2020 මාර්තු 14 වන සෙනසුරාදා

මට එයාව පෙනුණේ සුදු හාවෙක් වගේ..

 2020 මාර්තු 14 වන සෙනසුරාදා, ප.ව. 12:30 220

Dinusha  & Naduni

දිනූෂ... මතකද මුලින්ම නඳුනිව මුණගැහුණු ඒ කාලය...?
ඔව්... හොඳට මතකයි. නඳුනිව මට මුලින්ම මුණගැහුනේ 2015 අවුරුද්දේදී. අපි දෙන්නම ඉන්නේ නුවර. ඉතින්.... නුවර තිබුණු සුරේන්ද්‍ර සර්ගේ සංගීත පන්තියේදී තමයි මට මුලින්ම නඳුනිව මුණගැහුනේ. ඒ ක්ලාස් එක තිබුණේ නුවර පොල්ගොල්ලේ. එයාත් හඬ පුහුණුවීම්වලට ක්ලාස් ආපු වෙලාවේ තමයි අපි මුණගැහුණේ.

සංගීත පන්තියට ආපු නඳුනිට ආදරය කරන්න, විවාහ කරගන්න ඇය තුළ තිබුණු සුවිශේෂීකම මොකක්ද?

සංගීත පන්තියේදී හඳුනාගත්තු අපි දෙන්නා අවුරුදු දෙකහමාරක් විතර යාළුවෝ විදිහට ආශ්‍රය කළා. ඊට පස්සේ තමයි ඒ යාළුකම ආදරයක් වුණේ. මම හිතන විදිහට මුලින්ම මම ආදරය කළේ නඳුනිගේ ඒ පෙනුමටයි. හරි අහිංසක පෙනුමක් එයාට තියෙනවා. ඒ හිනාවටත් මම ආදරය කළා. ඒ වගේම එයා එක්ක කතා කරද්දී එයාව ආශ්‍රය කරද්දී එයා තුළ තිබුණ හොඳ ගතිගුණවලට මම ආසකළා. ඒ හැමදේවල් එක්කම එයාව විවාහ කරගන්න ඕනෑ කියල මට හිතුණා. අපි අවුරුදු දෙකහමාරක් විතර කාලයක් යාළුවෝ විදිහට ආශ්‍රය කළා.

දිනූෂගේ හිතින් නඳුනි ගැන ඇතිවුණ ආදරය එයාට කිව්වට පස්සේ නඳුනිගෙන් ලැබුණු ප්‍රතිචාරය කොහොමද...?

නඳුනිට මම මුලින්ම මගේ ආදරය ගැන ෆෝන් එකෙන් තමයි කිව්වේ. කොහොමටත් මේ අවුරුදු දෙකහමාර තුළදී අපි දෙන්නා කතාබහ කරද්දීත් අපේ හිත්වල තිබුණ මොකක්දෝ සුවිශේෂිකම ගැන දෙන්නටම දැනිලායි තිබුණේ. හැබැයි ඒ ගැන වචනවලින් කතා කරන්නට අපි දෙන්නා ටික කාලයක් ගත්තා. දවසක් මම නඳුනිට මගේ හිතේ ඇතිවුණ ආදරය ගැන කිව්වා. ඉතින් මම ගෙනාපු ඒ යෝජනාවට නඳුනිත් කැමැති වුණා... දෙන්නට දෙන්නා හිත්වලින් කාලයක් ආදරය කළා. හැබැයි ඒක වචනවලින් මුලින්ම යෝජනා කළේ නම් මමයි.

මේ ආදර කතාව දෙන්නාගේ ගෙවල්වලට කිව්වේ කවුද...?

දෙන්නා ආදරය කරන්න පටන් ගත්තට පස්සේ ඒක ටික ටික ගෙවල්වලට තේරුණා. ටික දවසකින් මම ඒ ගැන මගේ දෙමව්පියන් එක්ක කතා කළා. නඳුනිත් එයාගේ ගෙදරට කිව්වා. කොහොමටත් අපි දෙන්නාගේ දෙමව්පියන් අපේ ආදර කතාවට විරුද්ධ වුණේ නැහැ. ඒ අයගේ ආශීර්වාදය ඇතිව අපි විවාහ වුණා.

ඒ කාලේ දිනූෂ වැඩිපුරම හිටියේ නුවරඑළියෙ. ඉතින් ආදරය ගලාගෙන ගියේ ජංගම දුරකථනයෙන් කියලයි ආරංචි වුණේ?

ඔව්... ඒ කාලේදී මම නුවරඑළියේ මගේ හොටෙල් එකක් කළා. ඒ නිසාම මම වැඩිපුරම හිටියේ නුවරඑළියේ. සංගීත ක්ලාස්එක තියෙන දවසට විතරක් නුවරට ආවා. ඉතින් නඳුනිටයි මටයි වැඩිපුරම කතා කරන්න සිද්ධ වුණේ ෆෝන් එකෙන්. සමහර දවස්වලට අපි එකදිගට ෆෝන් එකෙන් කතා කළා. එහෙම තමයි ඒ ආදර කතාව ෆෝන් එකෙන් අපි දෙන්නා කරගෙන ගියේ. එයාත් සෞන්දර්ය විශ්වවිද්‍යාලයට තේරුණා. ඒ නිසා ඒ කාලේ අපි දෙන්නා මුණගැහුණේ හරිම අඩුවෙන්.

මතකද නඳුනි දීපු මුල්ම තෑග්ග..?

ඔව්... හොඳට මතකයි. එයා මට ලස්සන අත් ඔරලෝසුවක් තෑගි කළා. හැබැයි ඒක අද මම ළඟ නැහැ. ඒක මගේ අතින් නැතිවුණා.

නඳුනිට දිනූෂ දීපු මුල්ම තෑග්ග මතකද?

ඔව්... නඳුනිට මම ෆෝන් එකක් දුන්නා. ඒ තෑග්ග නම් තාමත් නඳුනි ළඟ තියෙනවා.

ඔය දෙන්නගේ විවාහය සිදුවුණේ කවද්ද...?

අපි දෙන්නා විවාහ වුණේ ගිය අවුරුද්දෙයි. නමුත් 2018 අවුරුද්දේදි අපි විවාහ වෙන්න දින පවා තීරණය කරගෙනයි තිබුණේ. හැබැයි අපේ තාත්තාගේ අම්මා ඒ අවුරුද්දේදි නැතිවුණා. ඒ නිසා තමයි අපේ විවාහය අවුරුද්දකට කල්දාන්න සිද්ධ වුණේ. අපේ වෙඩින් එක ගිය වසරේදී ගත්තා. ඒ වෙනුවෙන් කිහිප දෙනෙක්ම විවිධ අංශවලින් අපිට අනුග්‍රහය දැක්වූවා. ඒ නිසා අපේ වෙඩින් එකට ලොකු බරක් අපිට දැනුණේ නැහැ.

දිනූෂ... එක්වරක් රියැලිටි තරගයකටත් ඉදිරිපත් වුණු තරගකරුවෙක්. එහෙම නේද?

ඔව්... මම 2014 වසරේ සීසන් 5 රියැලිටි තරගයට ඉදිරිපත් වුණා... ඒ වෙනකොට නම් මායි, නඳුනියි පෙම්වතුන් වෙලා හිටියේ නැහැ.

විවාහ වුණාට පස්සේ දිනූෂත්, නඳුනිත් පදිංචි වුණේ කොහේද?

විවාහවුණාට පස්සේ අපි දෙන්නා අපේ ගෙදර පදිංචි වුණා. නුවර අපිට තව ගෙයක් තියෙනවා. ඉතින් නුවර ඒ ගෙදර අපි දෙන්නා පදිංචි වුණා.

බිරිඳක් විදිහට නඳුනි මොනවගේ චරිතයක්ද?

ඇත්තටම එයා ගොඩක් හොඳ කෙනෙක්. එයාට දැන් හරි රසට කෑම හදන්න පුළුවන්. විවාහ වෙන්න කලින් නම් එයාට එහෙම රහට හදන්න බැහැලු. හැබැයි දැන්නම් හදන කෑම ටික මරු. එයා හදන ගෝවා ව්‍යංජනයට මම හරි කැමැතියි.

“පාවෙලා වලාකුලේ ඒවිද අම්මා” ටෙලිනාට්‍යයේ දිනූෂටත්, නඳුනිටත් රඟපාන්න අවස්ථාව ලැබුණා. ඒ අවස්ථාව මුලින්ම උදාවුණේ දිනූෂට නේද?

ඔව්... මම ඩ්‍රීම් ස්ටාර් එකට යද්දී එහි අධ්‍යක්ෂිකා රාජිකා ක්‍රිශාන්ති මහත්මිය තමයි 2018 වසරේදී මට මේ ටෙලිනාට්‍යයට කතා කළේ. 2014 වසරෙන් පසුව වසර හතරක් මම කිසිම කලා කටයුත්තකට සම්බන්ධ වුණේ නැහැ. සංගීතය හදාරලා තිබුණට රඟපාන්න පුළුවන්ද කියලවත් ඒ වෙද්දි මම දැනගෙන හිටියේ නැහැ. නමුත් ආසාව නිසාම රංගනයට එකතුවෙන්න කැමැති වුණා. පසුව පුහුණුවීමක් ලැබෙන්නත් එක්කම මාව ටෙලි සිනමාවට යොමුකළා. ඒකෙදි මට හොඳ පුහුණුවීමක් ලැබුණා. ඔය වෙද්දි නඳුනි මගේ පෙම්වතිය කියා ඔවුන් දැනගත්තා. ඒ නිසා මේ චරිතයට එම නාලිකාව නඳුනිටත් අවස්ථාව ලබලා දුන්නා. මේ ටෙලිනාට්‍යය ෂූටිං කරන්න පටන් ගනිද්දි අපි විවාහවෙලයි හිටියේ. අපි දෙන්නා මේ ටෙලිනාට්‍යයේ රඟපාද්දි එයා නිසාම මට හරි පහසු වුණා. අපි දෙන්නම තවත් අලුත් නාට්‍යයකටත් මේ දිනවල සම්බන්ධ වෙලා ඉන්නවා.

දෙන්නගෙන් වැඩියෙන්ම කේන්ති යන්නේ කාටද?

ඇත්තම කිව්වොත් දෙන්නගෙන් නම් වැඩියෙන්ම කේන්ති යන්නේ මටයි. හැබැයි ඒ කේන්තියත් ඉක්මණට නැතිවෙලා යනවා. ඒක හරියට සෝඩා බෝතලේ වගේ තමයි.

අද නඳුනි එක්ක මේ ගතකරන ජීවිතේ ගැන මොකද හිතෙන්නේ?

ඇත්තටම සතුටුයි. එයා ගොඩක් හොඳ කෙනෙක්. ඒ ආදරය මට හොඳටම දැනෙනවා. ඒ ආදරයට මම හරි ආදරෙයි. 

ඔන්න ඔහොම දිනුෂගේත්, නඳුනිගේත් ආදර කතාව ගැන දිනුෂ මුලින්ම එහෙම කියද්දී නඳුනිගේත් ඒ ආදර කතාවේ අඩුවැඩිය සම්පූර්ණ කරගන්න අපි නඳුනි එක්කත් කතා කළා.

නඳුනි... ඔයාට මුලින්ම දිනූෂව මුණගැහුණු කාලය මතකද..?

දිනූෂව මට මුලින්ම මුණගැහුණේ 2015 දී නුවර සංගීත පන්තියේදීයි. හැබැයි ඊට කලින් දිනූෂයි මමයි FB (මුහුණු පොතේ) එකේ යාළුවෝ. එක්තරා සංගීත වඩසටහනක් නිසා මම ඔය කාලේදී හඬ පුහුණුවීම් කරන්න සංගීත පන්තියක් සොයමිනුයි හිටියේ. ඉතින් යාළුවෝ විදිහට FB එකේ Chat කරද්දී වොයිස් ට්‍රේනින් එකට එයා යන සංගීත පංතියටම මටත් කැමැතිනම් එන්න කියලා කිව්වා. මාත් ඒකට කැමැති වුණා. ඒ නිසා දිනූෂ එයාගේ සර්ට මම ගැන කියලාත් තිබුණා. ඉතින් ඒ ක්ලාස් එකට යන්න දවස් තුනකට කලින් දිනූෂ මගෙන් ෆෝන් නම්බර් එකත් ඉල්ල ගත්තා. ඒ හැර අපි ඊට කලින් ෆෝන් එකෙන්වත් මුණගැහිලාවත් කතාබහ කරලා තිබුණේ නැහැ.

දිනූෂ හොයල දීපු සංගීත පන්තියට ගිය මුල්ම දවසේම දිනූෂවත් නඳුනිට මුණගැහුණද?

ඔව්. හැබැයි දිනූෂ එන්න කලින් මම ඒ ක්ලාස් එක ළඟට ගිහින් හිටියා. ටික වෙලාවකින් දිනූෂ එතනට ආවා. ඊට පස්සේ දිනූෂ මාවත් එක්කගෙන සුරේන්ද්‍ර සර් ළඟට ගියා. මාව හඳුන්වලා දීලා ක්ලාස් එකට ඇතුළත් කළේ දිනූෂයි.

යාළුවෙක් විදිහට දිනූෂ මොනවගේ කෙනෙක්ද?

FB එකේදී නම් අපි දෙන්න එහෙම හොඳ යාළුවෝ වුණේ නැහැ. හැමවෙලේම FB එකෙන් Chat කළේත් නැහැ. ඉඳලා හිටලා කොහොමද නංගී, කොහොමද අයියේ කියලා Chat කරනවා හැර එයා මටවත්, මම එයාවත් FB එකේදී විශේෂ යාළුවෙක් වුණේ නැහැ. හැබැයි සංගීත පංතියට එකතු වුණාට පස්සේ දිනූෂ මට ගොඩක් උදව් කළා. හොඳ සහෝදරයෙක් වගේ මාව පරිස්සම් කළා. හැමවෙලේම මම ගැන හොයලා බැලුවා.

එහෙම හොඳ සහෝදරයෙක් වගේ හිටපු දිනූෂ ආදර යෝජනාවක් නඳුනිට ගෙනාවට පස්සේ මොකද හිතුණේ?

එයා එහෙම යෝජනාවක් ගේන්නත් කලින් අපි දෙන්නා නිතර නිතර වෙනත් දේවල් කතාබහ කරලයි තිබුණේ. ඒ කතාබහ කරද්දී එයා මට සුවිශේෂී කෙනෙක් වුණා. සමහර දවස්වලට එයා කතා කරනකම්ම ම බලාගෙන හිටිය දවසුත් තිබුණා. ෆෝන් එක වදිද්දී “මේ කතා කරන්නේ දිනූෂද...” කියල ඉක්මනට ෆෝන් එක ගන්න වෙලාවලුත් තිබුණා. ඒ තරමටම ඒ කතාබහ කරන එක සුවිශේෂී වුණා. එයාටත් එහෙමයි. දෙන්නට දෙන්න ආදරය කරන්නත් කළින් අපි සමීප වුණා. මගේ හිතෙත් එයා ගැන කැමැත්තක් තිබුණා. කොහොම හරි එයා ෆෝන් එකෙන් ඒ ගැන අහද්දී හිත යටින් මම එකපාරටම ඒ ආදරයට ආදරේ කරන්න පටන් ගත්තා.

දිනූෂ මොන වගේ කෙනෙක්ද?

දිනූෂ දැකපු මුල් කාලේ අදටත් වඩා දිනූෂ ගොඩක් සුදුයි. එයාගේ ඒ පෙනුමට මම කැමති වුණා. එයාට හරි අහිංසක පෙනුමක් තිබුණේ. හරියට එයා සුදු හාවෙක් වගේ හරි ලස්සනට මම දැක්කා. එයාව ආශ්‍රය කරන්න පටන් ගත්තට පස්සේ එයාගේ තිබුණු හොඳ ගතිගුණ ටිකින් ටික මම දකින්න පටන් ගත්තා. එයා ගොඩක් හොඳ කෙනෙක්. හැමවෙලේම මම ගැන හොයලා බැලුවා. මට එයා ගොඩක් උදව් කළා. ඒ හොඳ ගතිගුණත් එක්ක ඒ ආදරය වැඩිවුණා.

දිනූෂ ගැන ඔයාගේ ගෙදර අයට කිව්වෙත් ඔයාමද?

ඔව්. මම පවුලේ වැඩිමලා. මට තව නංගිලා දෙන්නෙක් ඉන්නවා. දිනූෂත් එයාගේ පවුලේ වැඩිමලා. එයාටත් නංගි කෙනෙකුයි මල්ලි කෙනෙකුයි ඉන්නවා. අපි දෙන්නගේ ආදරය ගැන ගෙදරට කියන්න කලින් මම නිතර නිතර එයාට කෝල් ගනිද්දී පොඩ්ඩක් ගෙදරට තේරුණා. ඒ නිසා මම ඒක අපේ ගෙදරට කිව්වා. එක දවසක් එක පුහුණුවීම් කටයුත්තක් නිසා මම දිනූෂගේ ගෙදර ගියා. එදා දිනූෂගේ අම්මා මාව දැකලා කතා කළා. ඊට පස්සේ කිහිප වතාවකදීම නුවර ටවුමේ මුණගැහිලා මම ඒ අම්මා එක්ක කතා කළා. ඊටපස්සේ අම්මටම තේරිලා අම්මා මේ ගැන දිනූෂගෙන් අහලා තිබුණා. කොහොම හරි අපි දෙන්නාගේම දෙමව්පියන්ගේ ආශීර්වාදය ඇතිව විවාහ වෙන්න තරම් අපි වාසනාවන්ත වුණා.

අද දිනූෂ එක්ක ගෙවන ජීවිතේ ගැන නඳුනිට මොකද හිතෙන්නේ?

මම ගොඩක් වාසනාවන්ත බිරිඳක්. ගෙදර වැඩවලට වගේම හැමදේටම දිනූෂ මට උදව් කරනවා. එයා මාව තේරුම් අරගෙන ඉන්නේ. මාත් එහෙමයි. අපේ ආදරේ අපිට විශ්වාසයි. අපි දෙන්නගේ ජීවිත අද සතුටින්.

Text - Dishani / Pic – Internet