2019 මැයි 11 වන සෙනසුරාදා

අපි දහදෙනා ඉන්නෙ දහපොළක

 2019 මැයි 11 වන සෙනසුරාදා, ප.ව. 12:31 154

චරිත්.. මේ දවස්වල “යං එක්ක අලුත් ගමනක් යනවා.. “යං බිහිවෙන්නේ කොහොමද?
“Let’s go” කියන එක තමයි “යං කියලා අපි කියන්නේ. කොළඹ නගරය පිරෙන්නේ කොළඹට පිටින් ඇවිත් රස්සාවල් කරන අපේ ගම්වල ඉන්න සහෝදර සහෝදරියන්ගෙන්. ඉතින්.. ඒ වගේ කොළඹින් පිටඉඳන් කොළඹට එන තරුණ තරුණියන් කිහිපදෙනෙක් වටා ගෙතුණු කතාවක් තමයි “යං කියලා කියන්නේ. ඔවුන් කොළඹට විවිධ දේවල් බලාපොරොත්තුවෙන් තමයි එන්නේ. නමුත් ඔවුන්ගේ ගමන වෙනස් වෙනවා. ඔවුන් ජීවිතේ දුප්පත් තැන්වල ඉඳලා ජීවිතේ ජයග්‍රහණ කරා යන ගමනක් තමයි පෙන්නුම් කරන්නේ. ඒ ගමනේදී බාධක ගොඩාක් මුණගැහෙනවා.

“යං ඔස්සේ අලුත් මුහුණ කිහිපයක්ම හඳුන්වා දෙන්න චරිත් උත්සහ ගෙන තිබෙනවා නේද?
ඔව්.. ඇත්තටම “යං ඔස්සේ දකින මුහණු බොහොමයක් රූපවාහිනියට නුහුරුයි. ඒකට හේතුව වුණේ ඒ චරිතවල තියෙන ස්වභාවිකත්වය පරිස්සම් කරගන්නයි. අපිට හුරු චරිත හැමවෙලේම ටී.වී. එකේ දකිද්දී ඒ චරිතවල තියෙන සත්‍ය ස්වභාවය පොඩ්ඩක් අපිට අහිමි වෙනවා. ජනප්‍රිය චරිත චැනල් තුන හතරකම එකම වෙලාවක ඉන්න නිසාත් අපි අලුත් මුහුණු ටිකක් හඳුන්වාදෙන්න උත්සාහ කළා. ඒ චරිත අලුත් වුණාට ඉතාම දක්ෂ පිරිසක්.

ඒ මුහුණු සොයාගත්තේ කොහොමද?
ඒ මුහුණු සොයාගන්න සම්මුඛ පරීකෂණ හතරක් විතර අපි තිබ්බා. පළවෙනි එකට තුන්සීයක් විතර සහභාගී වුණා. ඒකෙන් අපි පනහක් විතර තෝරාගත්තා. ඒකෙන් තමයි අපි ප්‍රධාන චරිත අටකට කට්ටිය තෝරාගත්තේ. මොවුන් සියල්ලන්ටම හැකියාවත් තියෙනවා. ඇතැමුන්ට ගීත ගැයීමේ හැකියාව පවා තිබුණා. වාද්‍ය භාණ්ඩ වාදනය කරන්න පුළුවන්. නර්තනය පුළුවන්. මේ වගේ බොහෝ දක්ෂතා ඔවුන් තුළ තිබුණා. එයින් දෙන්නෙක්ම නාට්‍ය හා රංග කලාව උසස් පෙළට උගන්වන ගුරුවරුන්. ඒ නිසා ඒ අය එක්ක වැඩ කරන්න ලේසියි. මේක ස්වාධීන රෑපවාහිනී සේවයේ සති අන්තයේදී රාත්‍රී හතට දැකබලා ගන්න පුළුවන් වේවී.

“යං ටෙලිනාට්‍යයේ රූගත කිරීම් කරන තැන් පවා ටිකක් වෙනස් කරගන්න චරිත් උත්සාහ ගෙන තියෙනවා?
ඔව්.. අපේ චරිත දහය ඉන්නේ පැති දහයක. එක්කෙනෙක් කල්තොට රුවන්. එතකොට අපි කල්තොට යනවා. තව කෙනෙක් කොග්ගල කසුන්, මයියන්ගනයේ ලෙනින්, මීගමුවේ මාක්ස්, සහස්පුර මධු.. ආදී පැති කිහිපයකම මේ අය නියෝජනය කළා. ඒ නිසා ඒ හැම පැත්තටකටම ගිහින් තමයි අපි ඒ පැති රූගත කිරීම් කළේ. සහස්පුර රූගත කිරීම් කරද්දී හොඳ අත්දැකීම් අපිට තියෙනවා. ඒ පැත්තේ සිංහල, බර්ගර්, දෙමළ, මුස්ලිම් හැම කෙනෙක්ම ඉන්නවා. ඉතින් මෙයාලා නළු නිළියෝ නොවීමත් නිසා ඒ යන යන තැන්වල පොඩි පොඩි අපහසුකම් පවා සිදුවුණා. සහස්පුරේ මීට කලින් ටෙලි නාට්‍යයක් රූගත කිරීම් කරලා තිබුණේ නැහැ. “යං ටෙලිනාට්‍යයේ ඉන්නා චරිත ඇත්තටම සැබෑම චරිතයයි. ඒ චරිත අපි ගොඩනගපු චරිත கනෙවෙයි. මේ නාට්‍ය ඉවර වුණාට පස්සේ ඒ ඇත්ත චරිත අපි ගෙනල්ලා පෙන්නන්නත් හිතාගෙන ඉන්නවා. ඒ ගම්වලට ගියාමත් අපිට සපෝට් එක දුන්නෙත් ඒ ඇත්ත චරිතමයි. “යං කතාව එක තැනක තිබෙන කතාවක් නෙමේ. එකේ තේරැමක් “යං කියලම තමයි. 

චරිත්.. රංගන ශිල්පියෙක් සහ අධ්‍යක්ෂකවරයෙක් වීම පාසල් කාලේදී දැකපු හීනයක් ද?
ඒකට හීනයක් විතරක් තිබිලා හරියන්නේ නැහැ. ඒකට අවශ්‍ය කරන අධ්‍යාපනත් තියෙන්නත් ඕනේ. මට රඟපෑමේ ආසාවක් තිබුණා. මම ඉගෙන ගත්තේ හොරණ තක්ෂිලා විදුහලේ පාසල් වේදිකාවේ මම රඟපෑවා. ඊට පස්සේ මම කණ්ඩායමේ සංගීතයට එකතු වුණා. ඒ තුළින් රංගනය මගෙන් මඟහැරුණා. මම සීදූව සකුරා කණ්ඩායමේ නිත්‍ය ගායකයෙක් විදිහට කටයුතු කළා. ඊට පස්සේ 2004 අවුරුද්දේදී සිනමාව හැදෑරීමට එංගලන්තයට ගියා. අවුරුදු දෙකක් මම එහේ ස්ටුඩියෝ එකක ඩිප්ලෝමාවක් කළා. රංගනය හැදෑරුවා. හැබැයි මම සාමාන්‍ය පෙළ කරලා ඉවර වුණාට පස්සේ ජාතික තරැණ සේවා සභාවේ ඩිප්ලෝමාවක් හැදෑරැවා. ඒකෙදීත් මමත් ඉගෙන ගත්තා.

එංගලන්තයේ ගිහින් රංගනය හදාරන අතරවාරයේ චරිත කරපු රැකියාව මොකක්ද?
මම රැකියාවල් කිහිපයක්ම කළා. රස්සාවක් කරන අතරතුරේදී තමයි මම මේ දේවල් ඉගෙන ගත්තේ. එංගලන්තයේදී මම සෑහෙන දුකක් වින්දා. මම ඩිලිවරි බෝයි කෙනෙක් විදිහට වැඩ කළා. රෙදි ඇඳුම් විකුණලා තිබෙනවා. ඔය වගේ රස්සාවල් බොහෝමයක්ම මම කළා. එහෙම රස්සාවක් නොකර එංගලන්තයේ ඉන්න බැහැ. ඒ අතරවාරයේදී මම ඉගෙන ගත්තා.

චරිත්.. පෞද්ගලික ජීවිතේ කොහොමද?
මම දැන් විවාහ වෙලා අවුරුදු දෙකක් වෙනවා. හංසියි මායි දෙරණ ස්ටාර් එකෙත් නැටුවා. “යං ටෙලිනාට්‍යයේ හංසි රඟපානවා. එයා නර්තනයට දක්ෂයි. ඒ නිසා ඒකට ගැලපෙන චරිතයක් හංසිට ලැබිලා තියෙනවා. ඉතින් මම හොඳ සතුටින් “යං සමඟ ගමන් කරනවා.   

 

► Text - Dishani / Pic – Sumudu