2020 මාර්තු 26 වන බ්‍රහස්පතින්දා

ආත්ම විශ්වාසයට කරන්න බැරි දෙයක් නෑ

 2020 මාර්තු 26 වන බ්‍රහස්පතින්දා, ප.ව. 06:30 205

කෙනෙඩි ග්‍රාෂියා කියන්නේ උපතින්ම ඩවුන් සින්ඩ්‍රොම් එහෙමත් නැත්නම් ඌන බුද්ධි වර්ධන රෝගයෙන් පෙළෙන දැරිවියක්. ඇය ඉපදුණු මොහොතේ දොස්තරවරැ ඇගේ මවට කීවේ දරුවාව විශේෂ පහසුකම් තිබෙන ස්ථානයක රඳවන ලෙසයි. ඇයව කාට හෝ හදාගන්න දෙන ලෙස තවත් දොස්තර කෙනෙක් ප්‍රකාශ කරලා තිබුණා. ඒත් ඒ කිසිම කතාවක් කනකට නොගත්තු කෙනෙඩිගේ අම්මා, ඈව තමන් ළඟ තබාගනිමින් උස්මහත් කරපු එක ගැන ඉන්නේ ලෝකයම දිනුවා වැනි සතුටකින්.

වැඩකට නැති දැරිවියක් විදිහට ලෝකය හංවඩු ගහපු කෙනෙඩි අද අමෙරිකාවේ ඉන්න ජනප්‍රිය නවයොවුන් නිරෑපණ ශිල්පිනියක්. ඒ වගේම අමෙරිකානු ටෙලි කතාමාලාවල සහාය නිළියක ලෙසත් ඇය පෙනී සිටිනවා. 

දොස්තරලා මට කෙනෙඩි ගැන දුන්නෙ දුක්මුසු ආරංචි. ඒ හින්දා කෙනෙඩි හම්බවුණාට පස්සෙ මං හිටියෙ ගොඩක් දුකින්. කෙනෙඩිගේ මව රෙනේ අවුරුදු පහළොවකට පෙර අතීතය සිහිපත් කරනවා. 
රෙනේගේ වගේම කෙනෙඩිගේ වාසනාවටත් ඉතාම කරුණාවන්ත පවුල් සෞඛ්‍ය සේවිකාවක් ඒ දවස්වල එයාලට මුණගැහුණා. ඇයටත් එවිට අවුරුදු දාසයක් තරම් වයසැති ඩවුන් සින්ඩ්‍රොම් දැරියක් උන්නා. ඒ නිසා රෙනේට කෙනෙඩි ගැන අලුත් බලාපොරොත්තුවක් ඇතිවුණා. 

මේ තත්ත්වය නිසා කෙනෙඩිට ඇවිදින්න පවා පුළුවන්කමක් තියේවිද කියලා මම දැනගෙන උන්නෙ නෑ. නමුත් ඇය (පවුල් සෞඛ්‍ය සේවිකාව) මට උපදෙස් දීලා මාව ධෛර්යමත් කළා. රෙනේ එහෙම කියනවා. 
දැනට පහළොස් හැවිරිදි කෙනෙඩි තමන්ගේ වයසේ අනෙක් දැරිවියෝ වගේම ජීවිතේ සතුටින් ගතකරන එක දකින ඇගේ මව්පියෝ ඉන්නෙ ගොඩක් සතුටින්. හැබැයි පොඩි කාලේ කෙනෙඩි ලියුකේමියා රෝගයෙන් වගේම සුෂුම්නා රෝගයකිනුත් පීඩා විඳලා තියෙනවා. ඒ රෝගවලින් සම්පූර්ණයෙන්ම මිදුණු කෙනෙඩි අද වෙද්දි දක්ෂ නර්තන ශිල්පිනියක් විදිහටත් ඉදිරියට ඇවිත්. අමෙරිකාවේ ජාතික මට්ටමේ නැටුම් තරගවලට පවා ඇය එක්වෙනවා.

ඒ විරතක් නෙමේ. කෙනෙඩිට පෙම්වතෙකුත් ඉන්නවා. දහනම හැවිරිදි ඇගේ පෙම්වතා මැතිව්ටත් ඩවුන් සින්ඩ්‍රොම් තත්ත්වය තියෙනවා. හැබැයි ඔහුත් කෙනෙඩි වගේම නිරූපණයෙන් රංගනයෙන් ඉදිරියට ආපු කෙනෙක්. දෙදෙනා මුණගැහිලා තියෙන්නෙත් නිරූපණ වැඩසටහනක සම්මුඛ පරීක්ෂණයක් අතරතුරදි. 

කෙනෙඩිගේ සාර්ථකත්වයත් එක්ක රෙනේ මුලින්ම කරපු දෙයක් තිබුණා. ඒ තමා කෙනෙඩි ඉපදුණු රෝහලට ගිහින් එතැන උපදින ඩවුන් සින්ඩ්‍රොම් දරුවන්ගේ අම්මලාට කියවන්න පොත් ටිකක් පරිත්‍යාග කිරීම. කෙනෙඩිව උස් මහත් කරද්දි තමන්ට උපකාරී වුණු පොත්පත් වගේම, අවශ්‍ය කෙනෙක්ට තමන්ට කතා කරන්න දුරකථන අංකයකුත් ඇය රෝහලට ලබාදුන්නා. ඒ අනුව ඩවුන් සින්ඩ්‍රොම් සහිත දරුවන් රැසකගේ මව්වරැන්ට උදව් කරන්න රෙනේට පහුගිය අවුරැදු කිහිපය තුළදි අවස්ථාව ලැබිලා. 

Metro.co.uk ඇසුරෙන්