2019 පෙබරවාරි 09 වන සෙනසුරාදා

අපි දෙන්නම හොඳ ඌරෝ...

 2019 පෙබරවාරි 09 වන සෙනසුරාදා, ප.ව. 12:31 239

කනිෂ්ක.. මතකද දෙනුවන් මුලින්ම මුණගැහුණු කාලය...?
ඔව්.. මට මතක හැටියට දෙනුවන් අයියව මට මුලින්ම මුණගැහුණේ මගේ වයස අවුරුදු දාහතරක විතර කාලයේදී. එක්තරා නාළිකාවක තිබුණු වැඩසටහනකදී දෙනුවන් අයියව මට මුණගැහුණා. එතකොට දෙනුවන් අයියා ඒ ආයතනයේ වේෂ නිරූපණ ශිල්පියෙක් විදිහට තමයි වැඩ කළේ. ඊට පස්සෙ ආයෙමත් මට දෙනුවන් අයියව මුණගැහුණේ දෙවැනි ඉනිම ටෙලිනාට්‍යයෙන් තමයි.

මේ ටෙලිනාට්‍යයෙදී චබීට මයික්ගෙන් ලැබුණු සහයෝගය කොහොමද..?
ඇත්තටම ඒ සහයෝගය ගැන කියන්නම ඕනෙ. ඒ ටෙලිනාට්‍යයෙදී මට වැඩිපුරම රඟපාන්න තියෙන්නෙ දෙනුවන් අයියා එක්කනෙ. ඒ වගේම රංගනයට වුණත් මම අලුත්. ඉතින්.. නොදන්නා බොහෝ දේවල් මම අහගත්තෙ දෙනුවන් අයියගෙන් තමයි සමහර දවස්වලට එකම කොටස මගේ අතින් වැරදිලා දෙපාරක් තුන්පාරක් ගන්න සිද්ධවෙන වෙලාවල් තිබුණා. ඒ හැම වතාවකම දෙනුවන් අයියා අපි ආයෙත් කරමු. අවුලක් නැහැ කියලා කියනවා. මට පුදුම සපෝර්ට් එකක් දෙනුවන් අයියගෙන් ලැබෙන්නෙ.

ඇත්තටම ඔහු මොනවගේ යාළුවෙක්ද..?
ඒ ටෙලිනාට්‍යයෙදී දෙනුවන් අයියා මගේ යාළුවෙක් විදිහටනෙ රඟපාන්නෙ. හැබැයි ඇත්තටම දෙනුවන් අයියා කියන්නෙ මට මගේම සහෝදරයෙක් වගෙයි. ඇත්තටම එයා මට සහෝදරයෙක්. ටෙලිනාට්‍යයෙදී කට්ටිය දකින මයික් නෙමේ, සැබෑ ජීවිතේදී ඉන්නෙ. ටෙලිනාට්‍යයේදී මයික් කියන්නෙ හරිම සෙල්ලක්කාර චරිතයක්. හැබැයි සැබෑ ජීවිතයෙදී එයා ඒ වගේ නෙමෙයි. ෂූටින් කරන අතරමඟදී ලැබෙන පොඩි විවේක කාලයෙදීත් අපි දෙන්නා කතාබහ කර කර ඉන්නවා. මම මේ ක්ෂේත්‍රයට අලුත්නෙ. ඉතින්.. ක්ෂේත්‍රය ගැන, ඉන්න ඕන විදිහ ගැන, නිර්මාණයෙදී කළ යුතු දේවල් ගැන අපි කතාබහ කරනවා. එයා දන්න දේවල් මට කියලා දෙනවා.

චබී සහ මයික් ලංකාවේ වගේම පිටරට රසික රසිකාවියන් අතරෙත් හරි ජනප්‍රියයි වගේ. දෙන්නා එකතුවෙලා ප්‍රසංගවලටත් සහභාගි වෙනවා කියලයි ආරංචිය..?
ඔව්.. මේ ටෙලිනාට්‍ය නිසා අපිට විදෙස් සංචාර කිහිපයකටම ආරාධනා ලැබුණා. ඒවා හරිම සුන්දරයි. ගොඩක් වෙලාවට දෙනුවන් අයියා ඉන්නෙම මාත් එක්කමයි. අපි දෙන්නා ස්ටේජ් එකේ එකට සින්දු දෙකක් ගායනා කරනවා. ඒ බැන්ජෝ රබන් සහ සුවඳ සබන් ඇඟ ගාලා. ඉතින් ඒ දෙකට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. දෙනුවන් අයියා ස්ටේජ් එකට නැඟලා සින්දු කියද්දී හැමෝම සතුටින් නටනවා. ඇත්තටම දෙනුවන් අයියට හරි ලස්සනට සින්දු කියන්න පුළුවන්.

එහෙම ගිය වෙලාවක අමතක නොවන සිදුවීම් එහෙමත් වෙලා ඇති නේද..?
ඔව්.. ඔව්.. එහෙම අමතක නොවුණු සිදුවීම්නම් වෙලා තියෙනවා. දෙනුවන් අයියා නිදාගත්තට පස්සෙ අම්බානෙකට ගොරවනවා. මට මතකයි අපි ප්‍රසංගයකට ගිය වෙලාවක දෙන්නම හිටියෙ එකම කාමරේ. මගේ ඇස් පියවීගෙන එද්දී මෙන්න බොලේ එකපාරටම ලී ඉරනවා වගේ මහ හයියෙන් කන ගාවින් ගොරවනවා. හැබැයි එයා හොඳටම නිදි. මම සමහර වෙලාවට ඇඳේ වාඩිවෙලත් ඉන්නවා. ටික වෙලාවකින් සද්ද නැහැ. ආයේ මම නිදාගන්න හදද්දී ආයෙත් මහ හයියෙන් ලී ඉරනවා. ඒ ගිය ගමනෙදී මම මුළු රැයවල් ටිකම ඇහැරිලා තමයි හිටියෙ. හැබැයි ඒ ගමනෙදී මටත් එක්කම හරිම සැපට දෙනුවන් අයියා නිදාගත්තා. ඒ ගෙරවිල්ලනම් කවදාවත් අමතක වෙන්නෙ නැහැ. අපි දෙන්නා එකම ස්ටේජ් එකේ එකට ගීත ගායනා කරද්දී පුදුම ෆන් එකක් ගන්නෙ. ඒකත් අපි අමතක කරන්නෙ නැහැ. 

දෙනුවන්ගේ විලාසිතා ගැන කනිෂ්කට මොකද හිතෙන්නෙ..?
දෙනුවන් අයියා කරන්නෙ එයාටම ආවේණික විලාසිතා. ඒක එයාට ඇත්තටම ගැලපෙනවා. ඒ ගැලපීම නිසා තමයි මේ තරම් මිනිස්සු පිරිසක් දෙනුවන් අයියට කැමති. මොන දේ වුණත් එයා එයාගේ විලාසිතා වෙනස් කරන්නෙ නැහැ. එයා විලාසිතා හරියටම ගලපනවා. ඒ ගැලපීම හරිම සාර්ථකයි.

එයාට කේන්ති යනවද..?
ටිකක් කේන්ති යනවා. හැබැයි දෙනුවන් කියලා කියන්නෙ මයික් නෙමේ. සැබෑ ජීවිතේ එයා වෙනස්ම කෙනෙක්. නමුත් එයාගේ ළඟින්ම ආශ්‍රය කරන අය තමයි එයා ගැන හොඳටම දන්නෙ. දෙනුවන් කියන්නෙ හරිම ආදරණීය සහෝදරයෙක්.

කෑම බීමවලදී දෙනුවන් වැඩිපුරම ආස මොනවටද..?
දෙනුවන් අයියා පළතුරැනම් කොහොමත් කනවා. ඒ වගේම ෂූටින් වෙලාවලදී, පිටරට ගියාම එහෙම අපි කන ඕනෑම කෑමක් දෙනුවන් අයියා කනවා. හැබැයි පිටි ජාතිනම් කනවා අඩුයි. හැබැයි දැන්නම් දෙනුවන් අයියයි මමයි ඌරුමස් කන්න අම්බානෙකට ආසයි. දැන් අපි දෙන්නම හොඳ ඌරෝ. ඉතින් අපි දෙන්නව දැක්කම ඌරෝ දුවනවා.

දෙනුවන් රංගනයට වගේම නිවේදනයටත් යොමුවෙලා තියෙනවා. ඔබ ඒ ගැන මොකද හිතන්නෙ..?
මට හිතෙන විදිහට එයා නිවේදන කලාවේ වෙනස් ඇති කළා. ප්‍රාසාංගික නිවේදනයට එයා හරි කැමතියි. හැමෝම වේදිකාවට නැඟලා සාම්ප්‍රදායික විදිහට නිවේදනය කරද්දී දෙනුවන් අයියා ඒ රටාව වෙනස් කළා. එයා හරිම විනෝදයෙන් ප්‍රාසාංගිකව නිවේදනය කරන්න පටන් ගත්තා. නිවේදන කලාව වෙනත් පැත්තකට අරගෙන යන්න දෙනුවන් අයියට පුළුවන් වෙලා තියෙනවා. ඒ හරහා බොහෝ දෙනෙක් දෙනුවන් අයියා වටා එකතු වුණා.

ටෙලිනාට්‍යයේ රූපගත කිරීම් කරද්දී එයා වැඩිපුරම මොකද කරන්නෙ...?
හැමතිස්සෙම විහිළු කර කර කෙල්ලෝ බයිට් කරන්නෙ නැහැ. දෙනුවන් අයියා එයාගේ චූටි දුවට හරි ආදරෙයි. එයාගේ ලෝකෙ තමයි චූටි දුව. ඉතින්.. ගෙදරට කෝල් කරලා දූ ගැන අහනවා. වයිෆ් එක්ක කතා කළාම වයිෆ් දුව කරන දේවල් වීඩියෝ කරලා දෙනුවන් අයියට එවනවා. එයා අපිට ඒවා පෙන්නනවා. එහෙම නැතිව මයික් වගේ ගැහැනු ළමයි එක්ක විහිළු කර කර බයිට් කරන්නෙනම් නැහැ. හැබැයි අපි හැමෝම හරිම සහයෝගයෙන් වැඩ කරගෙන යනවා.

දෙනුවන් වගේ යාළුවෙක් ජීවිතයට ළංවීම ගැන ඔබ මොකද හිතන්නෙ..?
ඇත්තටම දෙනුවන් අයියා කියන්නෙ මට මගේම සහෝදරයෙක්. මට හැමදේම කියලා දෙන, මට බණින, මට කෑගහන සහෝදරයෙක්. මම හිතන්නෙ සහෝදරයෙක් කියන්නෙ ඒ වගේ කෙනෙක්ටයි.

ඔන්න ඉතින් එහෙම තමයි කනිෂ්කට දෙනුවන්ව මුණගැහිලා තියෙන්නෙ. ඒ වගේම දෙනුවන් ගැන කනිෂ්ක කිව්වෙ ඒ විදිහට තමයි. දැන් අපි බලමුද කනිෂ්ක ගැන දෙනුවන් කියන්නෙ මොනවද කියලා..

දෙනුවන්.. කනිෂ්කව මුලින්ම මුණගැහුණු කාලය මතකද..?
ඔව්.. මට කනිෂ්කව මුණගැහුණේ මම වැඩ කරපු ටීවී චැනල් එකේදී. එතකොට කනිෂ්කගේ අක්කත් ඒ වැඩසටහනට සහභාගි වුණා. එයාගේ තනියට කනිෂ්ක තමයි ඇවිත් හිටියෙ. එතකොට කනිෂ්ක ටිකක් පොඩියි. ඉතින්.. ඊට පස්සෙ තමයි අපි දෙවැනි ඉනිම ටෙලිනාට්‍ය හරහා ආයෙත් මුණගැහුණේ.

කනිෂ්ක කියන්නෙ මොනවගේ චරිතයක්ද..?
කනිෂ්ක කියන්නෙ හරිම ආදරණීය යාළුවෙක්. ඇත්තටම කනිෂ්ක යාළුවෙක් කියලා කියනවාට වඩා හරිම ආදරණීය සහෝදරයෙක්. එහෙම ආදරණීය සහෝදරයෝ ජීවිතේ මුණගැහෙන්නෙ හරිම අඩුවෙන්. ඒ අතරින් මට මුණගැහුණු එහෙම කෙනෙක් තමයි කනිෂ්ක කියන්නෙ. කනිෂ්ක පවුලේ බාල පුතා. දැනටත් අම්මගෙයි, තාත්තගෙයි හුරතලා. තාමත් අම්මා සැරෙන් සැරේ කෝල් කරලා මිනිහා ගැන අහනවා. ඉතින් එයා හරිම ආදරණීය පුද්ගලයෙක්. යාළුකම වෙනුවෙන් ඕනෑම දෙයක් කරන කෙනෙක්. මට හමුවුණු හොඳම සහෝදරයෙක්.

රූපගත කිරීම්වලදී චබීගෙන් මයික්ට ලැබෙන සහයෝගය කොහොමද..?
ලොකු සපෝර්ට් එකක් තියෙනවා. මම කනිෂ්කගෙන් රංගන ශිල්පියෙක් විදිහට දැකපු සුවිශේෂීතාවක් තියෙනවා. රූපගත කිරීම් කරද්දී කනිෂ්කට කොයි මොහොතකවත් වැරදුණේ නැහැ. නළුවෙක් විදිහට කනිෂ්ක ඇත්තටම දක්ෂයි. කරන දේ ඕනෑකමින් කනිෂ්ක කරනවා. මම හිතන විදිහට මයික් කියන චරිතය යම් සාර්ථකවීමක් වුණානම්, ඒ චරිතය මිනිසුන් අතරේ ඉන්නවානම් ඒකට චබී ලොකු හේතුවක් වුණා.

එයාට ගීත ගැයීමේ හැකියාවකුත් තියෙනවා. දෙනුවන්ට ඒ හැකියාව ගැන මොකද හිතෙන්නෙ...?
ඇත්ත. මට සංගීතය පිළිබඳව ලොකු දැනුමක් නැහැ. හැබැයි මගේ කනට ඇහෙන විදිහට කනිෂ්ක හරි අපූරුවට ගීත ගායනා කරනවා. ඔහු රියැලිටි වැඩසටහනකින් ආපු දක්ෂ ගායකයෙක්. කොයි වෙලේත් කනිෂ්ක සින්දු කියනවා. සින්දුවලින් එහා එයාට ජීවිතයක් නැහැ.

කනිෂ්කයි ඔබයි සංචාරය කරන්නෙත් එකටමයි කියලයි ආරංචිය..?
ඔව්.. අපි ප්‍රසංග කිහිපයකටම සහභාගි වුණා. ගිය සතියෙත් අපි නුවර ගියා. ඔය ගිය වෙලාවලට අමතක වෙන්නෙ නැති දේවලුත් වෙලා තියෙනවා. එක පාරක් ප්‍රංශයේ ගිය වෙලාවක කනිෂ්කට නිදාගන්න මම හොඳට සින්දු කිව්වා. ඒ නැලවිල්ලට කනිෂ්ක හොඳට නිදාගෙන තිබුණා. (දෙනුවන් ගෙරවිල්ල ගැන දෙනුවන්ටම හිතුණේ ඔන්න ඔහොමයි.) හැබැයි කනිෂ්කත් එක්ක කෑමනම් පොඩ්ඩක් බේරගන්න අමාරුයි. කෑමක් ගෙනාවත්, කවුරුහරි කෑමක් දුන්නත් කනිෂ්ක අපෙන් ඕනෙද? කියලා එකපාරයි අහන්නෙ. දෙවැනි පාර අහන්නෙ නැහැ. ඇහුවත් කන්න දෙයකුත් නැහැ. ඒ තත්ත්පරයට කනිෂ්ක කාලා ඉවරයි.

දෙන්නට ඔව්වර ඌරො බය ඇයි..?
ආ.. ඒකද? අපි දෙන්නම දැන් ඌරුමස් කන්න හරි කැමතියි.

එයාගේ විලාසිතා ගැන ඔබ මොකද හිතන්නෙ..?
කනිෂ්ක හැමවෙලේම විලාසිතා ගැන හිතන කෙනෙක්. එයාට ගැලපෙන විලාසිතා එයා හොයාගෙන කොහොමහරි ලස්සනට කරනවා. ඒවා හොඳයි.

කනිෂ්ක වගේ යාළුවෙක් ජීවිතයට ළංවීම ගැන ඔබ මොකද හිතන්නෙ..?
කනිෂ්ක වගේ සහෝදරයෙක් ජීවිතයට ළංවීම ගැන අසීමිත සතුටක් තියෙනවා. අපේ තියෙන්නෙ කවදාවත් කැඩෙන්නෙ නැති විශ්වාසනීය යාළුකමක්. මම මොනවා කිව්වත් කනිෂ්ක ඒ හැමදෙයක්ම ඉවසනවා. ඇත්තටම එයා හොඳ සහෝදරයෙක්.

 

► Text - Dishani  /   Pic- Internet