2019 ජනවාරි 05 වන සෙනසුරාදා

යුද්ධයේ දියණිය ආයිලා

 2019 ජනවාරි 05 වන සෙනසුරාදා, ප.ව. 12:30 48

භීෂණය, ප්‍රේමය, යුද්ධය, ලිංගිකත්වය පිරි චිත්‍රපට විකුණන අපේ රටේ වීඩියෝහල්වලින් ඉඳහිට වැරදිලා වගේ හොඳ චිත්‍රපටත් මිලදී ගත හැකිය. Ayla – The Daughter and War එවැනි අහම්බෙන් අපට හමුවුණු චිත්‍රපටයකි.

කැන් උල්කේ නම් තුර්කි චිත්‍රපට අධ්‍යක්ෂවරයාගේ නිර්මාණයක් වන මෙය 2017දී නිෂ්පාදනය වූවකි. අනුවේදනීය තුර්කි චිත්‍රපටයක් වන මෙය එම රටේ නිෂ්පාදනවලට ලෝක ඉල්ලුමක් ඇති බවද හෙළි කරන්නකි. මෙය තුර්කි, කොරියන් සහ ඉංග්‍රීසි භාෂාවලින් හඬ කවා නිෂ්පාදනය කර තිබේ. පසුගිය වසරේ ඔස්කාර් චිත්‍රපට උළෙලේදී හොඳම විදේශීය භාෂා චිත්‍රපට කාණ්ඩය යටතේ තරග කිරීමටද මෙය තෝරාගැනිණි.

මෙහි වි‍ශේෂත්වය වන්නේ සත්‍ය කතාවක් ඇසුරින් නිර්මාණය වීමත්, අවසානයේ නිර්මාණයටද සත්‍ය සිද්ධිය වාර්තාමය ඇසුරින් එක්කර තිබීමත්ය. සත්‍ය කතාවලින් චිත්‍රපට හදන්නට ගොස් අනාගන්නා අධ්‍යක්ෂවරුන්ට ආයිලා අපූරු උදාහරණ සපයයි. සත්‍යය සිනමාවේ ප්‍රතිරූපණය කිරීමේ අභියෝගය මෙහි අධ්‍යක්ෂවරයා ජයගත් අන්දමද ප්‍රේක්ෂකයාට ආයිලා තුළින් දැකගත හැකිය.

වර්ෂ 1950 කොරියන් යුද සමයයි. එම යුද්ධයට අමෙරිකන් පාර්ශ්වයෙන් එක්වන තුර්කි භට කණ්ඩායමක සාජන්වරයකු වූ සුලෙයිමාන්ට අධික සීතලෙන් ගල්ගැසී සිටි 5 හැවිරිදි දැරියක හමුවෙයි. ඇගේ මව්පියන් ඇතුළු ඥාතීන් ප්‍රහාරවලින් මියගොසිනි. සුලෙයිමාන් මේ දැරිය තම කඳවුරට රැගෙන යයි. බිහිසුණු යුද ගිනිදැල් අතරින් ඇගේ ජීවිතය බේරාගැනීමට තම ජීවිතය අවදානමට හෙළීමට සුලෙයිමාන්ට සිදුවන අන්දමද චිත්‍රපටයේ අපූරුවට නිරූපණය වේ. ඊට පසු මේ දැරිය හා නිහඬ බැඳීමක් සුලෙයිමාන්ට ඇතිවේ. ඇය නිතරම ඔහු පසුපස යන්නේ පියා ලෙස සලකමිනි. ඇගේ නියම නම කිසිවකු නොදන්නා නිසා කඳවුරේදී ඇයට ආයිලා යන නම ලබාදෙයි. එහි අර්ථය හඳ යන්නයි. යුද්ධයේ බිහිසුණු බව අමතක කිරීමට කඳවුරේ සැමටම ආයිලාගේ සුරතල් හැසිරීම ඉවහල් වෙයි. 

චිත්‍රපටයේ අමතක නොවන චරිත නිරෑපණයක නිරත වන්නේ කුඩා ආයිලා ලෙස රඟපාන කිම් සියෝල්ය. තරැණ සොල්දාදුවකු වන සුලෙයිමාන් ලෙස ඉස්මයිල් හැකියොග්ලු ද අපූරැ රංගනයක යෙදේ. ආයිලා සහ ඉස්මයිල් අතර ඇති මානසික බැඳීම සිනමාත්මක ලෙස ඉදිරිපත් කිරීමට අධ්‍යක්ෂවරයා සමත් වී සිටී.

යුද්ධය අවසන් වේ. සුලෙයිමාන් ඇතුළු සෙබළ කණ්ඩායම්වලට සිය රට බලා පිටත්වීමට කාලය පැමිණේ. ආයිලා තුර්කියට රැගෙන යාමට සුලෙයිමාන්ට අවශ්‍ය වුවත් නීති රීති නිසා ඊට ඉඩ නැත. එහෙත් ආයිලා සුලෙයිමාන් පසුපසම පැමිණේ. මෙය ඉතා අනුවේදනීය රූප රචනාවක් ඔස්සේ ඉදිරිපත් කරන්නේ යුද්ධයේ බිහිසුණු බව නිසා මානුෂීය බැඳීම්වලට අත්වන ඉරණම විදහා පාමිනි. එය කොරියාවට පමණක් නොව, ලංකාවටද එක සේ පොදු අත්දැකීමකි.

අවසානයේ ඇය ළමා රැඳවුම් නිවාසයකට භාරකිරීමට සුලෙයිමාන්ට සිදුවේ. නිවසට ගියද සුලෙයිමාන්ට නිතරම සිහිපත් වන්නේ ආලියාය. සුලෙයිමාන් තුර්කියේදී පෙම්වතිය සමඟ විවාහ වී දරැවන්ද සහිත පියෙකු බවට පත් වේ. ඒ අතර ආයිලා ගැන සොයා බැලුවද හමුවන්නේ නැත.

නමුත් අවසානයේ ආයිලාගේ මෙන්ම සුලෙයිමාන්ගේද සිහිනය සඵල වෙයි. එවිට සුලෙයිමාන් මහලුය. ආයිලාද වියපත්ය. ඒ ඔවුන්ගේ වෙන්වීමෙන් වර්ෂ 60කට පසු 2010දීය. ඒ සඳහා මැදහත්කරැවකු වන්නේ මේ කතාව පිළිබඳව වාර්තා විචිත්‍රාංගයක් නිරෑපණය කරන මුස්වා ගුවන්විදුලි සංස්ථාවයි. සැබෑ ආයිලා සහ සුලෙයිමාන්ගේ හමුවීම වෘතාන්ත චිත්‍රපටයේ අවසානයට එක්කර තිබේ.

මෙම සිනමා නිර්මාණය යුද්ධය පිළිකුල් කරන කවුරුත් නැරඹිය යුතු කතාවකි.

ප්‍රේක්ෂක

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00