2020 පෙබරවාරි 08 වන සෙනසුරාදා

අතීතය විඳලා විදවලා ඉවරයි

 2020 පෙබරවාරි 08 වන සෙනසුරාදා, ප.ව. 12:31 516

උමාලි ජීවිතේ කොහොමද?
හොඳයි... සතුටින් රූගත කිරීම්වලට සහභාගී වෙමින් දවස ගෙවනවා.

දඹුල්ලට වෙලා උමාලි මේ දවස්වල මොනවද මේ කරන්නේ?
නිර්මාණ කටයුතු දෙකකට මේ දවස්වල සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ නිර්මාණ දෙකම රෑගත කිරීම් කරන්නේ දඹුල්ලේ. ඒ නිසා මේ දවස්වල වැඩිපුරම කාලය ගෙවෙන්නේ දඹුල්ල ප්‍රදේශයේම තමයි. රොහාන් පෙරේරාගේ චිත්‍රපටයකත්, සංජය නිර්මාල්ගේ “සංසාරාණ්‍යය අසබඩ (සයිමන් නවගත්තේගමගේ) ටෙලිනාට්‍යයේත් රූගත කිරීම් මේ දිනවල තියෙනවා. මේ දිනවල ඒ ටෙලිනාට්‍ය විකාශනය වෙනවා.

උමාලි ඔය දේවල් කරන අතරේත් අධ්‍යාපන කටයුතුවල නියැලෙන බවයි ආරංචිය...?
ඔව්.. මම කැලණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි පාඨමාලාවකට සම්බන්ධවෙලා ඉන්නවා. මට පුළු පුළුවන් විදිහට මගේ අධ්‍යාපන කටයුතුවලත් නියැලෙනවා.

කලාකාරියක් වීම පුංචි කාලේ දැකපු හීනයක්ද? පුංචි කාලේ ආසා වුණේ රංගන ශිල්පිනියක් වෙන්නද?
නැහැ... මම ආසාවෙන් හිටියේ මනෝවිද්‍යා පැත්තට නැඹුරු වෙන්නයි. ඉගෙන ගත්තේ කොළඹ මියුසියස් විද්‍යාලයේ. වෛද්‍යවරියක් වනවාට වඩා මනෝවෛද්‍ය උපදේශකවරියක් වෙන්න ආසා කළා. ඒ සම්බන්ධව ඉගෙන ගන්න ඉන්දියාවට ගිහිල්ලත් මම ලංකාවට නැවතත් හැරිලා ආවේ මෙහේ රූගත කිරීම් කටයුතු නිසාමයි. ඉතින් ආයෙමත් ඉන්දියාවට ගිහින් ඒ ගැන වැඩිදුර අධ්‍යාපනයට යොමුවෙන්න හිත ඉඩ දුන්නේ නැහැ. ඇත්තටම මනෝවෛද්‍යවරියක් වෙන්න ආසා කළා. මම මූලික අධ්‍යාපනය ලැබුවේ රාජගිරිය ජනාධිපති විද්‍යාලයේ. හතර වසරෙන් පසුව මම කොළඹ මියුසියස් විද්‍යාලයට ඇතුළත් වුණා.

පාසලේදී මොනවගේ චරිතයක් ද?
පාසලේදීත් මම හරිම කාර්යබහුල චරිතයක් වුණා. පාසලේදී අධ්‍යාපනය වගේම බාහිර ක්‍රියාකාරකම්වලට මම සම්බන්ධ වුණා. අඩුම තරමේ සතියේ දවස් හතරක්වත් පාසලෙන් පසුව පුහුණුවීම්වලට නතර වෙනවා. නර්තනය, නෙට් බෝල් පුහුණු වීම් කළා. ක්‍රීඩා උළෙල තියෙන කාලවලදී සමහර සතිවල දවස් හතම හවස් කාලයේදී ක්‍රීඩාංගනයේ තමයි වැඩිපුරම හිටියේ. ඒ නිසාම මගේ පාසල් කාලය හරිම සුන්දර වගේම ප්‍රායෝගිකව ගොඩාක් දේවල්වලට නිරත වෙන්න ලැබුණා. අත්දැකීම් බහුල වුණු සාර්ථක පාසල් කාලයක් වුණා... මට පාසල් කාලයේදී යාළුවෝ ගොඩක් හිටියා. හැබැයි පාසල් කාලයේදී මට පාසල් ප්‍රේමයක් තිබුණේ නැහැ. ගෙදරිනුත් මට අධ්‍යාපන ක්‍රීඩා කලා කටයුතුවලට පුළුවන් තරම් සහයෝගයක් දුන්නා. මම ඒ කාලේදී ජපන් භාෂාව පවා ඉගෙන ගත්තා.

මනෝ වෛද්‍යවරියක් වෙන්න ආසා කරපු උමාලි අද කලාකාරියක්. දැකපු හීනය සැබෑ නොවුණු එක ගැන අද දුකක් පසුතැවීමක් නැද්ද?
මනෝවෛද්‍යවරියක් වෙන්න නොලැබුණු එක ගැන දුකක් මට නැහැ. හැබැයි මනෝ විද්‍යා විෂය ඉගෙන ගන්න මට තවම පරිසරයක් හැඩ ගැහුණේ නැහැ. ඒ ගැන මට තියෙන්නේ දුකක්. ඒ කාලේ මට මනෝවිද්‍යාව ගැන ඉගෙන ගන්න ඕන වුණා. නමුත් විවිධ හේතු නිසා ඒක මගෙන් අතපසු වුණා. තවමත් ඒ හිඩැස මගේ හිතේ තියෙනවා. බලමු අනාගතයේදීවත් ඒ විෂය හදාරන්න අවස්ථාව සමහර විට ලැබේවි.

ජීවිතේ සුන්දරම කාලය කොයි කාලයද?
අද... මේ දැන් මේ මොහොතයි. ගතවුණු දෙයක්, ගතවුණු කාලයක් තියෙනවා නම් ඒක ගතවෙලා ඉවරයි. ඒක විඳලා හෝ විඳවලා ඉවරයි. දැන් ඒක නැහැ. දැන් ඒක හීනයක් විතරයි. ඊළඟ මොහොතේ වෙන්න තියෙන දෙයක් ගැන වුණත් මම දන්නේ නැහැ. ඒකත් මට හීනයක්. ඒ කාල දෙකම මට දැන් විඳින්න බැහැ. උපරිමයෙන්ම මට විඳින්න පුළුවන් වෙන්නේ මේ දැන් කතා කරන මොහොත විතරමයි. මේ දැන් මම ගතකරන මේ මොහොතේ මම ඉන්නේ සතුටින්. ඉතින් ඒක තමයි ජීවිතේ සුන්දරම කාලය. මම මේ කාලය විඳිනවා.

පහුගිය කාලේදී උමාලි පොඩි නිහඬකමකින් හිටියා. කලා කටයුතුවලට සම්බන්ධ වුණේ නැද්ද?
කලාවේ නිරත වෙන්න කැමරාවක් ඉදිරියට එන්න ඕනේම කියලා මම හිතන්නේ නැහැ. පුවත්පතකට කතා කරන්න ඕනෑමයි කියලත් මම හිතන්නේ නැහැ. මම ලේඛන කලාවට කැමති කෙනෙක්. පහුගිය කාලයේදී මම ඒ කලාවේ නිරත වුණා. ජීවිතේ නිතර දකින, ලබන, විඳින හැම දේකින්ම අත්දැකීම් අපි ජීවිතයට එකතු කර ගන්නවා. ඒ හැමදේම අපේ වෘත්තිය වෙනුවෙන් ගොනු කරගන්නවා. ඒ දේවල් කරද්දී මම කිසිම මොහොතක “කලාවෙන් ඈත්වෙලා කියලා දැනුණේ නැහැ. කොහොමත් අපේ ජීවිතවලටත් පොඩි විවේක කාලයක් අවශ්‍ය වෙනවා. ඒකට වෘත්තීය හේතුවක් හෝ පෞද්ගලික හේතුවක් වෙන්නත් පුළුවන්. මම ජපානයේ උපාධිය සම්පූර්ණ කරලා ඇවිත් අවුරුදු දෙකක් පමණ එකදිගටම වැඩ කළා. ඒ නිසා මට විවේකයක් ඕනවෙලා තිබුණා. මගේ මව්පියන්ගේ ව්‍යාපාරික කටයුතු තිබෙනවා. ඒවාටත් ඒ අයට උදව් කරන්න ඕන වුණා. ඒ නිසා විවිධ කාරණා එක්ක මම විදේශ ගත වුණා. ඒ ගමනේදීත් මම අලුත් දේවල් ඉගෙන ගත්තා. ඔය අතරේ 2018 අවුරුද්දේදී මම “රූකඩ පැංචි චිත්‍රපටයේ රඟපෑවා. ඒකත් විශේෂ අවස්ථාවක්. තාත්තාගේ කැමැත්ත නිසාම ගීත දෙකකුත් පටිගත කළා.

ඊළඟට තියෙන ඉලක්ක බලාපොරොත්තුව මොකක්ද?
බාරගත්තු නිර්මාණ දෙකට මගේ උපරිම සහයෝගය ලබලා දෙන එක විශේෂයි. අධ්‍යාපන කටයුතුත් එක්ක නිර්මාණශීලි යමක් කරන්න උත්සාහ ගන්නවා. හෙට ගැන ලොකු බලාපොරොත්තු නැහැ. 

 

► Text - Dishani  /  Pic – Sumudu