2019 අප්‍රේල් 13 වන සෙනසුරාදා

සින්දුවෙන් රිදුන අය මට නඩු දාන්න යනවා

 2019 අප්‍රේල් 13 වන සෙනසුරාදා, ප.ව. 12:31 171

තාලේ වනලා කියමි තුටිනා
දැනෙනා හැඟුම වෙවුලා
ආයේ දිරියෙන් සුරත වඩනා
නූපන් පරපුර මෙමා
ජීවන මේ ගමන සංසාර
වාතේ කීවට උඹය මගේ ප්‍රාණේ
මාගේ චුට්ටන් මල්ලියාට
මේ වාගේ පිහිටයි හංවඩු සරන් කාලෙ
වරමක් දෙනවද අද මට නගා
වැව ළඟ ඉන්නම් උඹ එනකම් බලා
ගමේ පද හදා මං හෙණ වලා
සත්තයි ලතා නෑ වෙන මල් නලා
රෙදි ගැලවෙනකං කරන රැඟුමන්
දියරැලි නැටුමක් ඇඟ වටකරවන්
නැඟ එන හැඟුමන් මට නෑ අරුමන්
ගහ උඩ ඉඳ ඉසින මල් වැස්සක් 
රූටාගෙන යනවිට උඹෙ මුහුණේ
අකුණු සැර වැද්දෙ දෙකකුල් මැද්දේ
උඹ බලපන් පොඩියක් හැරිල මේ පැත්තෙ
වැනෙයි කළු මගේ දෙපැත්තේ


ඉරාජ්.. සුරත ඔයාගෙ අලුත් මියුසික් වීඩියෝවනෙ. ඒ වගේ නිර්මාණයක් කරන්න හිතුණෙ ඇයි.. ජනප්‍රිය වෙන්නද..?
නෑ... එහෙම ජනප්‍රිය වෙන්න හිතාගෙනනම් නෙමේ. මට ඒ වගේ නිර්මාණයක් කරන්න ඕනෙ කියලා හිතුණා. රැඩිකල් කියලා ලේබල් ගහගෙන කල්ලියක් හැදිලා සමහරු බුදුරජාණන් වහන්සේට අපහාස කරලා පොත් දැම්මා. ඊටපස්සෙ වෙනත් උගතුන් සෙට් එකක් ඒවා සාධාරණීකරණය කරනවා. ඉතින්.. ඔය නිර්මාණයේ ඒ සමහර අය කියපු දේවල් ඒ විදිහටම දාලා තියෙනවා. ඒ වගේම මේ දවස්වල අන්තර්ජාලයේ නිට්ටෑවෝ ගැන එහෙම කතා කරනවා. ඒ හැම දෙයක්ම එකතු කරලා තමයි මම මේ නිර්මාණය කළේ. ඒක ටිකක් වෙනස් නිර්මාණයක්.

වීඩියෝව පටන් ගනිද්දීම මෙයින් කිසිවකුට අපහාස කිරීම හෝ චරිත ඝාතනය කිරීමක් සිදුනොවේ කියලා සටහනක් කළාට රටේ දේශපාලනඥයන් කිහිප දෙනකුගෙ රූප රැගත් රූප පෙට්ටියක් පෙන්වනවා. එයින් බලාපොරොත්තු වුණේ මොකක්ද..?
ඒකෙන් ඒ කාටවත් අපහාස කිරීමක් සිදුවෙන්නෙ නැහැ. මේක ඇතුළට රටේ ජනප්‍රිය, මිනිස්සු ආදරේ කරන කිහිප දෙනෙකු දාලා තියෙනවා. ඒකෙන් ඒ අයට අපහාස වෙනවා කියලා කාටවත් කියන්න බැහැ. ඒ ගැන නවීන් දිසානායක ඇමැතිතුමා වීඩියෝවට බැණලා තිබුණා. ඒ වගේම අකිල විරාජ් ඇමැතිතුමාත් ඒකට නඩු දානවා කියලා කෝල් කරලා කිව්වා. හැබැයි මම ඊළඟට කරන්නෙ කෙල්ලෙක්ව අරගෙන බිකිනියක් අන්ඳවලා විල්පත්තුව වටේ යවලා ඒකෙන් වීඩියෝ එකක් කරනවා. එතකොට පාර්ලිමේන්තුවේ සියලු දෙනාගෙම ඒ විනාශය ගැන ඇස් ඇරේවි. ඒ අයට ඔය හැමදේටම වඩා මගේ වීඩියෝ එක ලොකු ප්‍රශ්නයක් වෙලා.

ඇත්ත කියන්න.. ඔයා කරන හැම විඩියෝවක්ම ලොකු කතාබහකට, විවේචනයකට ලක්වෙනවා. මෙවැනි දේ කරන්නෙ ජනප්‍රිය වෙන්නද.. සල්ලි හොයන්නද..?
ජනප්‍රිය වෙන්නවත්, සල්ලි හම්බකරන්නවත් මම මේ වගේ වීඩියෝ කරන්නෙ නැහැ. මම ජනප්‍රිය වෙන්නනම් මම ඕනෑ තරම් වීඩියෝ හදලා තියෙනවා. දේශපාලනඥයන් කරන සමහර අසාධාරණකම් වෙනුවෙන් අහිංසක මිනිසුන්ට හඬක් නගන්න විදිහක් නැහැ. ඉතින්.. ඒ වෙනුවෙන් නඟන හඬක් තමයි මේ.

මේ වීඩියෝව හරහා අහිංසක මිනිසුන් වෙනුවෙන් ඉරාජ් නඟන හඬ මොකක්ද..?
මේ වීඩියෝ එක ගැන ගොඩක් අය උඩින් බලලා එක එක අර්ථකථන දෙනවා. හැබැයි මේ වීඩියෝවෙ ලොකු කතාවක් තියෙනවා. ඒ වුණාට ඒක බලලා ගොඩක් අය ඒක ආතල් එකකට ගත්තට යම් යම් පුද්ගලයන්ට කියපු දේවල්, ඉන්ටර්නෙට් එක හරහා බලලා තමයි මම මේක හදලා තියෙන්නෙ. ඕක හරියට බැලුවොත් මොකක්ද කරලා තියෙන්නෙ කියලා හරියටම තේරෙයි.

ඔබ දකින විදිහට ඒ වීඩියෝ එකේ අර්ථය මොකක්ද..?
මේ දවස්වල සමාජයේ කතාබහට ලක්වෙන දේවල්, පොත්පත්වල තිබුණු දේවල් සහ අන්තර්ජාලයේ තිබුණු දේවල් එකතු කරලා මගේ හිතින් මවාගත්ත නිර්මාණයක් තමයි මේ කරලා තියෙන්නෙ.

රටේ ප්‍රසිද්ධ චරිත කිහිපයක් එකතු කරලා මේ නිර්මාණය නොකර හිටියනම් හොඳයි කියලා හිතුණෙ නැද්ද..?
නැහැ. මම කවදාවත් මේ නිර්මාණය තුළින් කාටවත්ම අපහාස කරලා නැහැ. බලන කෙනාට ඕන දෙයක් හිතාගන්න පුළුවන්. අමෙරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් ගැන මොන තරම් දේවල් ඒ රටේ පළ කරනවද..? රටේ නායකයා ගැන පළවුණාට ඒ රටේ අයට එහෙම ප්‍රශ්නයක් නැහැ. මේකත් එක නිර්මාණයක් විතරයි. කාටවත් මඩ ගහන්න හිතලා නැහැ.

Views වැඩි කරගන්න මේ නිර්මාණයෙත් විවිධ උපක්‍රම යොදලා තියෙනවා කියලා සමහරු කියනවා. ඇත්තටම මේක views වැඩි කරගන්න, මුදල් උපයන්න කරපු නිර්මාණයක්ද..?
නැහැ. එහෙම උත්සාහයක් නෙමේ. කොහොමත් මගේ හැම නිර්මාණයකටම views තියෙනවා. මගේ මීටත් වඩා views වැඩිවුණු නිර්මාණ තියෙනවා. මම හැමවෙලේම වෙනස්, කාලීන මාතෘකාවක් අරගෙන මොකක්හරි නිර්මාණයක් කරනවා. අනික මම මේක මාධ්‍යයට දාපු වීඩියෝවක් නෙමේ. YouTube එකට දාපු එකක්. ඉතින්.. ඒක බලන්න කැමති අය ඩේටා වැය කරගෙන තමයි වීඩියෝ එක බලන්න ඕනෙ. ඒ නිසා මේක බල කරලා හැමෝටම පෙන්වන වීඩියෝ එකක් නෙමේ. කැමති අය බලාවි. අකමැති අය කැමති දෙයක් කරාවි. ඒක මට ප්‍රශ්නයක් නෙමේ.

 ඒ වුණාට දේශපාලනඥයන් කිහිප දෙනකුගෙම හිත රිදුණා. එහෙම නේද..?
ඔව්.. ඒකට මට කරන්න දෙයක් නැහැ. මම හැමවෙලේම වෙනස් දෙයක් කරන කෙනෙක්. ඊළඟට මම මේ රටේ දේශපාලනඥයන්ගෙන් මේ රටට වෙන විනාශය ගැන කියවෙන වීඩියෝවකුත් කරන්න බලාපොරොත්තු වෙනවා. පසුගිය දවස්වල රන්ජන් රාමනායක ඇමැතිතුමා කොකේන් ගහන ඇමැතිවරු ගැන කිව්වා. ඒවා ගැන සහ ඔවුන් මේ රටේ අහිංසක මිනිසුන්ගෙ පුංචි ඡන්දයෙන් ඇවිත් මිනිසුන්ට කරන  තාඩන පීඩන ගැන කියවෙන කතාවක් කරන්න ඕනෙ. අපේම බදු ගෙවන සල්ලිවලින් තමයි එයාල ආතල් ගන්නෙ. ඉතින්.. ඔය කට්ටිය කරන වැඩ ගැන පොඩි නිර්මාණයක් ඉදිරියෙදී මම කරලා YouTube එකට දානවා. 


► Text - Dishani  /  Pic -  Internet