2019 ජුනි 08 වන සෙනසුරාදා

කොහොමහරි ජාමේ බේරාගත්තා

 2019 ජුනි 08 වන සෙනසුරාදා, ප.ව. 12:31 402

ශලනි.. මේ දවස්වල මොනවද කරන්නෙ..?
මේ දවස්වල දෙවෙනි ඉනිම රූපගත කිරීම්වලට සහභාගි වෙනවා. ඊට අමතරව මනාලියන් දැක්ම කිහිපයකටත් සහභාගි වුණා. මම ඇඳුම් නිර්මාණ ශිල්පය පිළිබඳවත් ඉගෙන ගන්නවා. ඒත්.. මෑතකදී සිට මම ව්‍යාපාරික කළමනාකරණය සම්බන්ධවත් ඉගෙන ගනිමින් ඉන්නවා. ඉතින්.. උසස් අධ්‍යාපනය නිසා ඇඳුම් නිර්මාණ ශිල්පය පිළිබඳව ඉගෙනීම ටික කාලයකට නතර කරන්න සිද්ධවෙනවා.

පුංචි කාලේ හීන දැක්කෙ නිළියක් වෙන්නද..?
අපෝ නෑ.. පොඩ්ඩක්වත් එහෙම නිළියක් වෙන හීනයක් හිතේ කොණකවත් තිබුණෙ නැහැ. පුංචි කාලේ ඉඳන් මම ක්‍රීඩාවට සම්බන්ධ වුණා. ඒවාත් එක්ක කාලය ගත කරද්දී ලොකු වුණාම මෙහෙම කෙනෙක් වෙනවා කියන හීනයක් මට තිබුණෙ නැහැ. 

ඉගෙන ගත්තෙ මොන පාසලේද..?
මම ඉගෙන ගත්තෙ මීගමුව ශාන්ත නිකලස් ජාත්‍යන්තර පාසලෙන්. සාමාන්‍ය පෙළ පන්තියෙදී මට ඇඳුම් නිර්මාණ ශිල්පය පිළිබඳව ඉගෙන ගන්න ආසාවක් ඇතිවුණා. ඒකට මම අදටත් ආසයි. නිළියකට වඩා ෆැෂන් ඩිසයිනර් කෙනෙක් කියනවාට මම අදටත් ආසයි. ඒ හීනය අත්හරින්නෙ නැහැ. කවදාහරි ඒ දේ මම ඉෂ්ඨ කර ගන්නවා.

ශලනි නිළියක් වෙන්නෙ අවුරුදු කුමරිය තරගයකින් ජයග්‍රහණය කිරීමත් සමඟයි...?
ඔව්.. 2017 වසරේ දෙරණ අවුරුදු කුමරිය තරගයට මාව ඉදිරිපත් කළේ මගේ පුංචියි. මේ හීනය මගේ පුංචිගේ හීනයක්. හැමදාමත් මගේ අම්මගෙයි අයියගෙයි හීනත් එක්ක හිටපු මම හරි අපි දාලා බලමුකෝ කියලා කිව්වා. ඇත්තටම ඒක අලුත් අත්දැකීමක්. ලොකු සෙනඟක් ඉදිරියේ ආයුබෝවන් කියන්න හරි ලජ්ජයිනෙ. ඒවාට අපිට වැඩමුළු තිබුණා. ඒ හැමදෙයක්ම ලොකු අත්දැකීමක් වුණා. ඒ තරගයෙන් මම පළමුවැනියා වුණා. ඊටපස්සෙ තමයි මට දෙවෙනි ඉනිම නාට්‍යයට කතා කළේ.

ඔබ පවුලේ එකම ගැහැනු ළමයා..?
ඔව්.. මගේ පවුලේ ඉන්නෙ අම්මයි අයියයි මමයි විතරයි. මට අවුරුදු පහක් වෙද්දී මගේ තාත්තා නැතිවුණා. ඊටපස්සෙ අම්මා තමයි අපි දෙන්නව බලාගත්තෙ, අපේ හැමදෙයක්ම කළේ. දැන් අයියත් මාව බලාගන්නවා. 

පුංචි කාලෙ ශලනි දඟයිද..?
පුංචි කාලෙදී දඟයි. ඉස්සර මගේ හැමදේම වුණේ මගේ තාත්තා. මම මොනවාහරි දඟ වැඩක් කළොත් ඉක්මනට දුවගෙන ගිහින් හැංගෙන්නෙ මගේ තාත්තා ළඟ තමයි. මට තේරෙන්නෙම නැති වයසෙදීම තාත්තා නැතිවුණු නිසා ඒ දඟකාරකම ටික කාලයක් යනතුරු තිබුණා. අම්මගේ අයියගේ ආදරයත් එක්ක ඒකෙ අඩුවක් වුණේ නැහැ.

දෙවෙනි ඉනිමට ඔබ සම්බන්ධ වුණේ අතරමඟකදීනෙ.. දෙවෙනි ඉනිම ඊට කලින් බලලා තිබුණද..?
ඔව්.. දෙවෙනි ඉනිම කියන්නෙ මම අවුරුදු කුමරිය වෙන්නත් කලින් ඉඳන්ම ආසාවෙන් බලපු නාට්‍යයක්. මුල්ම කොටසේ ඉඳන් අද වෙනකම් මම ඒ නාට්‍ය බලලා තියෙනවා. අවුරුදු කුමරිය වුණාට පස්සෙ දෙරණේම වැඩක් නිසා ඒ චරිත මුණගැහෙන්න ලොකු ආසාවක් තිබුණා. දෙවෙනි ඉනිමේ ඉන්න අය මට දෙරණින් මුණගැහේවි කියලා හිතුණා. ඊටපස්සෙ දෙවෙනි ඉනිමට කතා කළාම මට පුදුම හිතුණා. දෙවැනි ඉනිම මම ආසාවෙන් හිටපු නාට්‍යයක්. ඒ නිසා මම හරිම කැමැත්තෙන් චූටි මැණිකෙගේ චරිතය බාරගත්තා.

මුල් කාලෙදී චූටි මැණිකෙට රඟපාන්න ලැබුණෙ හරිම අහිංසක චරිතයක්.. මේකට අනිත් අයගෙන් ලැබුණු සහයෝගය කොහොමද..?
රංගනය පිළිබඳව කිසිම දෙයක් ඉගෙනගන්නෙවත් නැතුව තමයි මම දෙවෙනි ඉනිමට සම්බන්ධ වුණේ. මුල් කාලෙදී මට ගොඩක්ම මුණගැහුණේ ශනුද්‍රි. ශනුද්‍රි අක්කා මට ලොකු සපෝර්ට් එකක් දුන්නා. ඒ වගේම ඒ හා සමානම උදව්වක් මට අනිත් හැමෝගෙන්ම ලැබුණා. අදටත් එහෙමම තමයි. මම හිතන්නෙ ලිහිණි කියන චරිතය යම් විදිහකට සාර්ථකවෙලා තියෙනවානම් ඒකට මට වඩා එයාලා ලොකු හේතුවක් වුණා.

ඊට අමතරව වෙනත් නිර්මාණවලටත් ආරාධනා ලැබෙන්නෙ ඇති..?
අම්මෝ ඔව්.. ගොඩක් ආරාධනා ලැබුණා. ඒවා මම බාරගත්තෙ නැහැ. මට දෙවෙනි ඉනිමේ විතරක් ටික කාලයක් ඉන්න ඕන වුණා. අධ්‍යාපන කටයුතුත් එක්ක ඒ හැමදෙයක්ම බාරගන්න මම කැමති වුණේ නැහැ. ඉදිරියටත් මම දිගටම රංගන ක්ෂේත්‍රයේම ඉන්න කැමති කෙනෙක් නෙමේ. වෘත්තීමය රංගන ශිල්පිනියක් වෙනවාට වඩා හොඳ නිර්මාණයකට අවස්ථාව ලැබුණොත් මම ඒක බාරගනිවී.

රංගනයට ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද..?
මුලදීනම් මගේ අයියා මම මේ ක්ෂේත්‍රයට එනවට අකමැති වුණා. අම්මා තමයි හැමදේටම මගේ පස්සෙන් ඉන්නෙ. දැන් අයියගෙත් අකමැත්තක් නැහැ.

පසුගිය කාලෙදී ඔබ විදෙස් සංචාරයකටත් සහභාගි වුණානෙ.. ලබපු අත්දැකීම් ගැන මොකද හිතන්නෙ..?
ඔව්.. ඒක තමයි මගේ මුල්ම විදෙස් සංචාරය. අපි මාසයක් USA ගිහින් හිටියා. ඒ ගමනට මමයි රවීනුයි චබීයි තමයි ගියේ. මගේ ජීවිතේ මම ගිය ලස්සනම ගමන තමයි ඒ. මට ඒක කවදාවත් අමතක වෙන්නෙ නැහැ. අපි සින්දු කියන්නයි මගේ නර්තන අංග කිහිපයකටයි තමයි ඒ රටට ගියේ. මට එහෙම ලොකුවට සින්දු කියන්න බැහැ. හැබැයි මාත් සින්දු කිහිපයක්ම කිව්වා. හැබැයි ඒවාට හොඳ ප්‍රතිචාර ලැබුණා. එයාලා බලාපොරොත්තු වුණේ දෙවෙනි ඉනිමේ චූටි මැණිකෙවයි. ඉතින්.. සින්දු කියද්දීත් එයාලා හරිම ආසාවෙන් අහගෙන හිටියා. වැරදුණත් ඒ හැමෝම හරිම ආසාවෙන් අහගෙන හිටියා. මම කොහොමහරි ජාමෙ බේරාගත්තා.

ඇත්ත කියන්න.. චූටි මැණිකේ අද ආදරය විඳින පෙම්වතියක් නේද..?
නැහැ.. ආදරය කියන්නෙ හරිම සුන්දර දෙයක්. සමහරු ආදරය නිසා විඳවනවා. සමහරු ආදරය විඳිනවා. හරි කෙනාව තෝරාගත්තොත් ඒ ආදරය දවසක විඳින්න පුළුවන් වේවි. බලමු ඉතින්. නේද..?
 

► Text - Dishani  /  Pic -  Sumudu