2020 අප්‍රේල් 04 වන සෙනසුරාදා

කුමර කුමරියන් කුවේරයන් හැමදෙනාටම එකම හැන්දෙන්

 2020 අප්‍රේල් 04 වන සෙනසුරාදා, පෙ.ව. 12:00 76

කොරෝනා වෛරසය මේ වෙද්දී මුළු ලෝකෙම වෙලාගෙන ඉවරයි. ලෝකෙ ලොකුම බලවත්තු පවා කොරෝනා වසංගතය නිසා මේ වෙද්දී හෙල්ලිලා ගිහින්. ඒකට හොඳම උදාහරණයක් තමා එංගලන්ත රජ පවුලට පවා කොරෝනා ආසාදනය වෙලා තිබීම. සති දෙකකට විතර පෙර තමා බ්‍රිතාන්‍යයේ මීළඟ ඔටුන්න හිමි කුමාරයා වන චාල්ස් කුමාරයාට කොරෝනා ආසාදනය වෙලා තියෙන බව දැනගන්න ලැබුණෙ. ඊට අමතරව බ්‍රිතාන්‍ය මහ රැජණ පවා ස්වයං නිරෝධානයට ලක්වෙලා ඉන්න කියලයි එංගලන්ත පත්තර වාර්තා කරන්නෙ. 

හැත්තෑ එක් හැවිරිදි චාල්ස් කුමාරයාටත් කොරෝනා වැළඳිලා තිබීම මේ වසංගතයේ නියම භයානකකම ගැන ගොඩක් දෙනෙක්ට අවබෝධ වෙන්නත් හේතුවෙලා තිබුණා. කොහොම නමුත් බකිංහැම් මාළිගයේ ආරංචි මාර්ගවලට අනුව නම් චාල්ස් කුමාරයා මේ වනවිට යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් වගේම හොඳ මානසිකත්වයකින් පසුවෙනවා. 

ඔහු මේ දිනවල වාසය කරන්නේ ස්කොට්ලන්තයේ තියෙන තමන්ගේ කෝන්වෝල් නිවසේයි. ඔහු සමඟ ඔහුගේ ආර්යාව කැමිලා පාකර් වාසය කළත් චාල්ස් අන් සියල්ලන්ගෙන්ම වෙන්ව හුදෙකලාව කටයුතු කරමින් සෞඛ්‍ය උපදෙස් අකුරටම පිළිපදිනවාලු. 

කෝන්වෝල් නිවසින් ලැබෙන ආරංචි අනුව කුමාරයාගේ තනි නොතනියට ඉන්නේ ඔහුගේ රතු ලේනුන් සමූහයයි. එංගලන්තයේ රතු ලේනුන් ආරක්ෂා කිරීමේ භාරකාර සංගමයක උපදේශකත්වය පවා දරන චාල්ස් කුමාරයා, මේ දිනවල රතු ලේනුන්ට කෑම බීම දෙමින් සතුටින් කාලය ගෙවන බව දැනගන්න ලැබෙනවා. 

ඒ වගේම තමන්ගේ රාජකාරි වැඩකටයුතු නොපිරිහෙලා ඉටුකරන්නත් චාල්ස් කුමාරයා අමතක කරලා නැහැ. වෙනදා හැම උදේකම පෙට්ටියක් පුරවලා ලැබෙන විවිධ ලිපිගොනු ආදිය දැන් කුමාරයාට ඊමේල් හරහා යවමින් සියලු රාජකාරි කටයුතු හරියාකාරව කරන්නත් කාර්ය මණ්ඩලය කැපවෙලා ඉන්නවා. මීට අමතරව තමන්ගේ පවුලේ සාමාජිකයින් සමඟ කතාබස් කිරීමට චාල්ස් කුමාරයා Houseparty නම් විශේෂ චැට් ඇප් එක භාවිතා කරන බවටත් ආරංචියි.
ඔය අතරේදී චාල්ස් කුමාරයාගේ දෙමාපියන් වන දෙවැනි එළිසබෙත් රැජණත්, එඩින්බරෝ ආදිපාදවරයා ලෙස හැඳින්‍‌වෙන පිලිප් කුමාරයාත් අවුරුදු තුනකට විතර පස්සෙ නැවතත් එකම මාළිගයක වාසය කරන්න පටන් අරගෙන. පිලිප් කුමාරයා 2017 අවුරුද්දෙදි තමන්ගේ මහජන රාජකාරිවලින් විශ්‍රාම ගියාට පස්සේ ඔවුන් දෙදෙනා හිටියේ දෙතැනක. නමුත් කොරෝනා වසංගතය හමුවේ ඒ දෙන්නම වින්ඩ්සර් මාළිගයට වෙලා ඉන්න තීරණය කරලා. 
රැජණත් අශ්වයින් පිට යාම ඇතුළු තමන්ගේ දෛනික රාජකාරි බොහෝමයක් නතරකරලා දාලා පිලිප් කුමාරයා එක්කම කාලය ගත කරන්න වැඩිවෙලාවක් වෙන්කරලා කියලයි එංගලන්තයෙන් ආරංචි වෙන්නෙ. 

හොලිවුඩයේ ඉන්න සරාගී ගිනිසිළුව කිම් කාර්ඩේෂියන් ලොවපුරා පැතිරී යන කොරෝනා වසංගතය හමුවේ පීඩාවට පත් පවුල් වෙනුවෙන් ඩොලර් මිලියනයක මුදලක් පරිත්‍යාග කිරීමට තමන් තීරණය කළ බව පහුගියදා නිවේදනය කළා. ඒ ඇගේ අලුත්ම ව්‍යාපාරය වන SKIMS හි ආදායමෙන්. 

සුන්දර නාරි දේහයකට උරුමකම් කියන කිම්, නිතරම තමන්ගේ සිරැර කැපී පෙනෙන විදිහේ ඇඳුම් ආයිත්තම්වලින් සැරසෙන කෙනෙක් කිව්වොත් නිවැරදියි. ඉතින් ඇය වගේම ලස්සනට සිරුර තියාගෙන ඉන්න කාන්තාවන්ටත් සිරුර කැපිලා පේන විදිහට ඇඳුම් අඳින්න අවස්ථාව උදාකර දෙන්න තමා කිම් SKIMS විලාසිතා නිර්මාණ ව්‍යාපාරය පටන්ගත්තෙ. ඒ මීට මාස හයකට කලින්. ඇගේ ව්‍යාපාරයට සහ විලාසිතාවලට ඇතිවුණු ඉල්ලුම කොයිතරම් ද කියනවා නම්, ගිය අවුරුද්දෙ සැප්තැම්බර් මාසෙදී SKIMS ව්‍යාපාර නාමය හඳුන්වා දීලා මිනිත්තු දෙකක් ඇතුළත ඇයට ඩොලර් මිලියන දෙකක ඇණවුම් ලැබිලා තිබුණා. 

ඉතින් මේ වෙලාවෙ මුළුමහත් ලෝකයමත් විශේෂයෙන්ම කිම් ජීවත්වන අමෙරිකා එක්සත් ජනපදයත් කොරෝනා රෝගය නිසා තදින්ම බැටකනවා. ඒ නිසාම තමන්ගෙ අලුත් ව්‍යාපාරයෙක් උපයාගත්ත ඩොලර් මිලියනයක් පීඩාවට පත් පවුල්වලට පරිත්‍යාග කරන බව ඈ පවසනවා. මේ මුදල්වල වටිනාකම රුපියල් කෝටි 20කට ආසන්නයි. 

“අපි මුල්වරට හඳුන්වාදුන් විලාසිතා තොගය නැවත හඳුන්වාදීමට තීරණය කළා. ඉන් උපයාගන්නා ආදායම මේ විදිහට විපතට පත් ජනතාව වෙනුවෙන් විශේෂයෙන්ම මව්වරු සහ දරුවන් වෙනුවෙන් ලබාදීමට අපි තීරණය කළා” ඇය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරලා තිබුණා. 

තිස් නම හැවිරිදි කිම් මේ වනවිට තමන්ගේ සුපිරි ගායක සැමියා වන කේන් වෙස්ට් සහ දරුවන් සිව්දෙනා සමඟ කැලිෆෝනියාවේ පිහිටි තමන්ගේ මන්දිරයේ නිරෝධායනයට ලක්වෙමින් සිටිනවා. SKIMS ව්‍යාපාරය හැරුණු විට ඇයට KKW Beauty සහ KKW Fragrance යන වෙළෙඳ නාම මෙන්ම Keeping Up With The Kardashians නම් රියැලිටි වැඩසටහන් අයිතියද පවතිනවා. 

 

► Text — Suranga