2018 දෙසැම්බර් 29 වන සෙනසුරාදා

මල්වර වෙන්නේ ගැහැනු දරුවන් පමණක්ද?

 2018 දෙසැම්බර් 29 වන සෙනසුරාදා, ප.ව. 12:30 829

දැරියක් මල්වරවීම වයස අවුරුදු 11 සහ 16 අතර කාලයේදී සිදුවේ. ඇතැම් අවස්ථාවල මෙම සීමාවෙන් පිටද මල්වර වේ. දැරියන් මල්වරවීම, වැඩිවියට පත්වීම සහ කොටහළුවීම වශයෙන්ද හැඳින්වේ. දැරියක් කෙටි කාලයක් තුළ මානසික සහ ශාරීරික වශයෙන් වර්ධනය වේ. මල්වරවීම එහි ආසන්නතම ප්‍රතිඵලය වේ. සමහර අය වයස අවුරුදු 18-20 පමණ වනතුරැද, මල්වර නොවී සිටිනු දැකගත හැකිය.

සමහර අවස්ථාවල අවුරුදු පහේදී පමණ දැරියන් මල්වර වූ බව සොයාගෙන ඇත. මෙලෙස අඩු වයසෙන් මල්වර වන්නේ ඇයගේ ආහාර රටාව නිසාය. අද වැඩි වශයෙන් අධිප්‍රෝටීන් මාංශජනක ධාතු සහ තෙල් අඩංගු කෘත්‍රිම ආහාරවලට පුරුදුව සිටින දැරියන් ඉක්මනින් මල්වරවීම සිදුවේ. මෙවැනි අවස්ථාවල සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳ දැරියට සහ දෙමාපියන්ටද ගැටලු ඇතිවේ. දැරියට තමාට සිදුවූ දේ තේරුම් නොයන අතර දෙමාපියන්ටද ඇත්ත ලෙසම මෙය මල්වර වීමක්ද, නොඑසේ නම් සිරැරේ ලේ වෙනස් වීමක්ද, නැතිනම් උෂ්ණාධික රෝගයක්ද, හදිසි අනතුරක්ද, ආදී වශයෙන් තෝරා බේරාගත නොහැකි තත්ත්වයකට මුහුණදීමට සිදුවේ. ඇතැම් වෙලාවට වෛද්‍ය උපදෙස් ගන්නට පවා සිදුවේ. මල්වරවීම සිදුවන්නේ ඇයගේ සිරුරේ හෝමෝනවල ක්‍රියාකාරීත්වයේ ප්‍රතිඵලයක් වශයෙනි.

එසේ වුවද දක්ෂ ජ්‍යොතිෂවේදියකුට දැරියගේ කේන්ද්‍රය පරීක්ෂා කර ඇත්තවශයෙන්ම ඇය මල්වර වී ඇතිද යන්න සොයාගැනීම අපහසු නොවේ. ඇයගේ තත්කාල කේන්ද්‍රය සහ ජන්ම කේන්ද්‍රය ගලපා සිදුවූ දේ සොයාගත හැකිය. මේ සඳහා ප්‍රධාන වශයෙන් සඳු හා කුජ යන ග්‍රහයන් දෙදෙනා කේන්ද්‍රයේ ගෝචර පල අනුව මල්වරවීම සොයාගැනීමට පුළුවන. එසේම දැරියට ලබා ඇති මහ දසා හා අතුරු දසා පිළිබඳවද පරීක්ෂා කර බැලීම අවශ්‍යය.

මල්වර වූ නැකැත අනුව දැරියගේ අනාගතය ජ්‍යොතිෂවේදියාට යම් පමණකට පැවසිය හැකිය. එසේම එම වෙලාව දෙමාපියන්ගේ සහ පවුලේ අයගේ ක්‍රියාකාරීත්වයට බලපාන්නේ කෙසේද යන්නද ජ්‍යොතිෂවේදියකුට පැවසිය හැකිය. එහෙත් මල්වර වූ වෙලාව අනුව ඇයගේ මුළු ජීවිත කාලයම පලදේ යැයි නිගමනය කිරීම ප්‍රඥාගෝචර නොවේ.

දැරිය මල්වර වූ වෙලාව අනුව ඇය ස්නානය කරවීමට සුදුසු නැකැතක් තැනීම සිදුවේ. ඇතැම් ජ්‍යොතිෂවේදීන් ඇයගේ ජන්ම නැකැතට අනුවද මෙම වෙලාව තනයි. එය නුසුදුසු අතර, ඇය මල්වර වූ අවස්ථාවට තනාගන්නා කේන්ද්‍රය අනුව සුබ නැකැතක් තනාගැනීම යෝග්‍ය වේ. කෙනකුගේ උපන් නැකැත අස්විද වුවද මල්වර වන අවස්ථාවේදී පැවතියේ රේවතී නැකැත නම් ඇය ස්නානය කිරීමට නැකැත සකස් කිරීමේදී එය කළ යුත්තේ රේවතී නැකැතට ගැලපෙන පරිදිය. මල්වර වූ දැරියක් නහවන්නට අඟහරැවාදා, සෙනසුරාදා සහ ඉරිදා දිනවල නැකැත් තැනිය යුතු නැත. ඒ සඳහා සඳුදා, බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා දින සුබ වෙලාවක් යොදාගැනීම වඩා සුදුසු වේ.

මල්වර දැරියක් ස්නානය කරවීම සඳහා පෙර කාලවල යොදාගත්තේ රෙදිනැන්දාය. එහෙත් ඒ සඳහා ඇයගේ මව යොදාගැනීම ඉතාම සුදුසුය. මව නොමැති වූ විට සුළුමව, නැන්දා කෙනෙක් හෝ ආච්චිඅම්මා යොදාගැනීම සුදුසු වේ. ස්නානය කිරීමේදී ඒ සඳහා නියමිත ඖෂධ මංජුසාවක් පාවිච්චි කළ යුතු අතර ඒවා අද බෙහෙත්බඩු කඩවලින් ලබාගැනීමට පුළුවන.

මල්වර වූ විට සහ ඉන් පසුව දිය නාවන අවස්ථාව දක්වා තනිකම් දෝෂය ඇතිවීම සුබඵල අඩුවීමට හේතු වේ. ඒ නිසා මල්වර වූ දැරිය ස්නානය කරන අවස්ථාව දක්වා තනි නොවී රැකගත යුතුය. සමහර අය පිළිගෙන ඇත්තේ මල්වර වූ පසු පිරිමින් සමඟ කතාබහ කිරීම, ඔවුන් දැකීම පවා අගුණ බවය. පිරිමින් මධ්‍යයේ මල්වරවීම හෝ මල්වර වූ පසු සෙනඟ ගැවසෙන තැන්වල සිටීම, බස්රියක හෝ වාහනයක ගමන් කිරීම දෝෂ සහගත බව කියන අය සිටිති. මේවා මිථ්‍යා මතයි. එසේ වුවද වැඩිවියට පත්වූ දැරියක් හුදෙකලා කිරීම, තනිමංසල, දෙමංසල, සොහොන්පිටි, ඒදඬුපාලම්, පිට්ටනි ආදියේ ගමන් කිරීම නොකළ යුතු යැයි ජ්‍යොතිෂයේ දැක්වේ. එයින් මල්වරදෝෂ ඇතිවේ.

ඇය හුදෙකලා වූ විට තනිකම්දෝෂය හෝ කළුකුමාරදෝෂය ඇතිවේ යැයි සැලකේ. එයින් දැරියට ජීවිත කාලය පුරාම විවිධ දෝෂ ඇතිවීමට ඉඩ ඇත. ඇඟ දුර්වලවීම, රෝගපීඩා ඇතිවීම, අවලස්සන වීම, සිහිනෙන් බියවීම, සිරුරෙන් දුගඳක් හැමීම මෙන්ම විවාහ ප්‍රමාදයද මෙයින් ඇතිවන අනිටු ප්‍රතිඵලය.

බොහෝ දෙනා සිතනුයේ වැඩිවියට පත්වීම හෙවත් මල්වරවීම සිදුවන්නේ දැරියන්ගේ පමණක් බවය. එහෙත් පිරිමි දරුවන්ද වයස අවුරුදු 12 පමණ වනවිට මල්වරවීම ආරම්භ වේ. පිරිමින්ගේ ගැහැනු දරුවන්ගේ මෙන් එකවර නොව ක්‍රමයෙන් මෙය සිදුවන නිසා එක්වර ඇසට හසු නොවේ. එහෙත් පිරිමි දරුවන්ගේ උගුරුඇටය පෑදී කටහඬ වෙනස්වීම, මුහුණේ දැලිරුවුල වැඩීම, ශරීරයේ ලිංගික අවයව ආදියේ රෝමකූප වැඩීම, ලිංගික උත්තේජනය සිදුවීම ආදී ලක්ෂණ ක්‍රමයෙන් සිදුවෙමින් මෙම මල්වරවීම කරා ගමන් කරයි. ඔහු ගැටවරයකු බවට පත්වීම සිදුවන්නේ මෙම වැඩිවියට පත්වීම නිසාය. මෙහි සුවිශේෂත්වය වන්නේ පිරිමි ළමයා ගැහැනු ළමයා මෙන් කෙටි කාලයක් තුළදී වෙනසට භාජනය නොවීමය.

විශේෂ ජ්‍යොතිෂවේදියකු විසිනි.

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00