2019 පෙබරවාරි 09 වන සෙනසුරාදා

ඇත්ත දන්න අපි බඩ අල්ලගෙන හිනාවුණා

 2019 පෙබරවාරි 09 වන සෙනසුරාදා, ප.ව. 12:31 265

ගයාන් නර්තන කණ්ඩායම පිළිබඳව යමක් කියමුද?
මගේ නර්තන කණ්ඩායම Gayan Srimal Dancing Studio කියලා තමයි හඳුන්වන්නේ. නර්තන කණ්ඩායම ලංකාවේ ප්‍රසිද්ධ නර්තන කණ්ඩායම් අතරින් එකක් ලෙස අද බොහෝ දෙනා පිළිගන්නවා. මෙම නැටුම් කණ්ඩායමේ විවිධ නර්තන අංගයන් ඉගෙනගත්තු ලංකාවේ ප්‍රසිද්ධ නර්තන ශිල්පීන්ගෙන් යම් තරමකට ඉගෙනගත්තු ළමයින් පිරිසක් තමයි ඉන්නේ. ඔවුන් මෙම කණ්ඩායමට එකතු වෙද්දි එක්තරා සම්ප්‍රදායක් පමණයි ඉගෙනගෙන තිබුණේ. සමහරු උඩරට නැටුම් සම්ප්‍රදාය ඉගෙනගෙන තිබුණා. තවත් සමහරු ලතින් නැටුම් සම්ප්‍රදාය ඉගෙනගෙන තිබුණා. ඊට පස්සේ අද වෙද්දී මේ හැම නර්තන ශිල්පිනියකටම ශිල්පියෙකුටම වෙනත්ම නර්තන ක්‍රමයකට මම ප්‍රගුණ කළා. මෙම නර්තන කණ්ඩායමේ විවිධත්වයක් තියෙනවා.

නර්තන කණ්ඩායමේ කීදෙනෙක් ඉන්නවද?
මගේ ප්‍රධාන නර්තන කණ්ඩායමේ පිරිමි ළමයින් හයයි ගැහැනු ළමයින් අටදෙනෙක් ඉන්නවා. ඊට අමතරව ප්‍රසංගයකදී තවත් කිහිපදෙනෙක් එකතු කරගන්නවා. ඒ හැමදෙනාටම මම මගේ කලාව උගන්වනවා. නියමිත ප්‍රමිතියක් ඇතිව, නියමිත ක්‍රමයට අත්, පා, ඇඟිලි, ඇස් හැසිරවීම් කරවනවා. මගේ නර්තන කණ්ඩායමේ අවිස්සාවේල්ල, නුවර, හෝමාගම, කොළඹ වගේ බොහෝ පැතිවල ඉඳන් ආපු ළමයි ඉගෙන ගන්නවා.

සමහරු නර්තන කණ්ඩායමක ඉන්නා ගැහැනු ළමයින්, පිරිමි ළමයින් දිහා බලන්නේ වෙනස් විදිහටනේ. විශේෂයෙන් සම්ප්‍රදායීක නැටුම් කලාවට වඩා වෙනස් නැටුම් කලාව හදාරන ළමයින් දිහා. ගයාන් ඒ ගැන මොකද හිතන්නේ?
මෙහෙමයි.. මම මගේ නර්තන කණ්ඩායමට එන ළමයින්ට මුලින්ම කියන්නේ ලජ්ජාව මුලින්ම නැතිකරගන්න කියලා. හැබැයි ඒ දේ වැරදියට හිතන්න එපා. අපි යම්කිසි දෙයක් කරද්දී මුලින්ම අපේ හිත පාලනය කරගන්න ඕනේ. නර්තනය කියන්නේ ගෞරවාන්විත දෙයක්. එයට ගෞරව කළ යුතුමයි. නර්තනයකදී පිරිමි ළමයාගේ ඇඟේ දැවටිලා ගැහැනු ළමයෙක්ට නර්තනයක් කරන්න තියෙනවානම් ලජ්ජාව නිසා ඒක නොකර සිටියොත් ඒ හැඟීම ඇත්තටම එන්නේ නැහැ. දෙන්නා තුළ ඒ හැඟීම දැනෙන්නේ නැත්නම් ඒක ප්‍රේක්ෂකයන්ට දැනෙන්නේ කොහොමද? ඒ නිසා සමහර අපේ නර්තනයට, අපි අඳින ඇඳුමට බනීවි. නමුත් නිර්මාණය සාර්ථක වෙන්නනම් ඒ හැඟීම් සාර්ථකව නර්තනයට ලබාදිය යුතුමයි. ජීවිතේ ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නැහැ. ඒ ගැන අපේ නර්තන ශිල්පී ශිල්පිනියන් දන්නවා. ඒ සහෝදරත්වය වැරදියට දකින අය ගැන කරන්න දෙයක් නැහැ. නර්තන කණ්ඩායමේ විනීත බව ගැන අපි හැමවිටම හිතනවා. ප්‍රවීණ නර්තන ගුරුවරයෙක් වුණ චන්න විජේවර්ධන ගුරුතුමා යටතේ මගේ නර්තන කණ්ඩායමට Work shop තියලා ඔවුන්ට ගුරුහරුකම් ලබලා දුන්නා. එතුමා අපේ නර්තන කණ්ඩායමට හරි ආදරෙයි.

ගයාන් ළඟදීම වෙනස් විදිහේ වැඩකට අත ගහන්න යනවා කියලයි ආරංචිය?
ඔව්. අපි ලංකාවේ දැවැන්ත ප්‍රසංගවලට නර්තනයෙන් සහයෝගයක් දුන්නා. මේ කාලේ තිබුණු බොහෝ ප්‍රසංගවලට අපි තමයි සහභාගී වුණේ. ඒ නර්තනයන් බොහෝදෙනා අගය කළා. නමුත් අපේම කියලා ප්‍රසංගයක් අපි තාම කරලා නෑ. ඉතින් මගේ ජීවිතේ මගේ ළඟින්ම ඉන්නා මගේ යහළු යෙහෙළියන් බොහෝ දෙනෙක් ප්‍රසංගයක් තියන්න කියලා බොහෝ ඉල්ලීම් කළා. ඉතින් මේ වසරේදී අපේ ඒ ප්‍රසංගය පවත්වන්න අපි තීරණය කළා. ඒ ප්‍රසංගයේදී අපේ නර්තන කණ්ඩායමත් එක්ක මේ රටේ ඉන්න ප්‍රවීණ ජනප්‍රිය කලාකරුවන් කලාකාරිනියකන් කිහිපදෙනකුගේම සහභාගීත්වයක් දකින්න ලැබේවි. ඒ හැම නර්තනයක්ම එකිනෙකට වෙනස් වෙනවා. මම ඒකට නම් තියලා තිබෙන්නේ කාල වර්ණ කියලයි. ළඟදිම දවසක ඒ දිනය කියන්නම්.

ගයාන් නර්තන පාසලක් පවත්වන්න අදහසක් නැද්ද?
නැහැ. තවමනම් නැහැ. සමහරු මට නර්තන පන්ති කරන්න කියලා ඉල්ලීම් කළා. ඒත්..... මම නර්තනයන්ට හරියට කැපවෙන කෙනෙක්. ඒ කාර්යබහුලත්වයත් එක්ක පන්ති ආරම්භ කරල. ඒ කැපවීම් මට එතනට ලබාදෙන්න බැරි වුණොත් මම කරන්නේ ලොකු අසාධාරණයක්. ඒ නිසා මම පන්ති පවත්වන්නේ නැහැ. අපේ නර්තන කණ්ඩායම වුණත් දිනපතා පුහුණුවීම් කරන්නේ නැහැ. සතියකට සාමාන්‍ය පුහුණුවීම් අපි කරනවා. ඒ හැර ප්‍රසංගයක්, උත්සවයක් තියෙන කාලවලදී වැඩිපුර පුහුණුවීම් කටයුතු අපි කරනවා. අපේ ප්‍රසංගයේදී වුණත් අපි මාස කිහිපයක්ම හොඳට පුහුණු වෙලා ටිකක් වෙනස් විදිහේ මගේ හිතේ තිබුණු හීනවලට, මට කරගන්න බැරිවුණ දේවල්වලට පණ පොවන්න මම බලාගෙන ඉන්නවා.

නර්තනයන් කරද්දී අමතක නොවන සිදුවීම් එහෙම වෙලා නැද්ද?
අනන්තවත් වෙලා තියෙනවා. මට මතකයි ලංකාවේ තිබුණු ලොකුම ප්‍රසංගයකදී අපේ නර්තන කණ්ඩායමට සිදුවෙච්චි අකරතැබ්බයක්. ඕනෑම ප්‍රසංගයකදී අපි නර්තනය ඉදිරිපත් කරන්න කලින් ඒ නර්තනයේ ගීතය ගැන හොයලා බලනවා. කොහොමහරි නර්තන කණ්ඩායම වේදිකාවේ ඉඳිද්දි එකපාරට වෙනස් හින්දි ගීතයක් වාදනය වුණා. ගීතය මාරු කරන්නත් බැහැ. වේදිකාවේ හිටපු නර්තන කණ්ඩායම මුහුණට මූණ බලලා ඒ සින්දුවට හරි අපූරුවට නැටුවා හිතාගන්නවත් බැරි විදිහට. සින්දුව ඉවරවෙලා ප්‍රේක්ෂකාගාරයෙන් එකදිගට හොඳ අත්පොලසන් නාදයකුත් ආවා. වේදිකාව පිටිපස්සේ හිටපු ඇත්ත දන්න අපි බඩ අල්ලන් හිනා වුණා.

 

►Text - Dishani  /   Pic -  Sumudu