2018 දෙසැම්බර් 22 වන සෙනසුරාදා

යහපත් නීති සංශෝධන අනුමත වේ

 2018 දෙසැම්බර් 22 වන සෙනසුරාදා, ප.ව. 12:30 118

ග්‍රහලොව යුධකරු හා සෙන්පති වූ අඟහරු 2018 දෙසැම්බර් මස 23 වැනි ඉරු දින (අද) දහවල් 12.53ට බ්‍රහස්පතිට අයත් මීන රාශියට පිවිසෙයි. අඟහරු බ්‍රහස්පතිට අයත් පුවපුටුප නැකතේ ප්‍රථම පාදයෙන් ද සෙනුසරුට අයත් උත්‍රපුට නැකතේ සම්පූර්ණවත් බුධට අයත් රේවතී නැකත සම්පූර්ණවත් ලෙස 2019 පෙබරවාරි 5 වැනි කුජ දින දක්වාම ගමන් කරනු ඇත.

එම තත්ත්වය මත අප රට කෙරෙහි අවධානය යොමු කිරීමේදී යම් යම් යහපත් ප්‍රතිඵල ලැබෙන බව කිව හැකිය. මෙය රටේ ආර්ථිකය ස්ථාවර මට්ටමක පවත්වාගෙන යාම උදෙසා රජය විසින් විශේෂ විධිවිධාන රැසක් කියාවට නංවන වකවානුවක් වෙයි. විනෝද ස්ථාන, හෝටල් ආශ්‍රිතව හදිසි අශුභ ක්‍රියාවල් ඇති වේ. ඒ හේතුවෙන් දෙපිරිස් අතර ගැටුම් අවස්ථා ද උද්ගත වේ. ජනප්‍රිය කලාකරැවකුගේ අභාවයක් ද වාර්තා වනු ඇත. යම් යම් දුබල අනපනත් ඉවත් කර නව ඵලදායී වූ අනපනත් ක්‍රියාවට නංවන වකවානුවක් වේ.

විදේශීය වශයෙන් විමසීමේදී,

ආරෝග්‍ය ශාලා, බන්ධනාගාර ආශ්‍රිතව අශුභ සිදුවීම් වාර්තාවන වකවානුවකි. බන්ධනාගාර රැඳවියන් පලා යාමට උත්සාහ දැරීමක් ද වනු ඇත. තාක්ෂණික වශයෙන් නව නිර්මාණයක් ඇගයීමකට ලක්වන අතර සන්නිවේදන ලේඛන කටයුතුවල නියැලි ප්‍රවීණයකුගේ අභාවයක් ද වාර්තා වන කාලයකි.

මේෂ - බොරු ආරංචි

ඔබට යහපත් ඵල අත්නොවනු ඇත. ඔබගේ කටයුතුවලට බාධාව මතුවන අතර යම්කිසි බොරු ආරංචියක් නිසා සිත අසහනයට ලක්වනු ඇත. සතෙකුගෙන් ශරීරයට පීඩාවක් ඇතිවිය හැක.

වෘෂභ - සැමියාට ශුභයි

භූමිය ආශ්‍රිතව කටයුතු කරන අයට ශූභ ඵල අත්වනු ඇත. තම දේ රැකගෙන කටයුතු කිරීමට පෙළඹෙන වකවානුවකි. යම්කිසි පුද්ගලයකුගේ වචනයක් නිසා තම ධනයට හානියක් වන බැවින් කල්පනාකාරීව තීරණ ගන්න.

මිථුන - කටයුතු සාර්ථකයි

ඔබට ශුභ ඵල අත්වන අතර ඔබ කරන කටයුතු සාර්ථක බවට පත්වනු ඇත. සේවා ස්ථානයෙහි උසස්වීම් අපේක්ෂා කළ අයගේ ද බලාපොරොත්තු ඉෂ්ඨ වේ. වාහනයක් මිලදී ගැනීමේ අපේක්ෂා ද ඉටුකර ගත හැකි වේ. 

කටක - දරුවකුට ජය

ඔබට යහපත් ඵල ගෙනදෙන මුත් යම් යම් කටයුතුවලදී ඔබ බලාපොරොත්තු වන තරමේ ඵල අත්කර ගත නොහැකි වේ. තම දරැවකුගේ ජයග්‍රහණයක් නිසා සිතට සතුටක් දැනෙනු ඇත.

සිංහ - මිතුරන්ගෙන් ගැටලු

ඔබට එතරම් යහපත් ඵල අත්නොවනු ඇත. ඔබ කරන කටයුතුවලට විවිධ වූ බාධා එල්ලවනු ඇත. මිතුරන්ගෙන් ද ඔබට ප්‍රශ්න කරදර ඇතිවනු ඇත. තාක්ෂණික කටයුතුවල නිරත අයට ශුභ වේ.

කන්‍යා - නීතිමය ප්‍රශ්න

ඔබට යහපත් ඵල අත්නොවනු ඇත. පවුල් දිවියේ ද යම් යම් ගැටලු ඇතිවනු ඇත. නීතිමය ප්‍රශ්නයකට මැදිවිය හැකි බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න. ව්‍යාපාරිකයන්ට ද ලාබ අත් නොවන වකවානුවකි.

තුලා - නැති වූ දේ ලැබේ

ඔබගේ කාලත්‍රයාට හදිසි ශාරීරික පීඩා ඇතිවන වකවානුවකි. ඔබට එරෙහිව පැවති සතුරැ බලවේග කලින් හඳුනාගත හැකිවනු ඇත. මේ වනතෙක් ඔබ සතු යම් දෙයක් නැති වී එය ලබාගත නොහැකි වූයේ නම් එම දේ ලබා ගත හැකි වන්නා වූත් වකවානුවකි.

වෘෂ්චික - ලිංගික ආකර්ශනය

ඔබට අයහපත් නොවන අතර විරුද්ධ ලිංගිකයන්ගේ ආකර්ෂණයට ඔබව ලක්වනු ඇත. අවිවාහක අයට මංගල යෝජනා ඉදිරිපත් වේ. මිතුරන්ගෙන් යම්කිසි පීඩාවක් ඔබට ඇතිවිය හැකි බැවින් කල්පනාකාරී වන්න.

ධනු - හිමිකම් ලැබේ

ඔබට ශුභ ඵල අත්වන අතර උරුම හිමිකම් ලබා ගත හැකිවන්නාවූත් කාලයක් වේ. හදිසි කේන්ති ගති පාලනය කරගත යුතු අතර සේවා ස්ථානයෙහි උසස්වීමක් අපේක්ෂා කළ අයගේ බලාපොරොත්තු ඉෂ්ඨ වේ.

මකර - නිර්මාණශීලී අදහස්

තාක්ෂණික කටයුතුවල නිරත වී සිටි අයට ශුභ ඵල අත්වන අතර නිර්මාණශීලී අදහස් බිහිවන කාලයක් ද වේ. සහෝදරයන් සමඟ මතගැටුමක් ඇති විය හැකි බැවින් ඉවසීමෙන් කටයුතු කරන්න.

කුම්භ - වීර්ය වැඩි වේ.

ඔබ සතු දේ රැකගෙන කටයුතු කිරීමට පෙළඹෙන වකවානුවක් වේ. යම් යම් කටයුතුවලට බාධාවන් ඇතිවන අතර දුෂ්කර කටයුත්තක් වුවද නොබියව ඉදිරිපත්ව ඉටු කරන්නා වූ කාලයක් වේ.

මීන - නව දේපල ලැබේ

ඔබට අයහපත් නොවන අතර ඔබට නව දේපලක් මිලදී ගැනීමට හැකි වන වකවානුවක් වේ. පවුල් දිවියේ මතභේද පැන නගින අතර හදිසි කේන්ති ගති පාලනය කළ යුතු කාලයක් ද වනු ඇත. හිසේ පීඩාවක් මතු වනු ඇත.

ජ්‍යොතිෂ නන්දන
ප්‍රවීණ ජ්‍යොතිෂවේදි ජ්‍යොතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ
සුවණැන ජ්‍යොතිෂ පර්යේෂණායතනය
ඔලබොඩුව, ගෝනපල