2018 දෙසැම්බර් 22 වන සෙනසුරාදා

සින්දු ඇහුවෙ අපි තමුසෙලා කිරිබොන කාලේ...

 2018 දෙසැම්බර් 22 වන සෙනසුරාදා, ප.ව. 12:31 508

වර්තමානයේ එළිදකින ප්‍රේම ගීත ශ්‍රවණය කර හෙම්බත් වූ ශ්‍රාවකයෙකු මුහුණු පොතේ තමන්ට දැනුණු හැඟීම අපූරු සටහනකින් කියා තිබිණි. “දැන් තියෙන ප්‍රේම ගීත සින්දු නෙවෙයි. එව්වා ගෑනුන්ට වඳින ගාථා."

එම ශ්‍රාවකයා වර්තමානයේ ඇසෙන ප්‍රේම විලාපවලත් ශික්ෂණයෙන් ගායනා කරන සුසැඳි පදමාලාවලත් වෙනස හඳුනන අයකු විය යුතුය. සෙනග පිරුණු පෞද්ගලික බස්රථයක යද්දී කන වැකෙන ප්‍රේම අඳෝනා ඇසුණු විට ඔහු තැබූ සටහන සත්‍යයක් බව හොඳින් පසක් වෙයි.

අපේ ගීත සාහිත්‍යයත් සංගීතයත් එක් පැත්තකින් වර්ධනය වෙද්දී අලුත් පරපුර මෙවැනි ගීත අසන්නේත්, ගයන්නේත් ඇයිද යන්න එම ගීත ඇසෙන වාරයක් පාසා සිතට නැගේ.

කුඩා කාලයේ සිට අප ජීවත් වූයේ සින්දු ලෝකයකයි. මේ සින්දු ලෝකයේ විවිධ රස අත්විඳිමින්, විවිධ රිද්ම විඳිමින්, අපි ගීතයේ සංගීත රසයත්, ගීතයේ සාහිත්‍ය රසයක් දශක කිහිපයක් පුරා විඳගත්තෙමු. ගීතයක් ශ්‍රවණය කරන විට සිතට නැගෙන මනෝභාවයන් සමඟ සිත්හි ඇඳගත්තෙමු. ඉඳහිට නරඹන චිත්‍රපටයකින් එම හීනවලට රූප රාමු සපයා තිබුණද අපි ඇඳගත් චිත්තරූප ඊට වඩා නිදහස්ව සීමාවකින් තොරව අපිම වර්ණවත් කරගත්තෙමු.

කුඩා කාලයේ පාසලේ සංගීත පාඩමේදී ගායනා කළේ “සුවඳ පද්ම ඕලු ආදී," “දන්නෝ බුදුන්ගේ" වැනි නූර්ති ගී වුවද ළමයින්ටම කියා පද බැඳුණු ළමා ගීත එකල දිනපතා හවස ගුවන්විදුලියෙන් අපට ඇසුණේය.

“බුබුළු බුබුළු ජලේ නැගෙන
පබළු පබළු ලෙසින් දිලෙන
මාලයකට අමුණාගෙන ආසයි මට 
ගෙල බඳින්න."

මේ ඉන් එක් ගීතයකි. ළමයින්ටම කියා පද බැඳුණු ගීත රාශියක් එකළ විය. “කළුමැණිකේ ගල්ලෑල්ල" තවත් ගීතයකි. මෙම ළමයින් උදෙසා ගීත පද බැඳීම හැත්තෑ ගණන් අග දක්වාම සාර්ථකව සිදුවූයේය. පසු කාලයේදී “මගේ පිඟානේ ඉන්නා - මාළු කූරියෝ" “ඒයි මොකද මාව කෑවේ මෝඩ මදුරුවෝ" “පාර දිගේ විහාරයට පෙරහැර එනවා" වැනි ගීතද බිහිවෙමින් එම ප්‍රවණතාව අඛණ්ඩව පැවතියේය. කරුණාරත්න අබේසේකර, ඩබ්ලිව්.ඒ. අබේසිංහ අදී අතිදක්ෂ රචකයෝ මෙම සද්කාර්යට හවුල් වූවෝය. පසුකාලීනව “හපන් පැදුර" ආදී රූපවාහිනී වැඩසටහන්වලින් අලුත් දරුවෙක් ලවා ගායනා කළේද එම ගීතමය. අලුතෙන් ළමා ගීත සාහිත්‍යයක් 1980න් මෙපිට සාර්ථකව බිහි නොවූ නිසා එය අලුත් පරපුරට බලපෑ බව කිවහැකියි. වර්තමාන රූපවාහිනී වැඩසටහන්වල “මහ මිනිස්සුන්ගේ" ගීත ළමයින් ගායනා කරද්දී ඒ දිහා චකිතයකින් තොරව බලාඉන්න මවුපියන් දුටු විට සිතට මහාදුකක් දැනේ. එවැනි වැඩසටහන් ළමයින් උදෙසා කරනා අය ළමයා යනු කුඩා මිනිසකු නොවන බව තේරුම් ගතයුතුය. ළමයා යනු ළමයාය.

වේග රිද්ම ගී ගැයූ සී.ටී. ප්‍රනාන්දු වැනි ගායකයෝද ළමයින්ට උචිත ගීත මහත් ළැදියාවෙන් ගායනා කළහ. 

“අම්බිලි මාමේ ඔබ මොකද කරන්නේ
පුළුන් වළා යටින් ඉඳන් එබිලා බලන්නේ"
ඔහුගේ “සරුංගලේ සරුංගලේ" ගීයද ළමයින් උදෙසා ලියූවකි.

එකල නූර්තිවලින් ඇසුණු ගීවල අරුත් ලාබාල අයට තරමක් දුරවබෝධය. “දැක්කොත් පද්මාවතී" ගීතයට එහි වේග රිද්මය නිසා අපි ආස කළෙමු. එහෙත් එහි අරුත තේරුම් ගැනීමට එකල සාහිත්‍ය දැනුම ප්‍රමාණවත් නොවීය.

“මේඝ සෙ කේසා වේ
ඇගේ ග්‍රීව සක් සේ වේ
ළමැද හංසයින් සේ පෙනේ
ආලේ නොකරා බැරී"

අපේ ගෙවල් පැත්තේ එක් ළමයෙක් ඔහුගේ අම්මාගෙන් මෙසේ ඇසුවේය. “අම්මේ ළමැද හංසයින් කියන්නේ මොක්කුද?" “හංසයෝ ජාතියක් වෙන්න ඇති"යැයි ළමයාගේ අම්මා පිළිතුරු දුන්නේය.

වොලී බැස්ටියන් ගෙනා බයිලාව අපේ කුඩා කාලයේම එම්.එස්. ප්‍රනාන්දු විසින් අලුත් ආරකට ගෙන ආවේය. ඔහු විසින්ම රචනා කළ ඇතැම් ගී පද රිද්මයක් සමඟ අපේ හිතට හොඳින් කා වැදුණෙ ඒවා සරලව ලියවී තිබුණු නිසාය.

“රස ආහාර කවලා - රන් කූඩුවේ දමලා
ඇති කරන්න ගත්ත මාල ගිරවී"

 එවැනි ගීත ජනගී තරමටම ජනයා අතරට ගොස් අද පවා ජනප්‍රියව පවතී. දැනට අවුරුදු තුන හතරකට පෙර හත්වැනි ශ්‍රේණියේ භූගෝල විද්‍යා අච්චුපොත (රජයේ මුද්‍රිත) පෙරළා බලන විට එහි එම්.එස්. ප්‍රනාන්දුගේ “සීත සුළං අවට හමන්නේ ගීතය" කඳුකරයේ චාරිකාවක යනවිට ගායනයට සුදුසු ගීතයක් ලෙස නිර්දේශ කරමින් මුළු ගීතයම සටහන්කොට තිබුණේය. අපට ඒ කාලයේ එවැනි ගීත පොත්වල ලියා ඉගැන්වීමක් අවශ්‍ය වූයේ නැත. පන්තියේ අපි සැමදෙනාම එම ගීතය එකල හොඳින් දැනසිටියෙමු.

නෙවිල් ප්‍රනාන්දු, නොයෙල් රණසිංහ ආදීහු හැටගණන්වල මැදභාගය වනවිට ලොස් කැබල්රෝස්, ලා සිලනියනස් යන සංගීත කණ්ඩායම් ආරම්භ කළහ. නව ගායන ශෛලියකින් ගිටාරයට කටහඬ මුසුකොට නිර්මාණය කළ මෙම ගීත අසන්නන් අතර බෙහෙවින් ජනප්‍රිය වූයේය. රන්සළු චිත්‍රපටයේත්, දෙලොවක් අතර චිත්‍රපටයේත් අමරදේවයන්ගේ සංගීතයට නෙවිල් ප්‍රනාන්දු ගීත ගායනා කළේය. මෙම සංගීත ආර මිල්රෝයි ධර්මරත්නගේ නිර්මාණවලින් පෝෂණය ලැබ, ඇනස්ලි මාලේවනගේ කටහඬින් වර්ණවත්ව, ක්ලැරන්ස්ගේ නිර්මාණ කුසලතාවයෙන් උපරිමයකට ආවේ අපේ ජීවිත කාලය තුළදීමයි. ක්ලැරන්ස්ගේ ගීත රචනාත්, සංගීත රචනාත්, ගායන ශෛලියත් සංගීත අම්බරේ නොමැකෙන සටහන් ඉතිරි කරනු ලැබුවේය.

ගායක ගායිකාවන් සජීවී ලෙස එකල අප ඉදිරියට ආවේ විවෘත සංගීත සංදර්ශනවලිනි. එහෙත් තරුණයින් අතර ජනප්‍රිය සංගීත කණ්ඩායම් ඒවාට ආවේ බොහෝ කලාතුරකිනි. ඉන්ද්‍රානි පෙරේරා ඇතුළු ත්‍රී සිස්ටර්ස් නම් සංගීත සංදර්ශනවල ගායනා ඉදිරිපත් කළහ. සංගීත සංදර්ශනවල වඩාත් ජනප්‍රිය වූයේ එච්.ආර්. ජෝතිපාල සහ එම්.එස්. ප්‍රනාන්දුය.

රසිකයෝ අසීමිතව ඔවුනට ආදරය කළහ. ඔවුනට ඇති ආදරය නිසාම සංගීත සංදර්ශන අලලා පොඩි යාං හෑලි එකල රසිකයන් අතරට ආයේය. ජෝතිගේ ගායනයටත්, සංගීත ආරටත් වශීවුණු ඇතැම් රසිකයෝ ඒවායේ පද මාලාවේ අරුත සොයාබැලුවේ දෙවැනිවයි. මෙම නිසා ඇතැම් කතා ගොතා තිබුණේ එම රසිකයන් ඉලක්ක කරගෙනය. (මෙම කතා ඉදිරිපත් කරන්නේ එම ගායකයින්ට අගෞරව කරනු පිණිස නොවේ. ඔවුනට ඇති භක්ත්‍යාදරය නිසාම බව සැලකිය යුතුවේ.)

“ජෝති අයියා, ජෝති අයියා අර කාන්ති නංගිගෙ සින්දුව දෙන්නකෝ" රසිකයෙක් සංගීත සංදර්ශනයේදී ගීයක් ඉල්ලුවේය. “මොකද්ද මල්ලී කාන්ති නංගිගේ සින්දුව?" රසිකයා එහි තනුව දන්නා අයුරින් කීවේය. ජෝති එය ගයන්නට පටන්ගත්තේලු.

“ප්‍රේමෙ දීපසිකා - හෝ කාන්ති කන්ති නගා" තවත් රසිකයෙක් “මෝරාගේ" සින්දුව එලෙස ඉල්ලු බව කියවෙන තවත් කතාවකි. එසේ ඉල්ලා ඇත්තේ “සිරියාමේ සාරා - නැගෙවී හද මෝරා" ගීතයයි. 

එම්.එස්ට වාදනයෙන් (ට්‍රම්පට් වාදනයෙන්) සහාය වූ සෙබස්තියන් ප්‍රනාන්දුව සැවොම ආදරයෙන් අමතා තිබුණේ “සෙබා" නමිනි. ඒ දෙදෙනා අල්ලා ගෙතූ කතාද රසිකයින් අතර ජනප්‍රිය වූයේය. “මං අද ගායනා කරනවා මගේ ජනප්‍රියතම ගීතයක් අපි සෙබාගෙන් අහමු මොකද්ද ඒ ගීතය කියලා." සෙබා ඊට පිළිතුරු දෙයි “රස ආහාර කවලා - රං කූඩුවෙ දමලා" එම්.එස්. එය ගැයුවේලු. ගයා නිමකර නැවත සෙබස්තියස් හට ඊළඟ ප්‍රශ්නය යොමු කළේය. සෙබා මොකද්ද මගේ ඊළඟ ගීතය?" “රස ආහාර කවලා" පිළිතුර විය. මේ ආකාරයට එම ගීය තුන්වරක් එම්.එස්. ගායනා කරද්දී සෙබා වාදනයෙන් ඊට හවුල් වූයේලු.

හැට ගණන්වල මුලදී ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ සහ මහගම සේකර අතින් සාර්ථකත්වයට පත්වුණු ගීත රචනා කලාව, සුනිල් ආරියරත්න, අජන්තා රණසිංහ, සුනිල් සරත් පෙරේරා, ඩබ්ලිව්.ඒ. අබේසිංහ, ඩෝල්ටන් අල්විස්, ප්‍රේමකීර්ති සහ තවත් ඉදිරියට ගෙනගියේ අපගේ ජීවිත කාලයේ තරුණ අවදියේය. ඔවුන්ගේ ගී සංකල්පනා විවිධ දිශාවට විවිධ රස වින්දන තලයන්ට තරුණ අපව යොමුකළේය. තමන්ගේ කාර්යයත්, වගකීමත් එම රචකයෝ අතැඹුලක් සේ දැනසිටියෝය. ආනන්ද සමරකෝන් හා සුනිල් සාන්ත විසින් මුල් කාලයේ ඉදිරියට ගෙනගොස් තිබූ සිංහල ගීතය හැටගණන්වල මුලදී අමරදේවයන් අතින් පිමි ගණනාවක් ඉදිරියට ගෙනඑනු ලැබුවේය. වින්දනාත්මක ගීතය අපේ තරුණ කාලයේදී තවත් තීව්‍ර ලෙස ඉදිරියට ආයේ වික්ටර් රත්නායක, සවත් නන්දසිරි හා නන්දා මාලිනිය අතින්ය. ශ්‍රාවකයන් තැන්පත් බුද්ධියෙන්, නිවී සැනසිල්ලේ එම ගීත රසවිඳිය යුතු වූ නිසා මේ ශිල්පීහු විවෘත වේදිකාවල හොවා ශාලාවල තම ප්‍රසංග ඉදිරිපත් කළහ. ශ්‍රවණාරාධනා මගේ මතකයේ හැටියට මුලින්ම ඉදිරිපත් කළේ අමරදේවයන් සහ නන්දා මාලිනි එක්වයි. ඉන්පසු “ස" ප්‍රසංගය නවයොවුන්, යොවුන්, බාල මහලු සියල්ලන් වෙත සංගීතයත්, ගීතයත් දහස් ගව්ව ඉක්මවා රැගෙන යන්නට වික්ටර් රත්නායක සමත් වූයේය. සනත්ගේ “ස්වර්ණ කුණ්ඩල" ප්‍රසංගය අපට තීව්‍ර වින්දනීය අත්දැකීම් හඳුන්වා දුන්නේය. නන්දා මාලිනීගේ “සත්‍යගේ ගීතය" “පවන" ආදී ප්‍රසංග ගීතයේ දේශපාලන සංකල්පනා හොඳින් ඉදිරිපත් කරනු ලැබීය.

ශ්‍රාවක අපගේ රස වින්දනය මුවහත් කරනු පිණිස එකල ගුවන්විදුලියේ ප්‍රේමකීර්තී, එච්.එම්. ගුණසේකර ආදීහු විවිධ වැඩසටහන් ඉදිරිපත් කළෝය. එකල ගුවන්විදුලි නිවේදන කටයුතු කළ බණ්ඩාර කේ. විජේතුංග, කේ.ඩී.කේ. ධර්මවර්ධන ආදීහු සාර්ථක ගී සංකල්පනා ඉදිරිපත් කළ නිර්මාණ ශිල්පීහුය. ඔවුන් තම නිවේදනවලදී ආමන්ත්‍රණය කළේ ශ්‍රාවකයාගේ බුද්ධියටයි. ගුවන් කාලය අපතේ හරිමින් එකල ගුවන්විදුලි නිවේදකයන් නන් දෙඩවූයේ නැත.
තීව්‍ර වින්දනය ලබාදෙන ගීත, විචාරකයන් අතින් ගීත “ප්‍රබුද්ධ" ගීත නැතහොත් සුභාවිත ගීත යනුවෙන් නම් කිරීම නිසා වැඩිම අසාධාරණය සිදුවූයේ පොදු ජනයාට හුරු සරළ බසින් ඔවුනට ගායනා කළහැකි රිද්මයට ඒ කාලයේම බිහිවූ ගීතයටයි. සරළ බසින් නිර්මාණය වුණු වේගරිද්ම ගිතයට විචාරකයන්ගෙන් කුඩම්මාගේ සැලකිලි ලැබුණ ද එම ගායනා ජනගී තරමට ළංව අදත් පොදු ජනයා අතර ඉතිරි වී තිබේ. හින්දි ගී තනුව අපට ආවේනික ගායනා ශෛලියක් ලෙස ඉදිරිපත් කළ ජෝතිපාලව නිසි ඇගයීමකට ලක්කරන්නට එකල විචාරකයන්ට නොහැකි වූයේය. එම්.එස්.ගේ ගීතයට ද එම අසාධාරණය සිදුවූයේය. එහෙත් ප්‍රේමසිරි කේමදාස, සරත් දසනායක යන සංගීතඥයෝ විචාර මතයන්ට සවන් නොදී ජෝති ගෙනුත්, එම්.එස්. ගෙනුත් සාර්ථකව වැඩගත්හ.

අපට ලැබුණු ගී වින්දනය විවිධය. අමරදේවයන් වරෙක අපට භක්ති රසය දෙන “අඩවන් වූ දෙනෙතින් ගලනා" (ඩබ්ලිව්.ඒ. අබේසිංහගේ) ගායනා කළාසේම ජීවිතයේ ගයන්නට අමතක නොකළේය. මහගම සේකර, ඔමාර් ඛයියිම්ගේ දෘෂ්ඨිය බොහෝ වර ගීයට එක්කළේය.

අද අප ජීවිත සුමිහිරි වේ නම්
නූපන් හෙට ගැන ඇයි ලතවෙන්නේ
අද අප ජීවිත සුමිහිරි වේ නම්
මළ ඊයේ ගැන ඇයි වෙහෙසෙන්න
තව කිවයුතු නෑ - කාලය යනවා
දෙපා යටින් රිංගා
එම දෘෂ්ඨියම කරුණාරත්න අබේසේකර එම්.එස්.ගේ මුවගින් අපට දුන්නේය.
“ඊයේ ගත විය - හෙට පැමිණී නැත
අද පමණයි ඇත්තේ
පියාසලාගෙන කාලය පැනයනවා
සීමා වුණෝතින් අප මඟ තනි වෙනවා
මල් යහනාවකි ලෝකේ"

පසුගිය දශක කීපයේ නිර්මාණය වූ ගීත රසවිඳි ශ්‍රාවකයාට අද දවසේ බිහිවන ප්‍රේම විලාප අසා ඉන්නට අසීරු වීම පුදුමයක් නොවේ. එම ශ්‍රාවකයා මෙතෙක් කෙටියෙන් විස්තර කළ සිංහල ගීතයට හොඳින් සවන් යොමුකළ අයෙකි. එලොවටත් නැති මෙලොවටත් නැති ප්‍රේම අඳෝනා “ගෑනුන්ට වඳින ගාථා" ලෙස ඔවුන් මුහුණු පොතේ නම් කරන්නේ ඒ නිසාය. පහත සඳහන් පද දෙක ප්‍රේම අඳෝනා රචකයන්ට, උසස් වින්දනය ඇති ශ්‍රාවකයා සිතෙන් කියනු නොඅනුමානය.

“ඩිඟිරි ඩිඟාලේ දාගෙන පොල්කටු මාලේ
සින්දු ඇහුවේ අපි තමුසෙලා 
කිරි බොන කාලේ

 සමන් පුෂ්ප ලියනගේ