2019 ජනවාරි 12 වන සෙනසුරාදා

ටොම් පචයෝ එද්දී රෝයි අයියා නැති එක හරිම දුකක්

 2019 ජනවාරි 12 වන සෙනසුරාදා, ප.ව. 12:30 102

- කීත් රංග

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර වසර 25කට අධික කාලයක් පදිංචිව සිටින රංගන ශිල්පී කීත් රංග, රංගනයට අත්පොත් තැබුවේ ප්‍රවීණ සිනමාවේදි රෝයි ද සිල්වා ගේ ගෙදර බුදුන් අම්මා චිත්‍රපටයෙනි. එවකට රංග ගැටවර වියේ පසුවූවෙකි.

අද ඔහු ලොස් ඇන්ජලීස් නුවර පදිංචිව සිටිය ද අපේ සිනමාවට තිබෙන ඔහුගේ ආදරය හා ඇල්ම බිඳකඳු අඩු වී නැත. රෝයි ද සිල්වා මුල් වරට අධ්‍යක්ෂකවරයකු ලෙස දොරට වැඩියේ ටොම් පචයෝ (1977) චිත්‍රපටය තුළිනි. රෝයි සිය සිනමා දිවියේ අධ්‍යක්ෂණය කළ අවසාන චිත්‍රපටය ටොම් පචයෝය. ඒ 2013 වසරේදීය. සිනමාවට අවතීර්ණ වන්නට අත දුන් සිය ගුරා වන රෝයිගේ අවසාන චිත්‍රපටය නිෂ්පාදනය කිරීමේ භාග්‍ය හිමිවූයේ කීත් රංගටය. ඒ පිළිබඳව ඔහු මතකය අවදි කළේ දැඩි භක්තියකිනි.

මාව සිනමාවට හඳුන්වා දුන් රෝයි අයියාට සහ සුමනා අමරසිංහට මගේ මාපියන්ට වගේ මම ගරැ කරනවා. රෝයි අයියාගේ අවසාන චිත්‍රපටය ටොම් පචයෝ නිෂ්පාදනය කිරීමට ලැබීම මා ලැබූ මහඟු අවස්ථාවක්. එය ඇත්තටම ලස්සන චිත්‍රපටයක්. ඒත් රෝයි අයියා ජීවතුන් අතර සිටි කාලයේ ඒක ප්‍රදර්ශනය කරගන්නට නොහැකි වීම ඉතාම ඛේදනීයයි. ඒත් ටොම් පචයෝ මේ අලුත් අවුරුදු මුල් භාගය තුළ ප්‍රදර්ශනය කරන්නට එම්.පී.අයි. මණ්ඩලය භාරගෙන තිබෙනවා. ඒ ගැන මට තිබෙන්නේ ලොකු සතුටක් වගේම ලොකු බලාපොරොත්තුවක්. ඒත් රෝයි අයියා අද අප අතර නැති වීම නම් දුකක් කීත් අප හා කීය.

ලංකාවේ ප්‍රදර්ශනය නොවුණත් ඔබ ටොම් පචයෝ සුවිශේෂී ප්‍රදර්ශනයක් අමෙරිකාවේදී පැවැත්වුවා නේද?
ඔව්, බොහෝ අය කියන්නේ අමෙරිකාවේ පවත්වපු දැවැන්තම චිත්‍රපට ප්‍රදර්ශනය ඒකයි කියලා. ඒ උත්සවයේදී රෝයි අයියට හා සුමනා අක්කට මහත් හරසරින් අපි බුහුමන් දැක්වුවා. ටොම් පචයෝ මුලුමනින්ම රූගත කළේ අමෙරිකාවේ. අමෙරිකාවේ සම්පූර්ණයෙන්ම රූපගත කළ වෙනත් සිංහල චිත්‍රපටයක් නැහැයි කියලා තමයි සිනමා විචාරකයෝ කියන්නේ.

දෙවැනි යුද්ධය නිසා ඔබ මේ නව වසර තවත් සුවිශේෂී වෙනවා නේද?
ඇත්ත. දෙවැනි යුද්ධය චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ ප්‍රවීණ සිනමවේදි වී. සිවදාසන් මහත්තයා. ඒකේ මම ‍ෙපාලිස් නිලධාරියකුගේ ප්‍රධාන භූමිකාවක් නිරූපණය කරනවා. මගේ රංගන ජීවිතයේ තවත් එක් සන්ධිස්ථානයක් තමයි ඒ චරිතය. දෙවැනි යුද්ධය චිත්‍රපටයක් මේ අවුරුද්දේ තිරගත වීමට නියමිතයි. ඒ චිත්‍රපටයට මම සම නිෂ්පාදකවරයකු හැටියටත් දායක වෙනවා. පුබුදු චතුරංග, උදාරි වර්ණකුලසූරිය, තුෂිණි, සරත් කොතලාවල වැනි ජනප්‍රිය ශිල්පීන් දෙවැනි යුද්ධය චිත්‍රපටයට රංගනයෙන් දායක වෙනවා. සිවදාසන් මහතා කියන්නේ ඔහු අතින් නිර්මාණය වූ හොඳම චිත්‍රපටය මෙය කියලයි. ඇත්තෙන්ම ඒක පාදක වෙන්නේ වෙනස්ම කතා තේමාවක්.

මේ අවුරුද්දේ ඔබට ලංකාවට ගමන් වාර ගොඩක් සැලසුම් කරන්න වෙනවා?
ඔව්. මේ චිත්‍රපට දෙක ප්‍රදර්ශනය සඳහා අවශ්‍ය කටයුතු කරන්න මට ලංකාවට වැඩි වාර ගණනක් එන්න වෙයි. ඒ වගේම සිවදාසන් මහත්තයා අධ්‍යක්ෂණය කරන හීනය හොරු අරන් චිත්‍රපටයේ තවත් ප්‍රධාන භූමිකාවකට මාව තෝරගෙන තිබෙනවා. ඒ වෙනුවෙනුත් මට ලංකාවට එන්න වේවි. සිනමාව පැත්තෙන්, මේ නව වසර මට සුවිශේෂී එකක් වෙයි කියලය මම විශ්වාස කරන්නේ. සිනමාවෙන් ලැබෙන හැම දෙයක්ම මම නැවත අපේ සිනමාවට දායාද කරන්නයි මගේ එකම බලාපොරොත්තුව හා සතුට.

 

► Text -  Ramesh Uvais  /  Pic - Internet