්නාර්ථය.. 

වරෙක කවියෙන් ගීතයෙන් ඔබ අනාවරණය කරන ජීවිතයේ හිස් බව දුක් සහිත බව ජීවිතය විනිවිද ජීවිතයේ යථාර්ථය ස්පර්ශ කරද්දි ඔබට ඇත්තටම දැනුණු තැන් ජීවිතයේ තියෙනවද?
මගේ දයාබර සැමියා සේනක.. ඔහු නැතිවුණු වෙලාවෙ මට මේ ජීවිතයේ %ශුණ්‍යත්වය^ කියනදේට උද්වේගයක් සැපයුවා.

මේ ගීතයේ ගී පද රචකයා, සංගීතවේදියා, ගායකයා සමඟ ඔබ මේ ගීතය ගැන කතා කර තිබෙනවද?
මම මේ ගීතය ගැන කතා කරලා තියෙනවා ධර්මසිරි ගමගේ ශූරීන් එක්ක වගේම අමරදේව ශූරීන් සමඟ මොන තරම්නම් මම හෘදයාංගම මේ ගීතය විඳලා තිබෙනවද කියලා. නමුත් මෙය චිත්‍රපටයකට කළ ගීතයක් බව ඇසුවාම පුදුමත් හිතුණා.

ජීවිතය බෙදාහදා ගන්න, ජීවිතයේ හැමදේම කතා කරන, ළෙන්ගතු විශ්වාසවන්ත කෙනෙක් ඔබට ඔබේ ජීවිතයේ හිටියනම් සහ දැන් ඉන්නවනම් මේ ගීතය ගැන ඒ කෙනා සමඟ ඔබ කතා කර තියෙනවද?
මේ ගීතය ගැන මම සේනක සමඟ කතා කරලා තිබෙනවා. මොකද ඔහු තමා මගේ සමීපතම රසවිඳින්නා. ඔහු කලාකරුවෙක් නිසා හැම කලාවේ විෂයක් ගැනම හොඳ අවධි බුද්ධියෙන් කතා කළ කෙනෙක්. අනික මගේ ගීත රචනා ජීවිතයේ ආරම්භයට මූලික වුණේ ඔහු. මගේ මුල්ම ගීතය (සුනිල් එදිරිසිංහයන් ගැයූ රෝහණ වීරසිංහයන් සංගීතවත් කළ) අහස පොළොව වටපිටාව ගීතය ලියවුණේ ඔහු වෙනුවෙන්නේ.
මා ලියූ හැම ගීතයක්ම මුලින්ම කියෙව්වේ ඔහුයි.. කලාව සම්බන්ධව.. කලා කෘති සම්බන්ධව.. අපි අපේ දැනුම බෙදාහදා ගත්තා. ඔහු සතු පුළුල් දැනුමත් මට ආශිර්වාදයක් වුණා.

ගීත ලියන, කවි ලියන ඔබට ඇයි මේ ගී සංකල්පනාව මගේ හිතේ ඇති නොවුණේ කියලා දැනුණු මොහොතක් තියෙනවද?
මේ සංකල්පනාව මට ඇතිවුණේ නැත්තෙ ඇයි කියලා මට දුකක් නෑ. නිරතුරු අපේ හිත්වල ඇතිවන කවි සංකල්පනාවල සංකල්පනයක් වගේ මට දැනුණේ. මෙය රසවිඳින්න එය මා ලියන්නම ඕන නැහැ. උසස් පරිකල්පන ශක්තිය කවියෙකුට සේම ගීත රචකයෙකුට ජීවිතයේ ලැබෙන අමර වරමක්. මේ රචනය විනිවිද යද්දි මම ඒ ශක්‍යතාවට වසඟ වෙනවා.

ආදරය, ලෝකය සහ ජීවිතය අපිට හමුවෙන අපි කියවන එක් මාධ්‍යයක් විදිහටයි මම රසවින්දනය දකින්නේ. රසවින්දනය.. එය ඔබ නිර්වචනය කරන්නේ කෙසේද?
රසවින්දනය කියන දේ ගැන කතා කළොත් එයට මහා උගත්කම් හෝ තානාන්තර අවශ්‍ය නැහැ. අවධි බුද්ධිය සහ රසකාමී ගවේෂණයට සැදී පැහැදී සිටින මනසක් හිමියා හොඳ රසවිඳින්නෙක්.

නිර්මාණ ජීවිතයේ මුලින්ම මම වින්දනාත්මකව රසවින්ඳේ මහගම සේකරයන්ගේ කවි සහ ගීත. මම හොඳ %රසිකාවක්^. ඒ වගේම මම හොඳ ගීත රසිකාවක්.. මාව යම් දුරකට ඇවිත් ඇත්නම් ඒ ආවේ මේ අපූරු රසිකත්වය ඔස්සේ. හැමදෙනාටම නිර්මාණකරුවන් වෙන්න බැරි වුණාට නිර්මාණ රසවිඳින්නන් වෙන්න පුළුවන්.
හෘද සංවේදීභාවය ඔස්සේ ඇතිවන මේ සහකම්පනය ජීවිතයට ආශීර්වාදයක් වෙන්නේ, හුදෙකලා වන හැම මොහොතකම ජීවිතය පුරා ගල්වන මේ කලාත්මක ආස්වාදයන් නිසාමයි. යහපතට යොමුවුණු මනස් ඇත්තෝ නිර්මාණ කරන්නේ වඩාත්ම යහපත් වූ ලෝකයක්...