2019 නොවැම්බර් 09 වන සෙනසුරාදා

මළ ගෙදරත් දැන් ඩිජිටල්

 2019 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 12:30 73

මේ වෙද්දි ලෝකෙ බිස්නස්වලට නතු නොවුණු කිසිම දෙයක් නැති තරම්. උපතේ සිට මරණය දක්වා හැම දේකටම මිලක් නියම වුණු ලෝකෙක මරණයටත් මේ වෙද්දි මිලක් පැනවිලා. වෙනත් විදිහකට කිව්වොත් මරණයත් අද වෙද්දි බිස්නස් එකක්.

අපේ රටෙත් අවමංගල්‍ය අධ්‍යක්ෂවරැ කියලා කොටසක් ඉන්නවා. හැබැයි එයාලා එදා ඉඳන් අද වෙනකල් කරන්නෙ එකම විදිහේ සේවයක්. මිනිය එම්බාම් කරන එකයි ප්‍රවාහනයයි වගේ අවමංගල්‍ය සැරසිලි වගේ බොහොම සුළු දේවල් කිහිපයකට එයාලගේ සේවය සීමා වෙලා. හැබැයි මේ වෙද්දි අවමංගල්‍ය කටයුතු කියන බිස්නස් එකට තාක්ෂණයත් එකතු වෙන්න පටන් අරන්. ඒකට හොඳම උදාහරණය තමා ප්‍රංශය. 

ප්‍රංශයේ අලුතින් ව්‍යාපාර පටන්ගත්තු තරැණයෝ කිහිපදෙනෙක්ම අවමංගල්‍ය කටයුතුවලට තාක්ෂණය එකතු කරන්න පටන් අරන්. ඒ කියන්නේ සාම්ප්‍රදායිකත්වයෙන් පොඩ්ඩක් බැහැරට ගිහින් අලුත් විදිහට අවමංගල්‍ය කටයුතු කරන්න එයාලා පෙළඹිලා. 


මැක්සිම් නෝරි කියන ප්‍රංශ ජාතික තරුණයා තමන්ගේ ව්‍යාපාර කළමනාකරණ උපාධියෙන් පස්සේ ව්‍යාපාරටක් පටන් ගන්න හිතමින් ඉන්නකොට එයාගේ හිතට ඇවිත් තියෙන අදහස තමයි, අවමංගල්‍ය කටයුතු අලුත් තාක්ෂණයත් එක්ක මුසු කරලා ජනතාවට පිරිනමන අලුත් ආයතනයක් හදන එක. ඒ අනුව තමයි එයා Simplifia කියන සමාගම පටන් ගන්නෙ. 

එයාලාගේ මූලිකම ව්‍යාපාරය වෙන්නේ රට පුරා ඉන්න අවමංගල්‍ය කටයුතු කරන සමාගම්වලට තමන්ගේ කටයුතු එකම තැනකින් කරගන්න පුළුවන් විදිහේ මෘදුකාංගයක් අලෙවි කරන එක. ඊට අමතරව මරණයට පත්වුණු කෙනාගේ පවුලේ අයට අවශ්‍ය කරන නොයෙකුත් සේවාවන් ලබාගෙන්නත් Simplifia සැදී පැහැදී ඉන්නවා. උදාහරණයක් විදිහට මැරුණු කෙනාගේ බැංකු ගිණුම්, රක්ෂණ ගිණුම්, විශ්‍රාම වැටුප් වගේ දේවල් ඒවා ඉදිරියේදී ලැබිය යුතු අයට හදලා දීම, මරණ සහතික පිළිබඳ කටයුතු කිරීම වගේ ගොඩක් දේවල් එයාලා භාරඅරගෙන කරලා දෙනවා. හිතලා බලන්න කොච්චර පහසුවක් ද කියලා.

AdVitam කියන තවත් සමාගමක් හරියන ඔන්ලයින් ෂොපිං යනවා වගේ අවමංගල්‍ය උත්සවයකට ඕනෑ කරන සියල්ල සපයන්න කටයුතු කරනවා. ඒ කියන්නේ තමන්ට අවශ්‍ය මිනී පෙට්ටියේ ඉඳන්, අවමංගල්‍යය මෙහෙයවන්නන්, මල් සැරසිලි වගේ හැම දෙයක්ම එයාලගේ වෙබ් අඩවියෙන් ඇණවුම් කරන්න පුළුවන්.

ඒ වගේම එයාලා මේ වෙද්දි වඩාත් පරිසර හිතකාමී අවමංගල්‍යයක් කරන්නේ කොහොමද කියන එක ගැන වැඩි අවධානයක් යොමු කරලා. ඒ අනුව AdVitam ළඟදීම ප්‍රතිචක්‍රීයකරණය කරපු කාඩ්බෝඩ්වලින් හදපු මිනී පෙට්ටියක් හඳුන්වා දෙන්නත් ලෑස්ති බව ආරංචියි.

BBC ඇසුරෙන්

 

Text - Suranga   /   Pic -  Internet