2020 මාර්තු 14 වන සෙනසුරාදා

හදසර cover

 2020 මාර්තු 14 වන සෙනසුරාදා, ප.ව. 12:31 232

Vinuja Gunasekara

අපිට විනුජ ගැන පොඩි විස්තරයක් කියන්න?

මගේ නම විනුජ තරුෂ්ක ගුණසේකර. මගේ පවුලේ ඉන්නේ අප්පච්චියි, අක්කයි, මගේ අම්මා නැති වුණා. මගේ අප්පච්චිගේ නම ජගත් ගුණසේකර. අක්කා චේතනී ගුණසේකර. මගේ අම්මා නැතිවෙලා දැන් අවුරුදු හතරක් වෙනවා. අම්මා සහන්දනී රත්නායක.

විනුජ සංගීතයට කැමැත්තක් ඇති වුණේ පුංචි කාලේ ඉඳන්ම ද?

ඔව්.. මම පොඩි කාලේ ඉඳන්ම සංගීත පරිසරයක තමයි හැදුණේ වැඩුණේ. මම හැමවෙලේම දැක්කේ මගේ සීයවයි. (වික්ටර් රත්නායක) ඒ වගේම මාමාලා දෙන්නත් මගේ අම්මාත් සීයා එක්ක සංගීත වැඩකටයුතු කරන දිහා මම බලාගෙන ඉඳලා තියෙනවා. මතක ඇති කාලෙක ඉඳන් මට සංගීතයම තමයි ඇහුණේ. ගෙදර බිත්තියක් දිහා බැලුවත් මම දැක්කේ මොකක් හරි සංගීත භාණ්ඩයක තියෙන ඡායාරූපයක් විතරයි. සීයා සංගීතයත් එක්ක හැසිරෙන විදිහ, සීයා ඒ සංගීතයෙන් ලබන වින්දනය, 
සතුට දිහා බලලා මියුසික් කියන්නේ හරි සුන්දර දෙයක් කියලා මටත් දැනුණා. ඒ නිසා මටත් ඒ දේ පටන් ගන්න හිතුණා.

විනුජට වික්ටර් රත්නයකයන් සමඟ ගීත ගායනා කරන්නත් අවස්ථාව ලැබුණා නේද?

ඔව්.. ඉස්සර ඉඳන්ම මම ගෙදර නිකන් ඉන්න වෙලාවට නිතරම ගීත ගායනා කළා. ඒ දේ සීයා දැක්කා. 2015 වසරේදී මට සීයා ඇතුළු මුළු පවුලම එකතුවෙලා ළමා ගී තැටියක් නිර්මාණය කරන්න අවස්ථාව ලබලා දුන්නා. සීයා තමයි ඒ ළමා ගී තැටියට වැඩියෙන්ම සංගීත නිර්මාණය කළේ. ඉස්සර සීයා ළමා ගී කරද්දී සීයාගේ මුණුපුරු මිණිපිරියන්ව සහය ගායනයට එක්කගෙන ගියා.

පාසලේදී විනුජ සංගීතය හැදෑරුවාද?

ඔව්... මම ඉගෙන ගන්නේ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයෙන්. පාසලේදී සංගීත කටයුත්තක් තිබුණොත් අනිවාර්යයෙන්ම මම ඒකට ඉදිරිපත් වුණා. උසස් පෙළටත් මම ඉගෙන ගන්නේ කලා විෂයන්ම තමයි. පාසලේදී හැම උත්සවයකදීම මම ගීත ගායනා කළා.

මෑත කාලයේදී විනුජ ඩ්‍රම්ස් වාදකයෙක්. මේ දේවල් විනුජගේ මව දැක්කද?

ඔව්... මම ඩ්‍රම්ස් වාදනය කරන්න පටන් ගත්තේ අවුරුදු තුනේ ඉඳන්. මේ දේවල් මගේ අම්මා දැක්කා. එයා ඒ ගැන ගොඩාක් සතුටු වුණා.

විනුජත් දැන් ලෙලුම් එක්ක එකතුවෙලා “අමුතු” වැඩක් කරනවා?

ඔව්.. ඒක “අමුතු”. මට බෑන්ඩ් එකක වාදනය කරන්න අවස්ථාව ලැබුණා. ඒ “අමුතු” බෑන්ඩ් එකයි. මම හඳුනන අයියලා කට්ටියක් “මල්ලී ඩ්‍රම්ස් ගහමුද?” කියලා මට කතා කළා. ඒ බෑන්ඩ් එකේ අවුරුද්දක් විතර වැඩකරගෙන යද්දී “අමුතු” බෑන්ඩ් එකේ ප්‍රධාන ගායකයා ඉවත් වුණා. ඒ නිසාම මම දවසක් පොඩි මාමා (ලෙලුම් රත්නායක) අපිත් එක්ක එකතු වෙන්න කැමතිද කියලා ඇහුවා. ලෙලුම් මාමාත් කිසි දෙයක් හිතන්නේ නැතිව “හරි අපි කරමු” කියලා අපිට එකතු වුණා. දැන් අපේ බෑන්ඩ් එක බාරව මාමා කරගෙන යනවා. දැන් “අමුතු” වැඩේ හොඳින් කරගෙන යනවා. අපි බොහෝ වේලාවට විවාහ උත්සවවලට සංගීතය සපයනවා. ඉදිරියේදී අලුත් ගීත කිහිපයක් “අමුතු” එක්ක එළිදක්වන්නත් බලාපොරොත්තු වෙනවා.

ඩ්‍රම්ස් වාදනයට වගේම විනුජ පර්කෂන් (Percussion) වාදනයටත් ඇල්මක් දක්වනවා. මේ කැමැත්ත ඇතිවුණේ කොහොමද?

මුලින්ම මම වාදනය කරන්න ආසා කළේ ඩ්‍රම්ස් වාදනයයි. ඉස්සර අපි හැමෝම හිටියේ මහගෙදරයි. ඉතින් ලෙලුම් මාමාගේ වාදන භාණ්ඩ සියල්ලම ගෙදර තිබුණා. ඉතින් පුංචි කාලේ ඉඳන්ම මම ඔය හැම වාදන භාණ්ඩයකටම තට්ටු දාන්න පටන් ගත්තා. සීයාට වයස අවුරුදු හැත්තෑපහේ උපන් දිනයට ප්‍රසංගයක් පැවැත්වූවා. ඒකේදී මම සීයාගෙන් “සීයේ.. මම පර්කෂන් ගහන්නද?” කියලා ඇහුවා. “ඉතින් ඕක අහන්න දෙයක් ද?” කියලා අහලා මම ප්‍රසංගයේදී පර්කෂන් ගහන්න ඉඩ දුන්නා. සීයාගේ ප්‍රසංගයකදී සීයා එක්ක වාදනය කරන්න පුංචි කාලේ ඉඳන්ම මගේ හීනයක් වුණා. එදා මම ඒ හීනයත් හැබෑ කරගත්තා. ඊට පස්සේ කාලයක මම “සරිත් සුරිත්” කියන බෑන්ඩ් එකේ කාලයක් පර්කෂන් වාදනය කළා. ඊට ටික කාලයකට පස්සේ ආයෙත් මම ඩ්‍රම්ස් ගහන්න පටන් ගත්තා.

විනුජගේ ඊළඟ බලාපොරොත්තු මොනවාද?

ඉස්සරහටත් මගේ ජීවිතේ ලොකුම බලාපොරොත්තුව සංගීතයම තමයි. පුංචි කාලේ ඉඳන් මම දැක්කේ මගේ සීයාගේ සංගීතයයි. මිනිස්සු සීයාට දක්වන ආදරය මම දැක්කා. ඒ නිසා මගේ බලාපොරොත්තුව කවදා හරි සීයා වගේ මගේම ගීතවලින් හොඳ ගායකයෙක් වෙන්නයි. මගේ අලුත් ගීතයක් ජනවාරි විසි පස්වැනිදා එළිදැක්වූවා. ඒ “දුහුලැල්” නමින්. ඒ ගීතය ලිව්වේ හර්ෂ මධුරංගයි. සංගීතවත් කළේ මමමයි. අනාගතයේදී මිනිස්සු ආදරය කරන චරිතයක් වෙන්න මම ආසයි.

Text - Dishani   /  Pic – Sumudu