2018 දෙසැම්බර් 22 වන සෙනසුරාදා

රට කළඹන අවුල් වියවුල්

 2018 දෙසැම්බර් 22 වන සෙනසුරාදා, ප.ව. 12:30 113

2018 වසරේ අවසන් ග්‍රහ යුද්ධය ලෙසින් හැඳින්වෙන බුධ සහ ගුරැ අතර ගැටුම දෙසැම්බර් 21 වන දින රාත්‍රී 23.07ට සිදුවිය. ග්‍රහයන් දෙපලක් අතර සිදුවන මෙම ගැටුම ග්‍රහ යුද්ධයක් ලෙසින් හැඳින්වේ. ග්‍රහ දෙපලක් එකම අංශකයකදී ගමන් කරන විට එක් ග්‍රහයෙකු මතින් තවත් ග්‍රහයෙකු ගමන් කිරීම ග්‍රහ යුද්ධයක් ලෙස හැඳින්වේ. මේ අයුරින් ගමන් කරන වසරේ අවසන් ග්‍රහයන් දෙදෙනා බුධ හා ගුරු හෙවත් බ්‍රහස්පති වෙයි. මේ දෙදෙනාම ජ්‍යොතිෂයේදී විරුද්ධවාදීන් නොවුණ ද සාමාන්‍යයෙන් නිකායන් දෙකක මහ නායකයන් දෙදෙනෙකු ලෙස සැලකේ. මේ නිසා දෙදෙනා කිසිම විටක දරුණු විපත් ගෙන නොදේ. නමුත් දෙදෙනාගේ පිහිටීම්, රාශි අනුව යම් යම් ක්‍රියාකාරකම් සහ සිදුවීම් ස්වභාවයෙන්ම සිදුවනවා ඇත.

බුධ පාලනයට මෙන්ම ලේඛන කලාවට ද, පොත්පත්වලට, කතාවට, තැපැල්, දුම්රිය සේවාවට සහ සියලු විද්‍යාවලට මූලිකවෙයි. උගතුන් බුද්ධිමතුන් බිහිවන්නේ බුධ බලවත් වීමෙනි. වෛද්‍යවරුන් ඉංජිනේරුවරු බිහිවීම බුධගේ බලයෙන් සිදුවේ.
බ්‍රහස්පති ග්‍රහයා ආගම දහම පූජ්‍ය - පූජක පක්ෂ, නීතිරීති, අධිකරණ හා උසස් ගුණදහම්වලට බල පැවැත්වෙයි.

ගුරු ග්‍රහයා නොවැම්බර් 06 වන දින වෘශ්චික රාශියට පිවිසි අතර ප්‍රථම බුධ - ගුරු ග්‍රහ යුද්ධයක් පැවතියේ නොවැම්බර් 28 දිනයි. එහිදී ගුරු පරදා බුධ ජය ගැනීම සිදුවිය. රට තුළ බොහෝ විපරීත දේ සිදු වූ අතර උගත් බුද්ධිමතුන් අතර වාදවිවාද සංවාද නිර්මාණ විය. පාර්ලිමේන්තු වාදවිවාද උත්සන්න වී ජනතාව අතර විවිධ මත ගොඩනැගෙන්නට පටන්ගත්තේය.

මෙවර ග්‍රහ යුද්ධයෙන් සුර ගුරැ ජය ලැබීමෙන් පෙන්නුම් කරනුයේ නීතියේ බල මහිමය බලගන්වන බවයි. පූජ්‍ය - පූජක පක්ෂ තුළ වාදවිවාද උත්සන්න කරයි. යටපත්වූ ගුණධර්ම මතුවේ. යුක්තිගරැක පාලන තන්ත්‍රයකට ඉඩකඩ විවර කෙරේ. වැසී තිබූ බලකාමී අන්ධකාර දෙනෙක් විවර කරන්නට සිදුවේ.

ගුරු නියෝජනය කරන ධනු ලග්න හා මීන ලග්න හිමියන්ගේ බලය, තේජස වැඩකරමින් අහිමි වූ වරප්‍රසාද උදාකර දෙයි. යුක්තියේ හිමිකම් ඉටුකර දෙනු ඇත. ලෞකික සිකුරුට අයත් සිකුරාදා දිනයක සිදුවන ග්‍රහ යුද්ධයෙන් ජනතා සිතුම්පැතුම් සඵල කරන්නට හේතුයි. මෙතෙක් පැවති ගමන් මාර්ගයය වෙනස් වීමට ද හේතුයි.

මෙතෙක් කුම්භ රාශියේ ගමන් කළ කුජ දෙසැම්බර් 27 වන දින ධනස්ථානය වූ දෙවැන්නට පිවිසේ. කට නිසා ලැබීමට ඇති ආදායම් මාර්ග වැසී ජ්‍යාත්‍යන්තර ආධාර නොලැබී යන අතර ආර්ථික පීඩන ගෙනදෙනු ඇත. කුජ ලග්න ගතවීමත් සමඟ වර්ජන, පෙළපාලි, උද්ඝෝෂණ කාලවකවානුවක් රට තුළ නිර්මාණය විය.

වසරේ අවසන් ග්‍රහ යුද්ධයෙන් සුරගුරැ ජය ලැබීම සැලකිල්ලට ගතයුතුවේ. නීතිරීති කඩ කරන, කවර බලවතකු වුවද සමාජයේ දෝෂ දර්ශනයට ලක්කරයි. කර්මස්ථාන ගතකරන ගුරැ ජනතා සිතුම් පැතුම් මල්ඵල ගන්වමින් ජනතා පරමාධිපත්‍ය සුරක්ෂා කරන්නට ඉඩකඩ සලසා දෙයි. මේ වනවිට රවි-බුධ-ගුරු තිදෙනාම එකම රාශියක ගමන් කිරීම ද විශේෂ සිදුවීමකි. අත්තනෝමතික ක්‍රියාකාරම්වලට ප්‍රතිඵල දෙන යුගයක් උදාකරයි. කර්මාන්ත හා ආර්ථික අංශවල කඩාවැටීමක් ද ඇති කරයි. ග්‍රහ යුද්ධය සිදුවන විට ලංකා කේන්ද්‍රයේ කුජ ලග්න ගතවද රාහු 6 වැන්නේ ද රවි - බුධ - ගුරු 10 වැන්නේද ශනි 11 වැන්නේ ද කේතු 12 වැන්නේ ද ගමන් කරමින් ග්‍රහ ගෝචරයේ යෙදෙයි. දේශීය හා විදේශීයවද කැළඹීම් සහිත යුගයක් වෙයි.

ලංකාවට බලපා ඇති රාහු මහ දසාවේ අවුල් සහගත බව තරමක් හෝ ගුරැගේ බලයෙන් යටපත් වුවද අවුල් වියවුල් ඉදිරියටත් පවතිනු පෙනේ. බුද්ධිමත්ව කටයුතු කිරීමෙන් බොහෝ ගැටලු විසඳාගත හැකි බව ගුරුගේ සංඥාවෙන් පෙන්නුම් කෙරේ.
කන්‍යා මිථුන ලග්න හිමියන්ගේ ලග්නාධිපති බුධ පරාජය වීම එම ලග්නවලින් උපත ලත් අධ්‍යාපනය ලබන දරුවන්ගේ අධ්‍යාපනය තරමක් පසුබෑමට ලක්කරනු ඇත.
ආගමට දහමට අනුගතවී ශ්‍රී විෂ්ණු දෙවියන්ගේ ආශිර්වාදය ලැබීම වසර අවසන් සැමට සෙතසලසා ගත හැකිවෙයි.

ප්‍රවීණ ජ්‍යොතීර්වේදී 
මුළු දිවයිනටම සාම විනිසුරු
බී.ඒ. සමන් ගුණසේකර
අලුත් අම්බලම
ඉහළ කොස්ගම

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00