2018 දෙසැම්බර් 29 වන සෙනසුරාදා

පියාඹන හාදුවක හදවත

 2018 දෙසැම්බර් 29 වන සෙනසුරාදා, ප.ව. 12:30 334

ප්‍රේමයත් වෛරයත් අතර ඇත්තේ කෙස්ගසක පරතරයක් යැයි කියමනක් වෙයි. නමුත් ඒ කියමන හඳුන්වා දුන් තැනැත්තා හෝ එය දිගින් දිගටම විශ්වාස කළ මිනිසුන් කිසිදාක සැබෑ ප්‍රේමය අත්විඳ නැත. ප්‍රේමය ඇති තැන වෛරයට ඉඩක් නැත. ජීවිතයේ කිසියම් කාල වකවානුවකදී තමන් ප්‍රේම කළා යයි සිතනා කෙනෙකුට ඔබ දැන් වෛර කරනවා යයි සිතන්නේ නම් පැහැදිලි වන්නේ ඔබ එම තැනැත්තාට හෝ තැනැත්තියට කිසිදිනක ප්‍රේම කර නැති බවයි. ප්‍රේමය යනු හිමි කරගැනීම හෝ අයිති කරගැනීම නොවේ. එය නිදහසයි. තමා ප්‍රේමකළා යයි කියනා අනෙක් පාර්ශවය වෙන් වීමකදී භෞතිකව හෝ මානසිකව මරණයට තැත්කරන අයෙක් වේනම් එම තැනැත්තා හෝ තැනැත්තිය ප්‍රේමයට නිග්‍රහයකි.

චතුරිකා විනෝදී පෙරේරාගේ පියාඹන හාදුවක හදවත මා දකින්නේ ප්‍රේමනීය වෑයමක් ලෙසය.

කවියක් කියන්නේ මේකය
කියා නිර්වචන කුමටද
ප්‍රේමයත් ඒ වගේමය
ලියා දැන්විය නොහැකිය...

ප්‍රේමය යනු ලොව පැවැත්මට දායකත්වය සපයන ප්‍රබලම හැඟුම්කාරකයයි. එහි වූ මෘදු බව සහ ගැඹුර ඇගේ කවි රසවිඳින්නෙකුට සොයාගැනීමට අපහසු නොවේ. මනෝහර බසකින් පොහොසත් ඇගේ කවි ප්‍රේමය දෙස හෘදයාංගම නෙතකින් බලයි. එහි දෝෂාරෝපණය, දුක් ගැනවිලි නොමැති අතර එහි ඇති පරාර්ථකාමීත්වය අගය කොට සලකමි.

පටුනක් තරම් පටු ආදරේ සැකිල්ලක
පිළිවෙළින් අතරමං වෙමි.
නිමි නොවන කතාවක මම ඉන්නේ කොතැනකද
නුඹ ලියූ අකුරකින් නොඅසමි.

(4 වන කවිය - සංසාර නවතුමකි; ෆර්මිනා, පිටුව 22)

සිසිරයට පෙර රුයක හිම තුහින වැස්සකට
තෙමෙන්නට අකමැති ද විමසමි
ඇගේ ඇස අග නොමැති නුඹේ එක හීනයක්
මගෙන් අරගෙන යන්න පවසමි...
නවතින්න!
කිසිදාක නොකියමි
හීන අරගෙන යන්න පවසමි...

(6 වන කවිය - දේදුන්න වගේ නුඹ, ඉන්දිගෝ හීනයක්, පිටුව 26)

ප්‍රේමයේ ඉවසිලිවන්ත බවද කලහකාරි නොමැති බවද ඇගේ කවි පවසයි. ඇගේ සමහර කවි මට මංජුල වෙඩිවර්ධන කවියාගේ කවි මතකයට නංවයි.

නින්නාද දී ඇසෙන කන්තාරු කට හඬට
සන්තාප සුසුමකින් ඇහැරෙමි
හුරුපුරුදු කඳුළකින් ඇණ ගසන ප්‍රේමයේ
කුරැසයක බර දරා හිනැහෙමි...

(7 වන කවිය - උට්ඨානයේ සිහින නොදකිමි - පිටුව 27)

පියඹන හාදුවක හදවතේ වෙනත් තේමාවන් ඔස්සේ ලියවුණු බොහෝ හොඳ කවි තිබෙනා අතර මාගේ කියවීම තුළ මා විසින් සටහන් තබා ඇත්තේ මාගේ ප්‍රියතම තේමාවක් වන ප්‍රේමය පිළිබඳ පමණි.

- කංචනා ප්‍රියකාන්ත

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00