2020 පෙබරවාරි 08 වන සෙනසුරාදා

ගහපු මඩේ හැටියට මේ මඟුලම කරගන්න හිතුණා

 2020 පෙබරවාරි 08 වන සෙනසුරාදා, ප.ව. 12:31 394

අලුතින් විවාහ ගිවිසගත් පේෂලටත් පූර්ණිකාටත් මුලින්ම හදසර අපේ සුබ පැතුම්..?
මුලින්ම මටයි පූර්ණිකාටයි සුබ පැතුම් එක් කරපු හදසරට ගොඩක් ස්තූතියි. ජීවිතේ හොඳයි. සතුටින් ගෙවෙනවා.

මේ ආදර කතාවට දැන් කොච්චර කාලයක් වෙනවද..?
දැන් අවුරුදු දෙකහමාරක් තුනක් විතර වෙනවා. මුලින්ම මමයි පූර්ණියි හොඳ යාළුවෝ. අපි එකම නාලිකාවක සේවය කරන්නෙ. මෙහෙම යාළුවෝ වගේ කාලය ගෙවෙද්දී නොදැනුවත්වම ඒක ආදරයක් බවට පත්වුණා.

යාළුවෙක් විදිහට හිටපු පූර්ණිකාට ආදරය කරන්න, පෙම්වතිය කර ගන්න පූර්ණිකා ගැන පේෂලගේ හිත නතර වුණු තැන කොතනද..? ඇගේ තිබුණු විශේෂත්වය මොකක්ද..?
මොන දේ කරන්නත් මිනිසුන්ට මානසික නිදහස තියෙන්න ඕනෙ. අපි කොච්චර සල්ලි හම්බ කළත්, මොන දේ කළත්, අපි කරන වැඩවලින් සතුටක්, සැනසීමක්, හිතේ නිදහසක් නැත්නම් වැඩක් නැහැනෙ. කොහොමත් මම යන විදියත් පොඩ්ඩක් වෙනස්. යාළුවෙක් ආශ්‍රය කළත්, මොන දේ කළත් මම ලාභ ප්‍රයෝජන බලාපොරොත්තුවෙන් වැඩ කරන කෙනෙක් නෙමේ. කසාද බඳිද්දීත් එහෙමයි. එතනින් ලැබෙන ලාභ ප්‍රයෝජනය මොකක්ද කියලා බලන්නෙ නැහැ. එකම ලාභ ප්‍රයෝජනයයි බලන්නෙ. ඒ තමයි මානසික නිදහස. ඒ වගේම මගේ මව්පියන් එක්ක හොඳින් ඉන්න පුළුවන් වෙන්න ඕනෙ. මගේ මව්පියන්ට ගරහන, එයාලට වතුර උගුරක් දෙද්දී ඒකට එක එක දේවල් කියන ගෑනියෙක් මට වැඩක් නැහැ.

පූර්ණිකා ගැන ඇතිවුණු ආදරය කිව්වට පස්සෙ පූර්ණිකා මොකද කිව්වෙ.. ඒකට ප්‍රතිඋත්තර ලැබෙන්න කොයි තරම් කාලයක් ගියාද..?
පූර්ණිට මගේ කැමැත්ත කිව්වට පස්සෙ එයා එකපාරම මට කැමති වුණේ නැහැ. එයාගේ ජීවිතෙත් ප්‍රශ්න තිබිලා තියෙනවා. ඒ ගැන මම කතා කරලත් නැහැ. මිනිස්සු නොගැලපෙනවානම් අයින්වෙන එක තමයි හොඳ. සමහරු මට පසුගිය කාලෙදී ගොඩක් මඩ ගැහුවා. මම කාගෙවත් පවුල් ජීවිතයක් කැඩුවේ නැහැ. මට ඒක සීයට දෙසීයක්ම විශ්වාසයි. අපිට එහෙම කාගෙවත් පවුල් ජීවිතයක් කඩන්න බැහැ. හරියට ශක්තිමත් පවුල් ජීවිතයක් ගෙනියන දෙන්නෙක්ගෙ මැද්දට පැනලා කාටවත් ඒ පවුල් ජීවිතය කඩන්න බැහැ. ඒක තමයි ඇත්ත. මට එහෙම කාගෙවත් පවුල් ජීවිතයක් කඩන්න වුවමනාවක් තිබුණෙ නැහැ. ඒ ප්‍රශ්නයෙන් පස්සෙ පූර්ණිව ආශ්‍රය කරද්දී, කතා කරද්දී පූර්ණි මගේ ජීවිතයට හොඳයි කියලා මට හිතුණා. ජීවිතයට අඩුම තරමෙන් වචනයෙන් හරි උදව් කරන තමන්ගේම කෙනෙක් ඕනෙ කියලා මට හිතුණා. සමහරු හිතනවානම් මට ජනප්‍රියත්වයක් ගන්න මම පූර්ණිකාට ළං වුණා කියලා ඒක වැරදි කතාවක්. මට එහෙම වුවමනාවක් නැහැ. මට ඕන වුණේ මානසික නිදහස. විවාහවෙලා ගෙදරට එද්දී මගේ අම්මත් එක්ක ගෑනි රණ්ඩුවෙලා කියන තැනක ඉන්න මම කැමති නැහැ. සැමියාගේ මව්පියන්ට සලකන්නෙ නැති බිරියක් මට වැඩක් නැහැ. ඒ දේ පූර්ණි දන්නවා. පූර්ණි ඒ හැමදේම තේරැම් අරගෙනයි ඉන්නෙ. ඒ නිසා එයා එක්ක ජීවත්වෙන්න ලේසියි කියලා මට හිතුණා.

පේෂලට පූර්ණිකාගේ පුතා එක්ක තියෙන බැඳීම කොහොමද.. ආදිත්‍ය පේෂලට සමීපද..?
ඔව්.. මිනිසුන්ගෙ දෛවය කියන්නෙ මාරම එකක්. ආදිත්‍ය එක්ක මට තියෙන බැඳීම මාරයි. දරුවා කියලා කියන්නෙ කාගෙත් දරුවෙක්නෙ. ආදිත්‍ය මාත් එක්ක තියෙන එකතුව ගැන දන්න මිනිස්සු දන්නවා. නොදන්න අය කෝටියක් වුණත් ඒ කියන කතා මට අදාළම නැහැ. මම ඒ කතා සත පහකට ගණන් ගන්නෙ නැහැ. ඒ කවුරු නොදැන හිටියත් මම මගේ හිත දන්නවනෙ. ආදිත්‍යට මම හරි ආදරෙයි. ඒ ආදරය ගැන මට කියන්න තේරෙන්නෙ නැහැ. මොනම හෝ ක්‍රමයකින් මේ බැඳීම මීට කලින් තියෙන්න ඇති කියන විශ්වාසය මට තියෙනවා. ඒක මට වචනවලින් කියන්න තේරෙන්නෙ නැහැ. මේක සංසාරගත මුණගැසීමක් වෙන්න ඇති. සමහර වෙලාවට අපේම දරුවන් ඉඳලත් ඒ වගේ බැඳීමක් ඇතිවෙන්නෙ නැහැනෙ. සමහර දරුවන් මව්පියන් එක්ක වැඩිය කිට්ටුවක්, එකතුවක් නැහැ. සමහර මව්පියන්ට දරුවන් හිටියට ඒක මෙලෝ රහක් නැහැ. ඒත් ආදිත්‍ය එක්ක මට වෙනම බැඳීමක් තියෙනවා. ඒක කියන්න තේරෙන්නෙ නැහැ. ඒක කිව්වත් පිළිගන්නෙත් නැහැ. හැබැයි ඒක පිළිගන්න එක හරි නොපිළිගන්න එක හරි මට වැඩකුත් නැහැ. මගේ හිත මට ෂුවර්. මට ඒ ඇති. මට ලෝකෙට පේන්න කිසි දෙයක් කරන්න ඕනෙ නැහැ.

ඒ නිසාමද දෙන්නා හොර රහසේම විවාහ ගිවිස ගත්තෙ..?
නැහැ. එහෙම හොර රහසේ විවාහ වෙන්න හිතුණෙ නැහැ. මේක හදිස්සියේ ගත්ත තීරණයක්. අපේ මව්පියන්ට තමයි අපේ විවාහය ඉක්මනට ගන්න ඕනකම තිබුණෙ. ඒ නිසා අපි ඒකට දිනයක් බලද්දී සුබ දිනයකට ජනවාරි 31 වැනිදා යෙදිලා තිබුණා. එහෙම නැති වුණොත් ආයෙමත් සුබ දිනයකට සැප්තැම්බර් මාසේ තමයි දින දුන්නෙ. ඉතින් දෙපාර්ශ්වයේම කැමැත්තෙන් ඉතා සීමිත පිරිසකගේ එකතුවකින් පූර්ණිගෙත් මගෙත් විවාහ ගිවිසගැනීම ජනවාරි 31 වැනිදා යොදාගත්තා. පූර්ණිගේ පැත්තෙන් දෙරණ නාලිකාවේ වැඩසටහන් අධ්‍යක්ෂිකා ෂර්මිලා ධර්මරාජාත් මගේ පැත්තෙන් ප්‍රවීණ නර්තන ගුරුවරයකු වන චන්දන වික්‍රමසිංහත් අත්සන් කළා.
ඔන්න ඔහොම පේෂල මේ ආදර කතාව ගැන කියද්දී පූර්ණිකාවත් ඒ කතාවට එකතු කර ගන්න අපි අමතක කළේ නැහැ. බලමුද පූර්ණිකා කියන්නෙ මොනවද කියලා.

පූර්ණිකා.. ජීවිතේ කොහොමද..?
හොඳයි. ඉස්සර වගේම තමයි. ලොකු වෙනසක් නැහැ. සාමාන්‍ය විදිහට වැඩ කටයුතු කරගෙන යනවා.

පූර්ණිකාගෙත් පේෂලගෙත් ආදර කතාව පටන් ගත්තෙ මීට අවුරුදු තුනකට විතර කලින්. එහෙම නේද..?
ඔව්.. පේෂල ඉස්සර මගේ හොඳ යාළුවෙක්. අපේ නාලිකාවේ ඉන්න අනිත් අයත් මගේ හොඳ යාළුවෝ. අපි සියලු දෙනා ඉන්නෙ සහෝදර බැඳීමකින්. මට මගේ ජීවිතේ එක එක ප්‍රශ්න එද්දී මම ඒ දේවල් සමීප යාළුවන් එක්ක කිව්වා. මේ ඒ දේවල් එක්ක ඇතිවුණු බැඳීමක් වෙන්නත් ඇති.

බොහෝ දෙනා හිතන්නෙ පේෂල හරි විනෝදකාමී, කතාවට සීමාවක් නැති චරිතයක් කියලයි. ඇත්තටම පේෂල එහෙම කෙනෙක්ද..?
පේෂල විනෝදකාමී තමයි. මම පේෂල එක්ක මගේ ජීවිතේ ප්‍රශ්න කතා කරලා තිබුණෙ නැහැ. නමුත් අනිත් යාළුවන්ගෙ මාර්ගයෙන් පේෂලට ඒ දේවල් ආරංචිවෙලා තිබුණා. එයා බොහොම අනුකම්පා සහගතව අපරාදේ මෙහෙම වෙන්නෙ කියලා යාළුවන්ටත් කියලා තිබුණා. මගේ ජීවිතේට වෙන්න ඕන නැති දේවල්මයි වෙන්නෙ කියලා එයාට හිතෙන්න ඇති. මෙහෙම සාමාන්‍ය විදිහට වැඩ කරගෙන අපි බොහෝ කාලයක් හිටියා.

මේ කාලය ඇතුළතදී පේෂල හා පූර්ණිකා ගැනත් බොහෝ කතා ඇතිවුණා..?
ඔව්.. මේ කාලය තුළ අපි දෙන්නට බොහෝ දෙනා බොහෝ කතා කිව්වා. ඒ මඩ ගැහීමත් අපි දෙන්නව ළං කරන්න පසුබිමක් වෙන්න ඇති. මිනිස්සු එක එක දේවල් කිව්වා. ඒ කාලයේ අපි යාළුවන් විදිහට කතාබහ කරන එකත් සමහරුන්ට ප්‍රශ්නයක් වෙලා තිබුණා. පේෂල තමයි එළියට ආපු කෙනා. එළියට ආපු නැති සිදුවීම් ගණනාවක්ම තියෙනවා. ජීවිතේ අපි මිනිසුන්ව අනවශ්‍ය විදිහට සැක කරන්න, පීඩාවට පත් කරන්න යන්න හොඳ නැහැ. මට ඒ දවස්වල මේ ගහන මඩවල හැටියට මේ මඟුල තමයි කර ගන්නෙ* කියලා හිතුණු වෙලාවලුත් තිබුණා. ඒ තරමටම ඒ මඩ ගැහිල්ල හිතට වදයක් වුණා. හැබැයි මම ඒකට ඉස්සර වුණේ නැහැ. මම හැමදේම කාලයට ඉඩ දුන්නා.

පේෂල පූර්ණිකාට වගේම ඔබේ මව්පියන්ටත් කිට්ටුයි..?
ඔව්.. පේෂල අපේ පවුලටත් ගොඩක් කිට්ටුයි. මේ සම්බන්ධයට මගේ මව්පියන්ට වඩා එයාගේ මව්පියන් තමයි අකමැති වෙනවනම් අකමැති වෙන්න ඕනෙ. මම ක්ෂේත්‍රයේ හිටියට විවාහක කෙනෙක්. පුතෙක් ඉන්න අම්මා කෙනෙක්. ටික කාලයකින් දෙපාර්ශ්වයේම මව්පියන් අපිව තේරුම් ගත්තා. මේ විවාහය මේ තරම් ඉක්මනට ගන්න තීරණය කළෙත් මව්පියන්ම තමයි. පසුගිය දවස්වල තිබුණු පේෂලගේ ප්‍රසංගයක් එක්ක ආයෙත් මේ කතාව එළියට ආවා. ඒ නිසා මේ විවාහය ඉක්මන් කරන්න අපි තීරණය කළා.

පේෂල ගෙනාපු ආදර යෝජනාවට පූර්ණිකා උත්තරයක් දෙන්න දෙපාරක් හිතුවද..? හිත යට පේෂල ගැන අදහසක් ඒ වෙද්දී තිබුණද..?
පේෂල එහෙම ආදර යෝජනාවක් කළෙත් නැහැ. එයා අපේ යාළුවන් එක්කනම් එයාගේ අදහස ගැන කියලා තිබුණා. ඒවා මගේ කනට ආවා. ඒ දේවල් මට යාළුවන් කියද්දී මම පිස්සුද.. මට තව හිතන්න දේවල් තියෙනවා කියලා කිව්වා. ඒ වෙනකොට පුතාව නර්සරියකටත් දාලා තිබුණෙ නැහැ. මට එයාව නර්සරියකට දාන්න, හොඳ ඉස්කෝලෙකට දාන්න ලොකු බලාපොරොත්තුවක් තිබුණා. ඒ වෙද්දී මගේ ගේ බාගෙට හදලයි තිබුණෙ. මට ඒ නතර වුණු වැඩ ආයෙත් කර ගන්න වුවමනා වුණා. පසුගිය අවුරුදු හතර තුළ මම මගේ මව්පියන් එක්ක එකතුවෙලා ඒ දේවල් ටික කර ගත්තා. ජීවිතයේ ඇතිවුණු ප්‍රශ්නවලට උත්තර සෙවීම මම කාලයට බාර කළා. කාලය මට හොඳම දේ දේවි කියලා මම විශ්වාස කළා. අපේ මව්පියන් එක්ක පේෂල පසුගිය අවුරුදු එකහමාර ඇතුළත හොඳ හිතවත්කමක් ඇතිකර ගත්තා. ඒකත් එක්කම එයාගේ මව්පියන්ට එයා මාව හඳුන්වා දුන්නා. ඒ අම්මලා තාත්තලාටත් මම ගැන පැහැදීමක් ආදරයක් ඇතිවුණා. මිනිසුන්ට ජීවිතේ වරදින්න පුළුවන්. මේ ලෝකෙ ඉන්න හැමෝම සර්ව සම්පූර්ණ මිනිස්සු වෙන්නෙ නැහැ. 

පේෂලත් එක්ක පූර්ණිකාගේ පුංචි පුතා ආදිත්‍ය එකතුයිද..?
ඔව්.. ආදිත්‍ය හරිම ආදරණීය දරැවෙක්. එයා තාම පොඩියි. දැන් එයාට වසස අවුරැදු හයහමාරයි. පුතාට ආදරය කරන අයට පුතාත් ගොඩක් ආදරය කරනවා. එයා කාවවත් ප්‍රතික්ෂේප කරන දරුවෙක් නෙමේ. පේෂලටත් ආදිත්‍ය හරි ආදරෙයි. පේෂලත් ආදිත්‍යට හරිම ආදරෙයි. ඒ දෙන්නා අතරේ හොඳ බැඳීමක් තියෙනවා. ඒකත් මේ තීරණය මේ විදිහට ගන්න හේතුවක් වෙන්න ඇති. මම කවදාවත් පුතාට අසාධාරණයක් වෙන විදිහේ තීරණ ගන්නෙ නැහැ. එහෙම අසාධාරණයක් නොවන බව දැනුණු නිසා මම මේ තීරණය ගත්තා.

 

► Text - Dishani  /  Pic – Internet