2019 මාර්තු 30 වන සෙනසුරාදා

අපි දෙන්නම සෝඩා බෝතල්...

 2019 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 12:31 1893

රයිනි ජීවිතේ කොහොමද?
හොඳයි.. සාමාන්‍ය විදිහට කාර්යබහුලයි. අලුත් දෙයක් එහෙම ලොකු දෙයක් නැහැ. අපි දෙන්නා විවාහ වෙලා මේ අවුරුද්දේ ජනවාරි මාසෙට අවුරුදු හතරක් වෙනවා. ඉතින් සමහරුනම් කියනවනේ පළවෙනි අවුරුද්ද... අවුරුදු දෙක විතරයි ඔය සතුට තියෙන්නේ කියලා. මටනම් තාම එහෙම්මම තමයි. අපි දෙන්නා ගොඩක් සාමාන්‍යයයි. ඒ නිසා ජීවත් වෙන්න ලොකු අමාරුවක් නැහැ වැඩ ටික අකිල කළමනාකරණය කරන නිසා. ඒ නිසා අපි දෙන්නා සතුටින් අපේ වැඩ ටික කරගෙන ඉන්නවා.

අකිල කියන්නේ මොනවගේ චරිතයක්ද?
අකිල කියන්නේ සීරියස් චරිතයක්. ජෝක් කරන වෙලාවට එයා විහිළු තහළු කරනවා. හැබැයි එයා ජීවිතේ ගැන ගොඩක් සීරියස් විදිහට බලන කෙනෙක්. ඇත්ත කියන කෙනෙක්. බටර් ගාන්න කියලා හිතාගෙන එයා කවදාවත් බොරු කියන්නේ නැහැ. එයා හරි කරුණාවන්තයි. විශේෂයෙන් පිට අයට එයා හරි කරුණාවන්තයි. අද රටේ ඉන්න බොහෝ අය පිට අයට කරුණාවන්ත නැහැනේ. හැබැයි අකිල කියන්නේ එහෙම කෙනෙක් නෙවෙයි. හැබැයි මොන දෙයක් කළත් එයා ඒකෙන් මොකක්හරි ඇදයක් හොයනවම තමයි. එයාගේ කියන්න කිසිම වැරැද්දක් නැහැ.

අකිලට ආදරේ කරන්න තරම් එයාව විවාහ කරගන්න තරම් ඔහු ළඟ තිබුණ සුවිශේෂීකම මොකද්ද?
ආදරය කරන්නත් කලින්ම අපේ හිතේ ඇතිවෙන්නේ කෙනෙක් ගැන කැමැත්තක්නේ. ඉස්සර ඉඳන්ම මම බොහෝම සාමාන්‍ය කෙනෙක්. පෙනුමට වඩා මම හැමවෙලේම හිතන්නේ කෙනෙක්ගේ චරිතයයි. ලස්සන අය මට ඕනතරම් මුණගැහිලා තියෙනවා. ඒ වුණාට ඒ කාටවත් මම එහෙම කැමති වුණේ නැහැ. මම හරි ආස වුණා විහිළු තහළු කරලා ඉන්න කෙනෙක්ට. අකිල කියන්නේ ඒ වගේ කෙනෙක්. ලොකු දේවල් හිතට ගන්නේ නැතිව ඉන්න අකිලට මම මුලින් කැමති වුණේ. ඊටපස්සේ ඒ චරිතයට කැමති වුණාට පස්සේ එයාගේ අනිත් හැම ගතිගුණයකටම මම කැමති වුණා. ඊට පස්සේ ඒ චරිතයේ ලස්සනත් එක්ක මම එයාට ආදරේ කරන්න පටන්ගත්තා. අවසානයේදී ඒ ආදරය විවාහයක් වෙලා තවත් ඒ ආදරේ වැඩි වුණා.

අකිලට කේන්ති යනවද?
අම්මෝ ඔව්.. හැමවෙලේම කේන්තියෙන් තමයි ඉන්නේ. (එහෙම කියලා රයිනි අකිල දිහා බැලුවා. හැබැයි ඉතින් අකිලගේ හිනාවෙනුයි, රයිනිගෙ හිනාවෙනුයි තේරුණේ අකිල එහෙම කුකුල් කේන්තිකාරයෙක් නෙමෙයි කියලා) හැබැයි ඉතින් අකිල කියන්නේ සෝඩා බෝතලයක් තමයි. කේන්ති ගිහින් ඊළඟ ප්‍රශ්නේ අහද්දි ඒ හැමදේම එයාට අමතකයි. සමහර වෙලාවට අකිලට කේන්ති ගියාද නැද්ද කියලවත් හිතාගන්න බැහැ.

අකිලගේ විලාසිතා ගැන රයිනි මොකද හිතන්නේ?
අකිල ලස්සනට අඳින්න පලඳින්න හරි ආසයි. කොහේ ගියත් එයා සූදානම් වෙලයි යන්නේ. අපේ අම්මලගේ මත්තෙගොඩ ගෙදරට යද්දි මම ඔය ෂෝටක් ඇඳගෙන, සෙරප්පු දෙකක් දාගෙන ගියත් අකිල ෂෝට් එකයි, ටී ෂර්ට් එකයි ඇඳලා කොණ්ඩේ හොඳට හදාගෙන තමයි එහෙට වුණත් යන්නේ. අකිලට ඇඳුම් තෝරන්නත් වෙලා යනවා. ඇඳුම ඇඳලා බලලා එහාට හැරිලා මෙහාට හැරිලා හැඩ බලලා හිතට සතුටුනම් විතරයි එයා ඒ ඇඳුම ගන්නේ. අපි සාමාන්‍යයෙන් ඇඳුමක් අරගෙන ගෙදර ඇවිත්නේ ඇඳලා බලන්නේ. හැබැයි අකිල එහෙම නෑ. එයා කලින්ම බලලා තමයි ඇඳුම ගෙදරට ගේන්නේ.

අකිල මොනවටද වැඩිපුරම ආස?
එයා කේක් කන්න තමයි වැඩිපුරම කැමති. ලොකු කේක් එකක් තනියම දවස් තුනකින් විතර එයා කාලා දාවි. එයා ගෙදර ඉන්නනම් හරි කැමතියි. නිදාගන්න එයා ආසයි. ඒ වගේම මියුසික් සම්බන්ධ දේවල් බලන්න, අහන්න අකිල හරි කැමතියි. මට ෂෝ එකක් ආවොත් එයා නැතිව මට ඒකට යන්න සිද්ධ වෙනවානම් යන විදිහ ගැන අකිල මාර විදිහට හිතනවා. එයා වැඩ ප්ලෑන් කරන්න හරි ආසයි.

අකිල බුද්ධාගමේ. රයිනි ආගමේ. මතකද මුලින්ම අකිලත් එක්ක පන්සල් ගිලය ගමන?
හොඳට මතකයි. එතකොට අපි විවාහ වෙලා හිටියේ නැහැ. අපි යාළුවෙලා මම පළවෙනි පාරට ලංකාවට ආපු කාලෙදි අකිල මාවත් එක්කගෙන පන්සල් ගියා. ඒ වෙනකොට මම පන්සල් ගිහින් තියෙනවා. හැබැයි පන්සලේදී කරන දේවල් එහෙම ලොකුවට කරලා තිබුණේ නැහැ. ඉතින් අකිල මට හඳුන්කූරු වගයක් පත්තු කරන්න දුන්නා. මම ඒවා නහයට තියලා සුවඳ බැලුවා. ඔන්න අකිල ඕවාවල සුවඳ බලන්න හොඳ නැහැ කියලා මට කෑගැහුවා. මල් ටිකක් අතට දුන්නමත් මම ඒකේ සුවඳ බැලුවා. ඔන්න ඒකත් මට කරන්න එපා කිව්වා. ඔන්න ඔහොම තමයි මම අකිලත් එක්ක මුලින්ම පන්සල් ගියේ.

අකිල රයිනිට දීපු මුල්ම තෑග්ග මතකද?
ඔව්.. ඔව්... මතකයි. අකිල මට දම් පාට මාල වගයකුයි, කරාබු දෙකකුයි තෑගි කළා. අපි දෙන්නා අමෙරිකාවේ හිටියට ලංකාවට ප්‍රසංග කිහිපයකට ආවා. එතැනදී තමයි අපි දෙන්නා යාළු වුණේ. ඒ වෙලාවෙදී අකිලට තෑග්ගක් ගන්න සිද්ධ වුණේ ලංකාවෙන්. ඉතින් එයා මට දම්පාට මාල, කරාබු සෙට් එකක් තෑගි කළා. ඒක දුන්නමනම් මම සතුටින් බාරගත්තා. හැබැයි මම කැමති වුණේ නැහැ. දැන් ඒ තෑග්ගත් මගේ ළඟ නැහැ.

අකිල වගේ කෙනෙක් ජීවිතයට මුණගැහිලා මේ ගෙවන ජීවිතේ ගැන මොකද හිතෙන්නේ?
අකිල එක්ක මේ ගතකරන ජීවිතේ හරිම සතුටුයි. මානසික වශයෙන් මගේ හිත නිදහස්. අකිල සමහර වෙලාවට කාර්යබහුලයි. සමහර වෙලාවට මම කාර්යබහුලයි. අපි අතරේ හොඳ විශ්වාසයක් තියෙනවා. මම සුවිශේෂී කෙනෙක් නෙමෙයි. එයත් එහෙමයි. අපි බොහෝම සාමාන්‍ය මිනිස්සු. අපි දෙන්නා ආදරේ කරන්න කලින් අපි යාළුවොනේ. ඒ නිසා එයා දන්නවා මම කොහොමද හිටියේ කියලා. මමත් ඒක දන්නවා. ඊටත් කලින් පිට කෙනෙක් හැටියට මම එයාට ප්‍රතිචාර දක්වපු විදිහ එයා දන්නවා. ඒ කාලෙදි එයා මම දිහා බැලුවෙත් නැහැ. මම එයා දිහා බැලුවෙත් නැහැ. ඒ නිසා අපි දෙන්නා අපිව හොඳට දන්නවා. ඒ නිසා මේ යන ගමන ලේසියි.
රයිනි අකිල ගැන ඔහොම විස්තර කියද්දි අකිලගෙනුත් රයිනි ගැන ටිකක් අහන්න හිතුණා.

රයිනිට ආදරය කරන්න, විවාහ කරගන්න එයාගේ තිබුණු විශේෂත්වය මොකද්ද?
අපි ආදරය කරන්නත් කලින් මම රයිනිව දන්නවනේ. මේක ගෑනු ළමයෙක්ට දැකලා මෙයාව මම කොහොමහරි යාළුකරගන්නවා කියලා හිතට ඇතිවුණ සිතුවිල්ලක් නෙමෙයි. ටික කාලයක් තිස්සේ අපි දැනගෙන ඊට පස්සේ යාළුවෝ විදිහට කතාබහ කරලා ඇතිවුණ ආදරයක්. හිතේ තිබුණු නැති විදිහට තමයි අපි යාළු වුණේ. මම රයිනි එක්ක යාළුවෙද්දි රයිනි මම ගැනත් මම රයිනි ගැනත් හොඳට දැනගෙන තමයි හිටියේ. එයා තුළ මම ආස කරන හුඟක් ගතිගුණ තිබුණා. රයිනි හරි අවංකයි.

රයිනිට අකිල දම්පාට කරාබු දුන්නා කියලා එයාට හොඳට මතකයි. අකිලට රයින් මුලින්ම දුන්නේ මොනවද?
අනේ.... ඒකනම් මට මතක නෑ. හැබැයි රයිනි මට සෑහෙන්න තෑගි බෝග දීලා තියෙනවා. මමනම් මේ අවුරුදු ගාණටම රයිනිට තෑගි දහයක් දොළහක් විතර දීලා ඇත්තේ.

රයිනිට කේන්ති යනවද?
ඔව්. කේන්ති යනවා. හැබැයි ඒක සෝඩ බෝතලයක් (දැන් බලද්දි දෙන්නම සෝඩ බෝතල් වගේ නේද?)

රයිනි හදන කිරි හොද්දට අකිල ඔච්චර කැමති මොකද?
ආ...... ඒක මේ එක සිද්ධියක් නිසා. (එහෙම කිව්වම රයිනි තමයි කිරිහොද්දේ විස්තරය කිව්වේ)
මම මුලින්ම හදපු කිරි හොද්ද කාගෙන්වත් අහන්නෙ නැතුව මමම තමයි හිතලා හැදුවේ. ඔන්න ඉතින් කිරි හොද්දත් හරි. අපි දෙන්නා කන්න පටන්ගත්තා. මම අකිලගේ මූණ දිහා හොඳට බලාගෙනත් හිටියා. මට මතක හැටියට අපි එදා කිරි හොඳියි ඉඳි ආප්පයි තමයි කෑවේ. ඉතින් අකිල ඉඳි ආප්පයක් කිරි හොඳි එක්ක අනාගෙන පළවෙනි කට කෑවා. මූණ ෂේප්. දෙවැනි කටත් කෑවා. නළල ටිකක් රැලි ගැහුණා. තුන්වෙනි කටත් කාලා.. බබී අපි වෙන මොනවාහරි හදාගෙන කමුද? කියලා මගෙන් හෙමීට ඇහුවා. ඒකෙන් තමයි මට මගේ කිරිහොද්දෙ රහ තේරුණේ.

දැන් රයිනිට උයන්න පුළුවන්ද?
ඔව්. දැන් මට පුළුවන්. සමහර අලුත් කෑම බීම මම ඉන්ටර්නෙට් එක බලලා හදනවා. ඉස්සර අපි පොඩි කාලේ සමහරදාට තාත්ති කුස්සියට ගිහින් එක එක කෑම හදනවා. හැබැයි ඒ වෙලාවට තාත්ති අපිවත් ළඟට ගෙන්නගන්නවා. ඔය රොටී හදද්දි රොටී බෝල කරන්නේ අපි. මට තාම මතකයි ඉස්සර මගේ රොටී ටික හදාගන්නේ මමමයි. ඔන්න ඉතින් චූටි චූටි රොටී තුනක් හතරක් මට තියෙනවා. දැන්නම් මට කෑම හදන්න පුළුවන්.

අකිල, රයිනි එක්ක ගෙවන මේ ජීවිතේ ගැන මොකද හිතෙන්නේ?
හොඳයි.. සන්තෝසයි. මම හිතනවා මම ජීවිතේ හරි තීරණයක් ගත්තා කියලා. ඇත්තටම රයිනි එක්ක මම සතුටින් ජීවත් වෙනවා.

 

► Text - Dishani / Pic – Sumudu