2019 නොවැම්බර් 09 වන සෙනසුරාදා

තේ එපා, ලයිව් ඕනෙ

 2019 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 12:30 80

කලා ක්ෂේත්‍රයේ විවිධ අංශවල විවිධාකාර අර්බුද, අරගල, අවුල් වියවුල් තියෙනවනෙ. ඒ වගේ අවුල් සහගත දේවල් සමහර වෙලාවට පවුල් ඇතුළටත් රිංගන වෙලාවල් නැතුව නොවෙයි.

ඔන්න එක්තරා ශිල්පියෙක්ගෙ නෝනා කෙනෙක් ඉන්නවා. එයා කැමති නැහැ එයාගෙ මහත්තයා එක්තරා ශිල්පිනියක් එක්ක වැඩ කරනවට. ඒක කිසිම පදනමක් නැති කරුණක් කියලා තමයි හැමෝම හිතන්නෙ. ඇත්තටමත් එහෙමයි. කලා ශිල්පියෙකුට එහෙම තෝරා බේරගෙන වැඩ කරන්න පුළුවන් ලොකු කර්මාන්තයක් නෙවෙයිනෙ අපට තියෙන්නෙ. ඉතින් මෙයා අර ශිල්පිනියත් එක්ක ටෙලි නාට්‍යයක රඟපාලා ඒක විකාශය වෙන්නත් යනවලු.
ඔන්න දැන් ඒ ගැන ප්‍රචාරක වැඩසටහනකට මේ ශිල්පියයි අර කියපු ශිල්පිනියවයි උදේ සජීවී වැඩසටහනකට අර රූපවාහිනී නාලිකාව කතා කරලා. 

මේ ශිල්පියාට කලින් දවසෙ රෑ ඉඳලා නින්ද යන්නෙ නැහැලු මේ ගැන හිතලා. මොකද එයාගෙ නෝනා උදෙන්ම නැගිටලා තේ හදලා ඊළඟට කරන්නෙ ටී.වී. එක දාගෙන උදේ කෑම පිළියෙළ කරන එකලු. ලයිව් වැඩසටහනට යන්න පාන්දරින්ම ඇහැරුණු මේ ශිල්පියා, නෝනට කිව්වලු

අද උදෙන්ම නැගිටලා බොරැවට තේ හදන්න මහන්සි වෙන්න එපා. ඔයා ටිකක් පරක්කු වෙනනම් නිදාගන්න, කෑම හදන්නත් එපා. මම එනකොට හොඳ හෝටලේකින් උදේ කෑම ගේන්නම් කියලා.
ඔන්න වැඩසටහන ඉවර කරලා ශිල්පියා කෑමක් අරන් ගෙදර ආවලු. නෝනා තාමත් සැපට නිදිලු.

 

අඩුම ගාණෙ වලිගයක්වත්.....

ඕනෑම සත්වයෙකුට ජීවිත දානය ලබාදෙන එක කොයිතරම් විශාල පුණ්‍යකර්මයක්ද? 

මේ හේතුව නිසාම බොහෝ පින්බර සිත් ඇති අයකරන දෙයක් මරණයට කැපවූ ගවයින් නිදහස් කිරීම. අපේ කලා ශිල්පීන් පිරිසකුත් මේ ළඟදී දවසක ඒ වගේ පුණ්‍ය කටයුත්තක් සංවිධානය කළා.
පින් අතේ වැඩ කරන්න පින් කැමති හැමෝම සම්මාදම් කරගැනීමත් පින් අතේ වැඩක් කියලා කියනවනෙ. ඒ නිසා මේ කට්ටියත් දන්න දන්න අයට කියලා මේ වැඩේට ඒ අයවත් සම්බන්ධ කරගත්තා.
බොහොම අමාරුවෙන් එදිනෙදා ජීවිතේ ගතකරන අහිංසක මනුස්සයෙක් මේ වැඩේ ගැන ආරංචි වෙලා පුංචි සම්මාදමක් කාලාලු එයාට පුළුවන් මට්ටමින්.

අනේ මම ඉතින් ලොකුවට සල්ලි තියෙන කෙනෙක් නෙවෙයි. එදිනෙදා හම්බ කරන කෙනෙක් මම. මේ චූටි ගාණ මහත්තයලා කරන මේ පින් අතේ වැඩට ගන්න. ගවයෙක් නිදහස් කරන්න මේ ගාණ කොහොමටවත් මදි තමයි. ඒත් අඩු තරමේ මේකෙන් වලිගයක්වත්.... ඔහු ඉතාම අහිංසක ලෙස කිව්වලු.

 

නින්ද යන චිත්‍රපට

සිනමාහල්වලට කොච්චර චිත්‍රපට ආවත්, ප්‍රේක්ෂකයින්ට දැනෙන චිත්‍රපට එන්නෙ කීයෙන් කීයක්ද කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ.
සමහරු චිත්‍රපටයෙ නමට රැවටිලා ඒවා බලන්න යනවලු. සමහරු ඒකෙ රඟපාන ශිල්පීන් ශිල්පිනියන්ගෙ නම්වලට ඒවා බලන්න යනවා.

ඒත් පැය දෙකක් එක තැනක ඉඳලා ඕක බලන්න ගියාම තමයි තේරෙන්නෙ රඟේ. ඔන්න ඔය වගේ ලොකු සද්දයක් දාලා ආපු ෆිල්ම් එකක් බලන්න ළඟදි මනුස්සයෙක් ගියාලු. චිත්‍රපටය පටන් අරන් විනාඩි 10ක් වත් යන්න කලින් එයාගෙ අල්ලපු සීට් එකේ මනුස්සයා සද්දෙට ගොරව ගොරවා නිදිලු.

ඉවසන්න බැරි තැන මෙයා අර මනුස්සයට තට්ටුවක් දාලා කිව්වලු ගොරවන එක නවත්තන්න කියලා.
අනේ මේ කසිකබල් චිත්‍රපටයෙ මොනවා බලන්නද?

අයිසෙ බලන්න නෙවෙයි. ගොරවන්න එපා කිව්වෙ මටත් ටිකක් නිදාගන්න ඕන නිසයි.

 

► Text - Mithra