2020 ඔක්තෝබර් 17 වන සෙනසුරාදා

මම ආසම සින්දුව මට කියා ගන්නම බැහැ

 2020 ඔක්තෝබර් 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 265

පිංපොං... එහෙම කීවම නොදන්න කෙනෙක් නැති ඔහු ඇත්තටම නිරහංකාර ආදරණීය කලාකරුවෙක් ලෙස ජනාදරය නිරන්තරයෙන් දිනාගත් ප්‍රියමනාප කලාකරුවෙක්.
අද මගේම නොවන මගේම ගීතය ගැන කතා කරන්නේ ආවේ ඔහු.. රජිත හිරාන්.

රජිත ඔයා නිතරම මුමුණන ඔයා ඔයාගෙම කරගත්ත ගීතයක් ඔයාටත් තියෙනවද?
හ්ම්... මට තියෙනවා එහෙම ගීතයක්.

කියන්න මොකද්ද ඒ ගීතය?
කුලරත්න ආරියවංශ ගී පද රචකයා ලියූ ආචාර්ය රෝහණ වීරසිංහ තනුව නිර්මාණය කළ අමරදේව මහත්මයා ගැයූ ආරාධනා ගීතය

ඇයි ඒ ගීතයට එච්චර කැමති?
මගේ හිතට ඉස්සෙල්ලම වැදුණේ සින්දුවේ මෙලඩි එක. මම අමරදේව මහත්තයගේ සින්දු විශේෂයෙන් රසවිඳින කෙනෙකුත් නෙවේ. අමරදේව මහත්මයාගේ අනිත් සින්දු මට එහෙම දැනිලත් නෑ. සමහරු ප්‍රබුද්ධයි කියලා පෙන්නන්න බොරුවටත් අමරදේවගේ සින්දු අහනවනේ. මම නිහාල් නෙල්සන් මහත්මයාගේ ගීත, හින්දි ගීත, අරාබි ගීත ඔය ඕන ගීයක් අහනවා. මම ඒත් කල්පනා කළා මේ ගීතය මට මෙච්චරටම හිතට වදින්නේ ඇයි මේ ගීතයේ අදහස මට සම්බන්ධයිද කියලා. එහෙම එකකුත් නෑ. මම හිතන්නේ තනුව සහ අමරදේව මහත්තයා ඒ සින්දුව ගායනා කරන විලාසය අනුව තමා ඒ ගීතය මට එච්චරට දැනෙන්නේ.

ඔබ නළුවෙක් වගේම ගායකයෙක්. මෙච්චරම කැමතිනම් ඇයි කවදාවත් මේ ගීතය වේදිකාවකදී ගැයුවේ නැත්තේ?
අහන්න ආස වගේම කියන්නත් ආසම ගීතය. මාර වැඩේ කියන්නේ මොනම විදිහකින්වත් මට මේ සින්දුව කියාගන්න බෑනේ.

වැඩිපුරම අහන රසවිඳින ගීතය නිසා යාළුවෝ එහෙම එකට එකතු වුණාම කියන්නේ නැද්ද මේ ගීතය?
මම ඔය හෝටලයකට ගියත් කැලිප්සෝ බෑන්ඩ් එකක් ඇවිත් ප්ලේ කරත් එයාලගෙන් ඉස්සෙල්ලාම ඉල්ලන්නේ පුළුවන්නම් මේ ගීතය කියන්න කියලා. රෑපවාහිනී වැඩසටහනකට ගියත් සින්දුවක් තෝරන්න තියෙනවානම් ඉස්සෙල්ලාම ඉල්ලන්නේ ආරාධනා ගීතය. අන්තර්ජාලයට ගිහින් සින්දුවක් අහන්න හිතුණත් අහන්නෙම ඔය සින්දුව.

ඒ ගීතයේ රජිතගේ හිතට වැඩියෙන්ම දැනෙන පද පේළියක් තියෙනවද?
ජීවිතයේ තනි මංසල අතරමං වෙලා
හුදෙකලාව සුසුම් හෙලන හදවත සනහා..
අතීතයේ ගිලිහී ගිය
සතුට රුගෙන යළි වඩින්න
ආරාධනා........ ආරාධනා...........

ඒ පද ටිකට මම හරිම ආසයි. ජීවිතයට අහිමි වෙච්චි දෙයක් අරගෙන ආයෙත් එන්න කියද්දි ඒ පද ටික හරියට හිතට වදිනවා.

ඔයාගේ අතීතයත් එක්ක අතීතයේ හිටපු කාත් එක්ක හරි බැඳීමක් හිතට දැනෙනවා වගේද ඒ පද ටික අහද්දි?
පෙර භවයක ඉඳන් අරගෙන ආව මොකක්හරි මතකයක් මේ ගීතයත් එක්ක දැනෙනවා වෙන්නත් පුළුවන් කියලා මට හිතෙනවා.

මේ ගීතයේ පද රචකයා ඔයාට හමුවුණොත් මේ ගීතය ගැන මොනවද ඔයා එයාට කියන්නේ?
හොඳ ගුණ බෙහෙත් පෙත්තක් රස තවරලා නොදැනීම ඇඟ ඇතුළට යවපු ඔබතුමාට බොහෝම පිං කියලා තමයි කියන්නේ.

ගෙදර ඉද්දි නිකමට වගේ මුමුණන පුරුද්දක් නැද්ද මේ ගීතය?
කවුරුත් නැති වෙලාවට මුමුණනවා. හිටපු ගමන් මගේ වයිෆ්ටත් කියනවා මේ ගීතය ඔයත් අහලා බලන්නකො මේක හරි ලස්සන ගීතයක් කියලා. කොහේදිහරි කවුරුහරි හම්බවෙලා ගීත ගැන කතා කළත් මම කියනවා මේක නියම සින්දුවක් මේ සින්දුව අහන්න කියලා.

බිරිඳත් එක්ක හැර මේ ගීතය ගැන ‍ෙළංගතුව කතා කරන, මේ ගීතය අහන්න කියන ජීවිතයට සමීප වෙන කවුරුත් නැද්ද?
යාළුවන්ට තමා ඉතින් කියන්නේ. ඒ හැර කියන්න සමීප කෙනෙක්නම් නෑ වෙන. කියන්න හිතුණත් ජීවිත ආරක්ෂාව තකා මුඛ ආවරණ දාගෙන ඉන්නවා.

ඇයි ඔබ කියන්නේ මේ ගීතය ඔබට ගායනා කරන්න බෑ කියලා?
මම හිතනවා ගයන්න ගියොත් මට මේ ගීතයට සාධාරණයක් කරගන්න බැරිවෙයි කියලා. මේ ගීතය ගායනා කරලා තියෙන ස්වර පරාස ගයන්න ඒ තරම් ලේසි නෑ. සංගීත විඥානයෙන් පරිපූර්ණ වූ වර්තමාන පරම්පරාවේ අයටත් මේ ගීය ලේසියෙන් ගයන්න පුළුවන් කියලා මට හිතෙන්නෙ නෑ. ඒ සින්දුව ඇත්තටම අමරදේව මාස්ටර් ගායනා කරලා තියෙනවා නෙවෙයි. ලස්සනට ප්ලේ කරලා තියෙනවා.  ද ෆුට් බෝල් ප්ලේයර් කෙනෙක් වගේ බෝලෙන් දාන්න පුළුවන් උපරිම වැඩ ටික දාලා තියෙනවා. අමරදේව මාස්ටර් මියුසික් කියන පිට්ටනිය ඇතුළේ සින්දුව නියමෙටම ප්ලේ කරලා තියෙනවා පුරුදුකාරයෙක් විදිහට. මම හිතන්නේ නෑ එතනට අපිට ළංවෙන්න පුළුවන් කියලා.

ඔබ ජනතාවගේ ආදරය ලබන කලාකරුවෙක් විදිහට ගීතය සහ කලාව ගැන ඉදිරි පරම්පරාවේ රසවිඳින්න ශක්තිය හා පරාසය ඔබට දැනෙන්නේ කොහොමද?
අපේ හුඟාක් මිනිස්සුන්ට දැන් හුරු වෙලා තියෙන්නේ අගේ දේවල් නෙවෙයි &වගේ* දේවල්. ගම් බිත්තර වෙනුවට ෆාම් බිත්තර පුරුදු වෙච්ච, ගුණක් මොකටද බඩ පිරෙන්න දෙයක් බඩට වැටු‍ණොත් කියන තැන හුඟක් අය ඉන්නේ. දැන් මිනිස්සුන්ට ඕනෑ නිකම් %සාම්පල්^ විතරයි. රැල්ලේ තියන ගුණදායක බව අගුණදායක බව ගැන අවබෝධයක් නෑ. රැල්ල මොකද්ද ඔහේ රොත්ත පිටින් ගහගෙන යනවා. හරි දේ සහ හොඳ දේ ඇත්හැරලා කිලිටි දේ සහ ගඳ දේ ළංකරගන්නවා. අඩුවට හා නිකම් ලැබෙනවනම් ඕනෑ දේකට ඔට්ටුයි. රසවිඳින පිරිස හුඟක් අඩුයි. ඉල්ලන්නෙම අගේ දේ නෙවේ. වැඩි ගාණක් දීලා ප්‍රවීණ ගායක ගායිකාවන් නෙවෙයි ප්‍රසංගවලට ගෙන්වන්නේ. එක රුයින් තරු වෙච්ච අය. ලංකාවේ සිනමා කර්මාන්තය අත්හැරලා යූටියුබ් වීඩියෝ බලන පරම්පරාවක් දැන් ඉන්නේ. පැය විසිහතරක් දුක් විඳලා කරන කලා නිර්මාණ ප්‍රතික්ෂේප කරලා හඬ කවන බාල බොළඳ නාට්‍ය වැළඳ ගන්නවා. ලංකාවේ ටෙලිනාට්‍ය ප්‍රතික්ෂේප කරලා ඉන්දියානු වසංගත මල් මාලා දාලා වැළඳ ගන්න ජාතියක් විදිහට අපි තෝරාබේරාගෙන රසවිඳින්න පුරුදු වෙන්න ඕනේ. අනාගත පරම්පරාවට සංස්කෘතික ඉතිහාසය කියලා දෙද්දි ශාස්ත්‍රීය ඉතිහාසයත් කියලා දෙන්න ඕනේ. මට හිතෙන්නේ අපේ පරම්පරාවෙන් පසු රසවිඳින පරම්පරාව ඉවරයි. ලියුම් ලියපු, නවකතා, පත්තර කියවපු, සින්දු අහපු ඔටෝග්‍රාෆ් ලියපු පරම්පරාව ඉවරයි.

 

                                සේයාරුව - සුමුදු හේවාපතිරණ