2020 මාර්තු 14 වන සෙනසුරාදා

පතොක් Style

 2020 මාර්තු 14 වන සෙනසුරාදා, ප.ව. 12:30 116

අපිට වුවමනා කරන සම් භාණ්ඩ හදන්න, ඒ කියන්නෙ සපත්තු බෑග් ආදිය හදන්න අවුරුද්දකට ජීවිතේ අහිමිවන සත්තුන්ගේ සංඛ්‍යාව ඉතා විශාලයි. කැන්ගරුවන්, කිඹුලන්, බැටළුවන්, ගෝනුන්, එළදෙනුන් වගේ සත්තු බොහෝ ප්‍රමාණයක් සම්භාණ්ඩ වෙනුවෙන් තමන්ගෙ ජීවිතේ පුදනවා. ඒ විතරක්ම නෙමේ. සම්භාණ්ඩ නිෂ්පාදනය කියන්නේ පරිසර දූෂණය ඉතාම අධිකව සිදුවන කර්මාන්තයක් විදිහටත් ප්‍රසිද්ධයි. ඒ සඳහා වැයවන බලශක්තිය, ජලය ආදිය නිසා මේ තත්ත්වය තවත් බරපතළයි. 

ස්වභාවික සම් වෙනුවට විවිධ ආදේශක වර්ග වරින්වර වෙළෙඳපොළට ආවත් ඒවායින් ලොකු බලපෑමක් වෙලා නැහැ. කොහොම වුණත් මෙක්සිකානු තරුණයින් දෙදෙනෙක් පහුගියදා හඳුන්වා දුන්නු අලුත් ආදේශකයක් සම්භාණ්ඩ කර්මාන්තයට ලොකු බලපෑමක් කරාවි කියලා ගොඩක් දෙනෙක් කතාවෙනවා. 

ඒඩ්‍රියන් ලෝපෙස් සහ මාර්ටේ කසාරෙස් කියන මේ තරුණයින් දෙදෙනා පතොක් විශේෂයකින් සම් භාණ්ඩවලට ආදේශකයක් නිර්මාණය කරන්න සමත් වෙලා. ඔවුන් දෙදෙනා මේ අලුත් නිෂ්පාදනය ලෝකයට හඳුන්වාදෙන්න කලින් වැඩකළේ සම්භාණ්ඩ ආශ්‍රිත කර්මාන්තවලයි. ඒඩ්‍රියන්, මෝටර් රථ ආසන ආශ්‍රිත සම්භාණ්ඩ කර්මාන්තයේත් මාර්ටේ සම් ආශ්‍රිත විලාසිතා කර්මාන්තයේත් නියැළිලා හිටියා. 

තම තමන්ගේ කර්මාන්තවල තියෙන පරිසර ප්‍රශ්නය අවබෝධ කරගත්තු මේ යාළුවෝ දෙන්නා දවසක් මුණගැහිලා තමන්ට මේ ගැන කරන්න පුළුවන් මොනවාද කියලා කතාවුණා. ඒ කතාබහින් අවුරුදු දෙකකට පස්සෙ පතොක්වලින් සම්භාණ්ඩ නිෂ්පාදනය කරන්න ඔවුන්ට පුළුවන් වුණා.

අනෙක් අතට පතොක්වලින් මේ භාණ්ඩ නිෂ්පාදනයේදී ඔවුන් සම්පූර්ණ පතොක් ගහටම හානි කරන්නේත් නැහැ. හරියට තේ දලු නෙළනවා වගේ වරකට එක පතොක් පැළයකින් එක කොටසක් (දල්ලක්) විතරයි ඔවුන් කඩාගන්නෙ. එහෙම කඩාගන්න පතොක්වලින් පල්ප් එකක් හදලා අවසානයේ ඒක තමා භාණ්ඩ නිෂ්පාදනයට යොදාගන්නෙ. 

Desserto කියලා නම් කරලා තියෙන මේ නිෂ්පාදනවල විශේෂත්වය වන්නේ සාමාන්‍ය සම් භාණ්ඩ නිෂ්පාදනයක තියෙන සෑම ලක්ෂණයක්ම වගේ දක්නට ලැබීමයි. ඒ කියන්නේ පෙනුම, කල්පැවැත්ම වගේ ‌ගොඩක් දේවල් සම්භාණ්ඩවලට සමානයි. 

අනිත් අතට මේ පතොක්වලින් හදන නිෂ්පාදනවලට ස්වභාවික සම්භාණ්ඩ නිෂ්පාදනවලට තරම් ජලය හා බලශක්තිය වුවමනා වෙන්නෙත් නැහැ. පරිසර දූෂණයත් ඉතා අවමයි. ගොඩක් පරිසර හිතකාමී නිෂ්පාදන වගේ අධික මිලක් මේ නිෂ්පාදනයට නියම කරලා නැතිවීම තවත් විශේෂත්වයක්. සාමාන්‍ය සම්භාණ්ඩයක් මිලදී ගන්නා මුදලටම Desserto නිෂ්පාදනයක් මිලට ගන්නත් අවස්ථාව උදාවෙලා. 

Idiva.com ඇසුරෙනි

Text - Suranga   /   Pic -  Internet