2018 දෙසැම්බර් 22 වන සෙනසුරාදා

ජනශ්‍රැති පර්යේෂණ කෘති දෙකක්

 2018 දෙසැම්බර් 22 වන සෙනසුරාදා, ප.ව. 12:30 703
ඊ.කේ. හේමතිලක බණ්ඩාර වෘත්තීය වශයෙන් විහාර චිත්‍ර ශිල්පියෙකි. පුරාවිද්‍යාවට, කවියට මෙන්ම ජනශ්‍රැතිවේදයට ද ඔහු තුළ ඇත්තේ ඇල්මකි. එම ඇල්ම මුද්‍රිත පිටු අතරට එක්කරමින් සලඹ අලංකාරය (කාව්‍යමය විවරණය) සහ සංකල්ප හා බැඳුණු ජනශ්‍රැතිය යන ශාස්ත්‍රීය කෘති දෙක පසුගියදා පළ කෙරිණි.
 
සලඹ අලංකාරය මුල් කොටස වෙන්වන්නේ අපේ පද්‍ය සාහිත්‍යයේ ඉතිහාසය විමර්ශනය කිරීමටය. ජානකීහරණය, එළු දළදා වංශය, සීගිරි ගී, සෙල්ලිපි කාව්‍ය, සියබස්ලකර ආදී සම්භාව්‍ය පද්‍ය සාහිත්‍ය මතුනොව බණකවි හා ප්‍රශස්ති කවි ගැනද කතුවරයා අවධානය යොමුකරයි.
 
කෝට්ටේ යුගය, දෙමළ කාව්‍ය, සෙංකඩගල යුගය, මහනුවර යුගය හා කොළඹ යුගය වශයෙන් ද තම කාව්‍ය ඉතිහාසය බෙදා වෙන් කරන හේමතිලක ජනකවි සාහිත්‍ය ගැනද සඳහන් කර තිබේ. දෙවන කොටස වෙන්කර ඇත්තේ කෑගල්ල දිස්ත්‍රික්කයේ පිහිටි හොලොම්බුව පුරාණ පත්තිනි දේවාලයේ ඉතිහාසය පිළිබඳ කතුවරයා විසින් රචිත සලඹ අලංකාරය නම් කාව්‍යයටය.
 
භාර හාර අප වුණෙමුය දෙව් දුව         නේ
නෑර අපව රුක දෙනු මැන පතිනිය     නේ
කාරණාව හදවත් තුළ ඇත නිති         නේ
මාළිගාව හොලොම්මුවේ දෙවොල     පෙනේ
 
කතුවරයා ජන කවිවලින් මෙන්ම සම්භාව්‍ය පද්‍ය සාහිත්‍යයෙන් ද ලද ආභාෂය මෙම කවිවලින් පෙනේ. කතුවරයා මෙම කාව්‍යය සඳහා පැරණි පුස්කොළ පොත් ද ඇසුරු කරගෙන ඓතිහාසික තොරතුරැ ගලපාගෙන තිබේ.
 
සංකල්ප හා බැඳුණු ජනශ්‍රැතිය කෘතිය අප රටේ ප්‍රචලිත විවිධ සංකල්ප පිළිබඳව සමාජ විද්‍යාත්මක විවරණයක් කිරීමට ගත් උත්සාහයකි. “මෙම කෘතියෙන් විස්තර වශයෙන් හෙළිකරන සංකල්ප 23කි. ඒ සංකල්ප වූ කලී සමාජ මානව විද්‍යාත්මකව දැනකියා ගැනීමට අවැසිම සංකල්ප මාලාවකි. හේමතිලක බණ්ඩාර මෙම කෘතියෙන් පූර්වෝක්ත සංකල්ප පිළිබඳ නවතම හා විවාදාපන්න තොරතුරැ ද ඇත. ඇතුළත් කර තිබීම ප්‍රශංසනීයය. යනුවෙන් මහාචාර්ය මුදියන්සේ දිසානායක සඳහන් කර සිටී.
 
විශ්ව සංකල්පය, දේව සංකල්පය, යක්ෂ, ප්‍රේත, අමනුෂ්‍ය, අපාය, කිලි ආදී සංකල්ප ගැන අවධානය යොමුකරන කතුවරයා ජ්‍යොතිෂ්‍ය, නිමිති බැලීම, අංජනම්, හෙළ වෙදගම, ඇස්වහ කටවහ ආදී වශයෙන් පරිච්ඡේද 23ක් ඔස්සේ මේ කෘතිය පෙළගස්වයි, බොහෝ දෙනෙක් අවධානය යොමු නොකරන ක්ෂේත්‍රයක් කෙරෙහි කතුවරයා අවධානය යොමුකර තිබීම යහපත් කාර්යයකි.
 
“කිසියම් සම්ප්‍රදායික ඥානයක් ඉතිරිව පවතින්නේ එයින් වැඩදායී කරුණු කිහිපයක් ඉටුවන හෙයිනි. මෙම ඥානය අද වනවිට භාවිතයට ගැනීමට මැලිකමක් දක්වනුයේ ශතවර්ෂ ගණනාවක් අප අන්‍ය ජාතිකයන්ට යටත්ව සිටි හෙයිනි. ඔවුන් අපට හුරුකළ දේ පමණක් හරියයි වැරදි මතයක අපි සිටිමු. එහෙයින් සම්ප්‍රදායික ඥානයේ අගය සුළුවෙන් හෝ අනාගත දරුදැරියන්ට දැනකියා ගැනීමට මෙම කෘතිය ඉවහල් වනු ඇතැයි සිතමු. කතුවරයා පෙරවදනේ සඳහන් කරයි. 
 
I පාඨක