2020 මාර්තු 26 වන බ්‍රහස්පතින්දා

මට ගෙවන ගාණ කීයද?

 2020 මාර්තු 26 වන බ්‍රහස්පතින්දා, ප.ව. 06:30 170

අලුතින් හදපු රෙදිපිළි සාප්පුවක් විවෘත කිරීමට එහි අයිතිකරු තම බිරිඳත් එක්ක ගියාලු දන්න කියන කලා ශිල්පිනියක් මුණගැහෙන්න.

ඉතිං කවදද කඩේ විවෘත කරන්නෙ. ඇය ඇගේ දිනපොත පරීක්ෂා කරන ගමන් ඇහුවලු.
එදාට නම් මට පුළුවන්....
අනේ කොච්චර දෙයක්ද ඔබතුමීට එන්න පුළුවන් නම්....
කොහොමද ගණන් එහෙම?

අනේ අපේ සාප්පුවේ ලොකු ගණන්වලට ඇඳුම් නැහැනෙ. රුපියල් 500 ඉඳලා රැපියල් 2,000 වෙනකම් තමයි ඇඳුම්වල ගණං....

අයියෝ නැහැ. මම ඇහුවෙ සාප්පුව විවෘත කරන්න එනවට ඕගොල්ලො මට ගෙවන ගාණ කීයද කියලා...

 

මඤ්ඤොක්කා - ඉඟුරු විසද?

මඤ්ඤොක්කා කෑවම එදාට කවුරුත් ඉඟරු දාපු කෑම බීම කිට්ටු කරන්නෙවත් නැති හේතුව දන්නවනෙ. ඒ තරමට මඤ්ඤොක්කා - ඉඟුරු සුසංයෝගය විස සහිතයි කියලා කියනවනේ
අපේ මිත්‍රයෙකුට පහුගිය දවසක කෝල් එකක් ඇවිත්. එයාගෙ හොඳ යාළුවෙක් අන්තරා වෙලා. උදේ කෑමට මඤ්ඤොක්කා කාලා.... උදේ 10ට විතර හොඳ ඉඟුරැ දාපු ප්ලේන්ටියක් බීලා. ඔන් ද ස්පොට් කියලයි ආරංචිය. බැලින්නම් ඇත්තටම වෙලා තියෙන්නෙ මේකයි.

මේ කොල්ලා උදේට හොඳ මඤ්ඤොක්කා ඩයට් එකක් දාලා ගෙදරින් ඇවිත් තියෙන්නෙ. වැඩට ඇවිත් යාළුවො දෙන්නෙක් එක්ක එයාගෙ ඔෆිස් එක ළඟ හෝටලේට ගිහින් හොඳ ඉඟුරු දාපු ප්ලේන්ටියක් බීලා.
ප්ලේන්ටිය බීලා කඩෙන් එළියට ආවා විතරයි. වේගෙන් ආපු කාර් එකක් මෙයාව හප්පලා යට කරගෙන ගිහිල්ලලු. ඔන් ද ස්පොට්.

 

කිරිබත් කෑවෙත් ආවරණය දාගෙනලු.....

ඕනෑම දෙයක් පුරුදු වෙන්න කාලයක් යනවනෙ. මේ දිනවල අපි කවුරැත් මුහුණ දෙන දරුණුම ප්‍රශ්නය තමයි කොරෝනා වෛරසය.

හොයාගන්න අමාරු වුණත් බොහෝ අය මූණු ආවරණ හොයාගෙන ඒවා පාවිච්චි කරනවා. කාර්යාලවලත් එහෙමයි, රූපගත කිරීම් සිදුවෙන දර්ශන තලවලත් එහෙමයි. පසුගිය දවසක එවැනි දර්ශන තලයක මූණු ආවරණයක් පැළඳගෙන හිටපු කලා ශිල්පිනියක් උදේට කිරිබත් කන්න අරන් තියෙන්නෙ මූණු ආවරණය ගලවන්නෙ නැතුව.

ඕක ඉතින් හිනාවෙන්න දෙයක් නෙවෙයිනෙ. අපි තාම මූණ ආවරණවලට පුරුදු වෙනවනෙ, ලැජ්ජාවෙන් බේරෙන්න කෙල්ල කිව්වලු.

 

► Text - Mithra