2019 අප්‍රේල් 13 වන සෙනසුරාදා

අදටත් මම බෝනික්කන්ට හරි ආසයි

 2019 අප්‍රේල් 13 වන සෙනසුරාදා, ප.ව. 12:31 106

මුලින්ම කියමුකෝ... මේ දවස්වල මොනවද කරන්නේ කියලා?
මේ දවස්වල එහෙම විශේෂ කිසිම කටයුත්තක් කරන්නේ නැහැ. චිත්‍රපට දෙකකට සහභාගී වුණා. ඒවා ඉදිරියේදී තිරගත වේවී. එක චිත්‍රපටයක මම රඟපාන්නේ ආත්තම්මාගේ චරිතයකුයි. ටෙලිනාට්‍යවලට නම් එහෙම සම්බන්ධ වුණේ නැහැ. මගේ ජීවිතේ දැන් අවුරුදු දෙක තුනකට සැරයක් තමයි නිර්මාණයකට දායකවෙන්නේ.

කාලයක් ඔබව දකින්න ලැබුණේ නැහැ?
ඔව්... දැන් මම පදිංචි වෙලා ඉන්නේ මාතරනේ. හුඟ දෙනෙක්ට මාව බලන්න ආසයි කිව්වා. ගෙදරට කතා කර කර “අනේ දවසක කොළඹ එන්නකෝ කිය කියා මට කතා කළා. ඉතින් “හා... එන්නකෝ... කියලා හැමදාමත් කිව්වම ඒක දවසින් දවස කල්ගියා. පසුගිය කාලේදී අඩුගානේ තෑග්ගක් දෙන්නවත් මම වේදිකාවකට නැග්ගේවත් නැහැ. මම හිතන්නේ තාමත් මාව ගොඩක් අයට අමතක නැහැ. ඒ නිසා මේ පාර මම එක්තරා සම්මාන උළෙලකට සහභාගී වුණා. එදා කලා ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් මට මුණගැහුණා. හැමෝම මාත් එක්ක හරිම ආසාවෙන් කතා කළා. මේ දවස්වල මම හරි සතුටින් ඉන්නේ.

මාතර ඉඳන් මොකද කරන්නේ...?
මගේ සැමියාගේ මහගෙදර තමයි දැන් මම මගේ පුතාලාත් එක්ක පදිංචි වෙලා ඉන්නෙ. මගේ පොඩි පුතා රස්සාවල් කරන්න එච්චර කැමති නැහැ. රස්සාවල් කිහිපයක් කළාට එයා ඒවායින් අයින් වුණා. පොඩි පුතා වවන්න හරි ආසයි. ඉතින් මාතර හොඳ ඉඩකඩත් අපිට තියෙනවා. ඉතින් පොඩි පුතා වවනවා. මාතර ගෙදර හිටියත් මම නිකම් ඉන්නේ නැහැ. මම හැමදාම උදේ පාන්දර පහට නැගිටිනවා. මගේ ලේලී මාතර රොහලේ හෙදියක්. ඉතින් මම උදේන්ම නැගිටලා අපි හැමෝටම කෑම හදනවා. මගේ ලේලිත් මට උදව් කරනවා. ජීවිතේ ගෘහණියක් හැටියට තමයි ගෙවෙන්නේ. කසාද බැඳපු කාලේදී මහත්තයාව දරුවාව බලාගෙන හිටියා වගේම තමයි තාමත් ගෙවෙන්නේ. කාලය ගතවෙනවා තේරෙන්නේ නැහැ. ඉස්සර දවසක් ගතකරන්න හරි කාලයක් යනවා කියලනේ අපිට හිතෙන්නේ. දැන් එහෙම නැහැ. දැන් හරිම ඉක්මනට කාලය ගෙවෙනවා. ඉතින් අද මගේ ජීවිතේ සාමාන්‍ය ගෘහණියක්. අම්මා කෙනෙක් සහ ආත්තම්මා කෙනෙක්.

ඔබේ ළමා කාලය ගැන අපි පොඩ්ඩක් කතා කරමුද?
ඔව්... මම ඉපදුණේ කොළඹ වැල්ලවත්තෙයි. මම ඉපදිලා තියෙන්නෙම ගෙදරයි. මම පවුලේ දෙවැනියා. මට අක්කලා එක්කෙනයි, නංගිලා දෙන්නෙක් ඉන්නවා. ගෑනු ළමයින්ම හතරක් තමයි මගේ පවුලේ ඉන්නෙ. මගේ තාත්තාට වැල්ලවත්ත මාර්කට් එකේ කඩයක් තිබුණා. මගේ අම්මා හොඳ ගෘහණියක්. තාත්තා උපයන දෙයින් තමයි අපි හැමෝම ජීවත් වුණේ. හැබැයි අපිට එහෙම අඟහිඟයක් තිබුණේ නැහැ. අපි බොහෝම සරල සාමාන්‍ය ජීවිතයක් ගතකරපු පවුලක්. මගේ ළමා කාලය තරම් සුන්දර කාලයක් තවත් නැති තරම්. අක්කලා, නංගිලා එක්ක එකතුවෙලා අපි සෙල්ලම් කළා. සෙල්ලම් ගෙවල් දැම්මා. මට තාම මතකයි අපි හිටපු වැල්ලවත්ත ගෙදර ලොකු වත්තක් තිබුණා. ඒ වත්තේ ගෙවල් හතරක් තිබුණා. ඔන්න ඉතින් ඒ ගෙවල් හතරේම හිටපු ළමයි ටික එකතුවෙලා සෙල්ලම් ගෙවල් දානවා. එක එක සෙල්ලම් කරනවා. හරි සමගිව අපි ඒ හැමදේම කළා. පොඩි කාලේ සෙල්ලම් ගෙවල් දාන එකම තමයි වැඩේ. මම හරි ආසයි බෝනික්කන්ට අදටත් ලස්සන බෝනික්කෙක් දැක්කාම ඒ බෝනික්කව ඔඩොක්කුවේ තියාගන්න මම හරි ආසයි. දැන් මගේ මිණිපිරී බෝනික්කව වඩාගෙන ඉදිද්දී සමහර වෙලාවට මට බලාගන්න දීලා යනවා. ඉතින් මම මගේ මිණිපිරි එක්ක බෝනික්කව තුරුල් කරගන සේල්ලම් කරනවා. ඒ කාලයට මම හරි ආසයි.

පාසල් අධ්‍යාපනය ලැබුවේ මොන පාසලෙන්ද?
මම වැල්ලවත්ත බාලිකා විද්‍යාලයෙන් තමයි ඉගෙන ගත්තේ. දැන් මම හිතන විදිහට ඒ පාසල නැහැ. පාසලේදී වුණත් මම එහෙම දඟ චරිතයක් නෙමේ. සමහර යාළුවෝ හරිම දඟයි. හැබැයි මම මගේ පාඩුවේ තමයි හිටියේ. මට ඉස්කෝලේදී එහෙම ලොකු යාළුවන් පිරිසක් හිටියේත් නැහැ. ඉස්කෝලේ හිටපු යාළුවෙක් අදටත් මගේ හොඳම යාළුවෙක් වයලට් අදත් මාව බලන්න එනවා. මම එයාව බලන්න යනවා.

ඉස්කෝලෙදී පොඩි දේටත් අඬන චරිතයක් කියන්නේ ඇත්තද?
අනේ ඔව්... මම දඟ චරිතයක් නෙමෙයිනේ. හැබැයි ඉතින් පුදුම දඟ ගෑනු ළමයි අපේ පන්තියේ වගේම ඉස්කෝලේ හිටියා. වයලට් මම මගේ අහිංසක ළමයෙක් නෙමේ. එයත් දඟයි. මම ඉස්කෝලේ ළමයෙක් මොනවා හරි දෙයක් කිව්වොත් මම අඬනවා. මම පොඩි දේටත් අඬනවා. හැබැයි මම කවදාවත් කාත් එක්කවත් රණ්ඩු වෙන්නේ නැහැ. හැබැයි වයලට් එහෙම නැහැ. මට මොනවා හරි දෙයක් කියලා මම ඇඬුවත් වයලට් ළමයි එක්ක රණ්ඩු කරගන්නවා. ඇත්තටම ඒවා හරි සුන්දර කාලයක්.

පාසල් අධ්‍යාපනය ලබන කාලේදීම නේද ඔබට රඟපාන්න අස්ථාව ලැබුණේ?
1962 අවුරුද්දේදී “දවස රූප සූන්දරී තරගයට මම ඉදිරිපත් වුණා. ඒ තරගයේදී මාව මුල් පස්දෙනා අතරට තේරුණා. එදා තිස්ස අබේසේකර මහත්තයාත් ඒක බලන්න ඇවිත් තිබුණා. එතනදී මාව දැකලා ඔහු ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාට කියලා තිබුණා. ඒ වෙනකොට ලෙස්ටර් මහත්තයා නන්දාගේ චරිතයට කෙනෙක් තෝරමින් තමයි ඉඳලා තියෙන්නේ. ඒ කාලේ මම ගොඩාක් පොඩියි. 

අනුලා රඟපානවාට ගෙදරින් කැමති වුණාද?
දවසක් සුගතපාල ද සිල්වා මහතා සහ බී.ඩබ්ලිව්. සුරේන්ද්‍ර මහතා අපේ ගෙදර ඇවිත් තාත්තාව මුණගැහුණා. “ලෙස්ටර් මහත්තයා අලුතින් චිත්‍රපටයක් කරනවා. ගම්පෙරළිය නන්දාගේ චරිතයට අනුලා හොඳයි. ලෙස්ටර් මහත්තයාව ඇවිත් පුළුවන්නම් මුණගැහෙන්න. කියලා තාත්තාට කිව්වා. ඒ වෙනකොට ලෙස්ටර්ගේ “රේඛාව චිත්‍රපටය තාත්තා බලලත් තිබුණේ. “රේඛාව චිත්‍රපටයට අපේ තාත්තා හරි ආසයි. ඒනිසා ලෙස්ටර් මහත්තයාගේ චිත්‍රපටයක රඟපානවාට තාත්තා අකැමැති වුණේ නැහැ. ඉතින් දවසක් අපි ලෙස්ටර් මහත්තයාව මුණගැහෙන්න ගියා. මව දැකපු ගමන් ලෙස්ටර් මහත්තයා “අයියෝ චූටි කෙල්ලෙක්නේ. කියලා කිව්වා. ඒ නිසා මාව නන්දාගේ චරිතයට ගැලපුණේ නැහැ. හැබැයි ලෙස්ටර් මහත්තයා මාව අතහැරියේ නැහැ. ඔහු මාව ගම්පෙරළිය ලයිසාගේ චරිතයට තෝරාගත්තා. ඒක මම ඉතින් කළා. එතනින් පටන්ගත්තු ගමන තමයි මේ තාමන් ගෙවන්නේ.

ගම්පෙරළියේ ලයිසා කාලයකට පස්සේ ගොළු හදවතේ ධම්මිත් වුණානේ?
ඔව්... චිත්‍රපට වුණත් මම එහෙම ලොකුවට රඟපාලා නැහැ. ගම්පෙරළිය රඟපෑවට මම ටයිටස් තොටවත්ත මහතාගේ චිත්‍රපටයක රඟපාන්න අවස්ථාව ලැබුණා. ගම්පෙරලිය සංස්කරණය කළේ ටයිටස් තොටවත්ත මහත්මයා ඒ දැනහැඳුම්කම් මත මට ටයිටස් තොටවත්ත මහත්තයාගේ “චන්ඩියා චිත්‍රපටයකත් රඟපාන්න අවස්ථාව ලැබුණා. ඒකේදී මට ගාමිණි ෆොන්සේකා මහත්මයා ගොඩාක් උදව් කළා. රඟපෑම ගැන මම බොහෝ දෙවල් ඉගෙන ගත්තා. මම රඟපාද්දී මොන වැරදි කළත් එයා ඒක මගේ වැරැද්දක් විදිහට දැක්කේ නැහැ. ඒ හැමවෙලාවකම ගාමිණි ෆොන්සේකා මහත්මයා කියන්නේ “ඒක ඔයාගේ වැරැද්දක් නෙමේ.. කැමරාමන්ගේ වැරැද්දක් කියලා කාටහරි ඒ වැරැද්ද පටවනවා. මම වැරැද්දුවාම මාත් එක්ක ආයේ ආයේත් ඔහු මාත් එක්ක කරනවා. හැබැයි අද කාලේ ඒ වගේ කලාකරුවන් කලාකාරියන් හරිම අඩුයි. දැන් ඉන්න බොහෝ අයට ඉවසීමක් නැහැ. අනිත් කෙනෙක් වෙනුවෙන් උදව්වක් නැහැ. දැන් බොහෝ අය සල්ලි මත්තෙම තමයි නිර්මාණවලට නියැලිලා ඉන්නේ. හැබැයි ඒ කාලේ එහෙම නැහැ. ඊට පස්සේ මම “ගොළු හදවත චිත්‍රපටයේ ධම්මිගේ චරිතය රඟපාන්න අවස්ථාව ලැබුණා.

අඹ යාළුවෝ ටෙලිනාට්‍යයේ “සුදු අප්පෝ*ගේ අම්මා නිසා තවමත් ඔබව කාටත් හොඳට මතකයි?
ඔව්... චිත්‍රපටවල රඟපාලා අවුරුදු කිහිපයකට පස්සේ චිත්‍රපටවල රඟපාන එක අතහැරියා. දරුවන් දෙන්නා ලැබුණට පස්සේ මගේ වැඩි කාලයක් ගෙවුණේ දරුවන් දෙන්නා වෙනුවෙනුයි. ඔහොම කාලයක් ගතවුණාට පස්සේ තමයි සුදත් දේවප්‍රියගේ “අඹ යාළුවෝ ටෙලිනාට්‍යයට මට කතා කළේ. ඒක තමයි මගේ මුල්ම ටෙලිනාට්‍යය වුණේ. මම හිතන්නේ ඒක තමයි මට ලැබුණු ලොකුම තෑග්ග. අදටත් බොහෝ දෙනා මාව දන්නේ “සුදු අප්පොගේ අම්මා විදිහටයි. කොහේ ගියත් මට බොහෝ දෙනා හඳුනන්නේ ඒ “අම්මා විදිහටයි. ඒ අම්මාගේ සාරියටත් බොහෝ දෙනා ආසයි. ඇත්තටම මාත් ඒ සුදු අප්පොගේ අම්මට හරි කැමතියි.

ඔබ විවාහ වෙන්නේ ඔබව හොඳට හඳුනාගත්තු කෙනෙක් සමඟයි. අපි ඔහු ගැනත් කතා කරමු?
මම විවාහ වුණේ දයා රණවීර සමඟයි “දවස රූප සුන්දරී තරගයෙන් තමයි දයා මාව දැකලා තිබුණේ. ඔහු ඡායාරූප ශිල්පියෙක්. මාධ්‍යවේදියෙක්. මගේ ගෙදර ලිපිනය ලෙස්ටර් මහත්තයාට දීලා තිබුණෙත් එයයි. මගේ ඡායාරූපයක් අරගෙන මුලින්ම පත්තරේ දැම්මෙත් එයයි. ඉතින්... එයා චිත්‍රපට ලෝකය ගැන මිනිස්සු ගැන හොඳට දන්නවා. ඒ දේවල් මට කියලා දුන්නා. ඉන්න ඕන විදිහ මට කියලා දුන්නා. ඒ හැමදේකින්ම මගේ හිත එයා ළඟ නතර වුණා. එයාත් මට ගොඩාක් ආදරේ කළා. ඒනිසා අපි 1968 අවුරුද්දේ කසාද බැන්දා. ඊට පස්සේ අපිට පුතාලා දෙන්නෙක් ඉපදුණා. මගේ ලොකු පුතා ඔසඳ. දැන් ලොකු පුතා ලංකාවේ නැහැ. එයාලාට දරුවන් තුන්දෙනෙක් ඉන්නවා. පොඩි පුතා බිනර එයත් කසාද බැන්දා. ඉතින් මගේ ජීවිතේ දැන් ගොඩාක් දේවල් සිද්ධවෙලා ඉවරයි. දැන් මම සැදෑසුවය ගතකරනවා.

අදටත් ඔබට මේ රටේ මිනිස්සුන්ගේ ආදරේ තියෙනවා. ඒ ආදරේ ගැන මොකද හිතෙන්නේ?
 ඇත්ටම නිළියක් කලාකාරියක් වීම ගැන හරිම සන්තෝසයි. අදටත් මාව ගොඩාක් දෙනා දන්නේ අඹ යාළුවෝ, ගොළු හදවත, පරසතුමල් නිර්මාණ හරහායි. සමහරු මාව බලන්න මාතරට පවා එනවා. ඇත්තටම මේ සතුට රටේ මිනිස්සුන්ගේ ආදරය සල්ලිවලට ගන්න බැහැ. එවැනි ආදරයක් ලබන්න තරම් මම පින් කරලා තියෙනවා.      

 

Text - Dishani  /   Pic -  Sumudu