2019 නොවැම්බර් 09 වන සෙනසුරාදා

ජෝ අබේවික්‍රමගේ රංගනයට මම වශී වුණා

 2019 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 12:30 250

මම කැමතියි ඇය මහපොළොවේ පය තියාගෙන ජීවත්වෙන ගැහැනියක් විදිහට හඳුන්වන්න... ජීවිතය සමඟ ජීවත්වීම තුළ අනේක හැලහැප්පීම්වලට ලක්වූ එහෙත් ජීවිතය අත්නොහළ ගැහැනියක් විදිහටත් ඇයව හඳුන්වන්න මම කැමතියි.
විවිධ රංගන පරාසයන් තුළ තම හැකියාවන් ප්‍රකට කළ ඇය නිල්මිණී තෙන්නකෝන්...

නිල්මිණී... ඔයාගේ ජීවිතේ ගෙවෙන විදිය ගැන පොඩ්ඩක් කියලම අපේ කතාව පටන්ගමු නේද?
පහුගිය දවස්වල නිර්මාණ කිහිපයකටම සම්බන්ධ වුණා... ඒවා ගොඩක් වෙලාවට දීර්ඝ නාට්‍ය නෙමේ...  දීර්ඝ නාට්‍යවලට සම්බන්ධ නොවෙන්න හේතුව තමා මගේ දුවගේ විභාග කටයුතුත් එකක් ටිකක් කාර්යබහුල වීම. කොළඹින් පිට ෂූටිං කිසි එකක් මං බාරගත්තෙ නෑ. කලින් බාරගත්ත ඒවත් මම කියලා ඉක්මනට ඉවරකර ගත්තා... මේ දවස්වල ගාමිණී හේවාවිතාරණ මහත්මයාගේ අලුත්ම ෆිල්ම් එකේ වැඩකරනවා. දුවගේ ඉගෙනීමේ කටයුතු ගොඩක්දුරට ඉවර නිසා අලුතෙන් මං සැලුන් එකක් ගෙදරත් දාන්න ප්ලෑන් කරලා තියෙන්නෙ... මගේ කාලයෙන් වැඩිකොටසක් මගේ සැලූන්වල වැඩට යොමුකරලා තියෙන්නෙ...

නිල්මිණීගේ කලා නිර්මාණ අපි දන්නවනේ... ඔයා රඟපාපුවත් අපි ඕනතරම් දැකලා තියෙනවා. ඒවා පැත්තකින් තියලා ඔබේම නිර්මාණයක් කියලා හිරකරලා පරිස්සමින් තියාගන්න තරම් හිතුණු එකක් ගැන ටිකක් කතා කරමුද..? 
නිල්මිණී.... කල්පනා ලෝකයේ...  

මගේ ජීවිත කාලෙට මට දැනුණු, මාව සංවේදී කරපු, මම රසවිඳපු නිර්මාණ ගොඩක් මුණගැහිලා තියෙනවා... විශේෂයෙන් පාසල් යන කාලේ වගේම පාසලෙන් අයින් වුණාට පස්සේත් බොහොම අපූරු නිර්මාණ මට මුණගැසුණා... සමහර වෙලාවට මම ඒ නිර්මාණ බලලා තමයි හිතුවේ රංගන ක්ෂේත්‍රයට එන්න ඕනෙ කියලා... පාසල් යන කාලේ මට ගෙදරින් බලන්න දුන්නෙ චණ්ඩි ශ්‍යාමා විතරයි... චණ්ඩි ශ්‍යාමා බලලා මම ඇත්තටම චණ්ඩි ශ්‍යාමා වෙන්න උත්සාහ කළා.... ඊටපස්සේ මම බලපු චිත්‍රපටයක් තමයි සබීතා චිත්‍රපටය. පාසල් යන එන ගමන් සිනමා ශාලාවක කටවුට් එකක් දැකලා තමයි බලන්න ආස හිතුනේ... අපි යාළුවෝ ටික ගෙවල්වලට හොරෙන් ගිහින් තමයි ඒ චිත්‍රපටය බැලුවේ... සබීතා බැලුවට පස්සේ මට ආදරය ගැන අමුතු හැඟීමක් ආවා... ආදරය කරන්න ආසා හිතුණා... මගේ ජීවිතේ මම කැමතිම නිළියක් තමයි මාලනී ෆොන්සේකා... පොඩි කාලේ මාව චිත්‍රපට බලන්න එක්ක යන් නැති නිසා අපේ ගෙදර කට්ටිය මාලනී අක්කාගේ චිත්‍රපට බලලා පස්සේ මට ඒ කතාව කියනවා... ඒ චිත්‍රපටය හොඳනම් විතරයි මාව එක්කරගෙන යන්නෙ... එහෙම එකකරගෙන ගියාම ඉස්කෝලේ ගිහින් මම ඒ කතාව වැඩකෑලි දාලා මගේ යාළුවන්ට කියනවා... සමහර වෙලාවට බොරුත් කියනවා... මට ඕනෙ කොහොම හරි යාළුවන්ව අඬවන්න. මාලනී අක්කා රඟපාපු සත්වෙනි දවස චිත්‍රපටය මම දහ දොළොස්වතාවක් බලලා ඇති. ඒ වගේම නිධානය වගේ නිර්මාණයක් පසුකාලීනව මම බලපු සුවිශේෂ නිර්මාණයක්. මේ සිනමා කෘති සියල්ලම අතරේ මගේ හිත කොහේදෝ ගිහින් නතරවුණු නිර්මාණයක් තිබුණා.. ඒ තමයි හර්බට් රංජිත් පීරිස් මහත්මයා නිර්මාණය කරපු එක්ටැම් ගේ චිත්‍රපටය... 

මම එක්ටැම් ගේ චිත්‍රපටය නරඹද්දී මට ලොකු වයසකුත් නෑ... නමුත් මට පුදුම විදියේ ආදරයක් ඇතිවුණා මේ චිත්‍රපටයට. මගේ හිත ගිහින් නැවතුණේ ජෝ අබේවික්‍රම, රවින්ද්‍ර රන්දෙණිය, මාලනී ෆොන්සේකා, ශාන්ති ලේඛා වගේ රංගන ශිල්පීන් සහ ශිල්පිනියන්ගේ රංගනය ළඟ. ඇත්ත වශයෙන්ම මගේ ජීවිතේ මම රංගනය පැත්තෙන් අදහන කෙනෙක් තමයි ජෝ අබේවික්‍රම කියන්නේ. එතුමා තුළ තිබුණු ස්වභාවික රංගනයට මම පුදුම විදියට ඇලුම් කළා... හර්බට් රංජිත් පීරිස් මහත්මයා කියන්නෙත් විශිෂ්ඨ අධ්‍යක්ෂකවරයෙක්. ඒකත් මේ චිත්‍රපටය සාර්ථක වෙන්න සෑහෙන්න බලපෑවා... චිත්‍රපටයේ ගීත වගේම සංගීතය හරිම සුවිශේෂියි. මේ චිත්‍රපටයේ කතාව ඇතුළේ ලොකු කතාවක් නැති වුණත්, ආදරය ගැන ඉතා සියුම් තැන් ස්පර්ශ කරනවා. තව කියන්නම ඕනෙ කාරණයක් තමයි සිරිල් වික්‍රමගේ සහ විමල් කුමාර ද කොස්තාගේ රංගනය... ඒ රංගනයන් හරිම තාත්වික අපූරු රංගනයන්. මම ක්ෂේත්‍රයට එන්නත් මූලික වුණේ මගේ මේ සිනමාවට තිබුණු පිස්සුව නිසා... පසුකාලීනව මගේ රංගන ජීවිතයට යම් යම් දේවල් එකතු කරගන්න පුළුවන් වුණු නිර්මාණයක් තමයි එක්ටැම් ගේ චිත්‍රපටය.

එක්ටැම් ගේ චිත්‍රපටයේ ඔයාට වැඩියෙන්ම දැනුණු විශේෂ චරිතයක් ඉන්න ඇති නේද?
ඔව්... මේ චිත්‍රපටයට රංගනයෙන් දායකවෙන්නෙ ගොඩක් ප්‍රවීණ රංගන ශිල්පීන්. ඒ අයගේ රංගනයන් ගැන විවාදයක් නෑ... හරිම තාත්විකව හරිම අපූරුවට ඔවුන් රංගනයේ යෙදෙනවා... නමුත් ජෝ අබේවික්‍රම මහත්මයාගේ රංගනයට මම වශී වුණා..  පොඩි පොඩි තැන් මෙච්චර සියුම්ව උලුප්පලා ගන්නෙ කොහොමද කියන එක හරිම පුදුමයි...    

මේ චිත්‍රපටය  නරඹද්දී නිල්මිණී වැඩිපුරම කැමති වුණු දර්ශනයක් දෙකක් මතක් කරමුද? 
මේ නිර්මාණයේ ගොඩක් තැන්වලට මම කැමති. ඒ අතරිනුත් මට ගොඩක් දැනුණා සහ මට මතකයේ තියෙන තැනක් තියෙනවා... ඒ දර්ශනය තමයි ජෝ අබේවික්‍රම මහත්මයාගේ යාළුවෝ ටිකක් එයාගෙ ගෙදරට එන්න හදන දර්ශනය... ජෝ අබේවික්‍රම මාලනී අක්කගෙන අහනවා මගේ යාළුවෝ ටිකක් එනවා අපි පොඩ්ඩක් කෑමකට ගෙදර එළියට යන්න ඕනෙ කියලා. ඒ දෙන්නා ඒ වෙනකොට ටිකක් අමනාපෙන් ඉන්නෙ... මාලනී අක්කා එකපාරටම කියනවා... නෑ මම එන්නෙ නෑ කියලා. ජෝ අයියා කියනවා නෑ උඹ එන්නම ඕනෙ කියලා. ඊටපස්සේ මේ දෙන්නා අතරේ වචන හුවමාරුවක් ඇතිවෙනවා... අතීතයේ සිද්ධි අල්ලගෙන මේ දෙන්නට දෙන්නා අපහාස කරගන්නවා... ඒත් එකක්ම යාළුවෝ ටික ගෙදර ඇවිත් බෙල් එක නාදකරනවා... ඊට පස්සේ ජෝ අබේවික්‍රම මහත්තයා ඉස්සරහට ඇවිත් යාළුවන්ට කියනවා.. වයිෆ්ගේ අම්මට ටිකක් අසනීප වෙලා වයිෆ්ට අම්මව බලන්න යන්න වුණා. ඒ නිසා එයාට ඩිනර් එකට එන්න වෙන්නෙ නෑ... වෙන දවසක අපි මේක දාගමු... කියලා යාළුවන්ට කියනවා. ඒත් එක්කම මාලනී අක්කා සාලෙට එනවා... හලෝ කොහොමද කියලා යාළුවන්ගෙන් අහලා අපි දැන් ඩිනර් එකට යමු නේද කියලා කියනවා... ඒ අවස්ථාවේ මිනිහෙක්ට ඇතිවන අපහසුතාව... සැබෑවට අත්වින්දා ජෝ අයියාගේ රංගනයෙන්... අතිවිශිෂ්ඨ රංගනයක් ඒක... ඒ අසරණකම ප්‍රේක්ෂකයාගේ හදවතටම දැනෙන සේ ජෝ අයියා රඟපෑවා... මට කවදාවත් ඒ දර්ශනය අමතක වෙන්නෙ නෑ... ඒ තරමටම විශිෂ්ඨයි...

මේ නිර්මාණය ඔබට මුණගැහෙන්නෙ කොහොමද? කවුද ඔබට මේ නිර්මාණය බලන්න කිව්වේ...?
මුලින්ම මාව මේ චිත්‍රපටය බලන්න එක්කන් ගියේ ගෙදරින්... ගෙදර අය කලින් මේ චිත්‍රපටය බලලා තිබුණේ... මම ගොඩක්ම ආසාවුණේ මේ නිර්මාණයේ ගීතවලට.. ගෙදර අය මුලින්ම මේ චිත්‍රපටය බලලා එනකොට චිත්‍රපටයේ තියෙන සිංදු පොතක් අරගෙන ආවා... ඉස්සර චිත්‍රපටවල සින්දු සිනමා ශාලාවල පොත් විදියට විකුණන්න තිබුණනේ... අපේ අක්කා චිත්‍රපටයේ සින්දු හරි ලස්සනට ගායනා කරනවා.. එයාට හොඳට සින්දු කියන්න පුළුවන්. ගුණදාස කපුගේ මහත්තයා ගායනා කරන උන්මාද සිතුවම් ගීතය එයා ලස්සනට කිව්වා... මම පුදුම විදියට ඒ සින්දුවට ආදරය කළා...  පස්සේ ගෙදරින් මට කිව්වා මේ ෆිල්ම් එක ඔයාටත් බලන්න පුළුවන්... අපි ගිහින් බලමු කියලා.  එහෙම තමයි මම මේ චිත්‍රපටය මුලින්ම බැලුවේ.

පස්සෙ කාලෙක මම රංගනයට එන්න මූලික වුණ කෙනෙක් තමයි හර්බට් රංජිත් පීරිස් මහත්මයා... මමයි මගේ යළුවෙකුයි පාසල් යන කාලේ රවීන්ද්‍ර රන්දෙණිය කියලා රැවටිලා හර්බට් රංජිත් පීරිස් මහත්මයාගෙන් සමරැ සටහනක් ගන්න ගියා. පස්සේ එයා පොඩි සටහනක් දාලා තිබුණා... මම රවීන්ද්‍ර රන්දෙණිය නෙමේ, හර්බට් රංජිත් පීරිස් කියලා... ඊටත් පස්සෙ කාලේ මගේ පළමු ටෙලිනාට්‍යය වන හිරි සඳු තනිවී නාට්‍යය රඟපාන්න ඔහු මාව තෝරාගත්තා... ඒක මට හීනයක් වගේ... පස්සේ හර්බට් රංජිත් පීරිස් මහත්මයා ළඟින් ඇසුරු කරනකොට මට තේරැම් ගිය දෙයක් තමයි එයාගේ ඇත්ත ජීවිතයේ යම් යම් අත්දැකීම් මේ චිත්‍රපටයට ඇතුළත් කරලා තිබුණ බව...

දැනට කී වතාවක් මේ නිර්මාණ නිල්මිණී නරඹලා තියෙනවද?
මේක නම්, ගණන් කරන්න බැරි තරම් මම බලලා ඇති...

සිනමා කෘතිය බලලා අවසානයේ ඔබට මොනවගේ හැඟීමක්ද හිතට දැනුණේ?
ඇත්තටම දුකක් දැනුණා... මම ගොඩාක් ඇඬුවා... මේ ෆිල්ම් එකේදී මාලනී අක්කා එක්ක තරහක් තමා එන්නෙ... ඊයේ පෙරේදත් මම මේ චිත්‍රපටය බැලුවා... එතකොට මම මගේ දුවව අඬගහ ගත්තා මේක බලන්න... එයා ලංකාවේ ප්‍රවීණ රංගන ශිල්පීන්ට ගොඩක් ආදරෙයි... එයා මේ ප්‍රවීණයන්ගේ අතීතය විශ්ලේෂණය කරනවා... ඒ අය ගැන හොයනවා... මගේ දුව කියපු එක දෙයක් තමයි මාලනී ෆොන්සේකා කියන්නෙ අපේ රටේ මැණිකක්. එයාව ආරක්ෂා කරගන්න ඕනෙ කියන කතාව... මම එයාට මුකුත්ම නොකියා එයාගෙන් ඇහුවා ඔයා මේ චිත්‍රපටයේ කැමතිම නළුවා කවුද කියලා... එයාත් එකපාරටම කිව්වේ ජෝ අබේවික්‍රම මහත්තයා කියලා... මගේ තිබුණු ලොකු වාසනාවකට ජෝ අබේවික්‍රම මහත්මයටයි මටයි එකම වේදිකාවේ හොඳම නළුවා සහ නිළියට හිමි සම්මාන හිමිවුණා... ඒක මම දැකපු ලස්සනම හීනයක් සැබෑවීමක්.
එහෙම තමයි නිල්මිණී කතාවට තිත තිබ්බේ...

 

► Text - Danushka Wijesiri   /   Pic - Internet