2018 දෙසැම්බර් 15 වන සෙනසුරාදා

සීතල නුවරඑළියේ සොඳුරු උණුසුම් නවාතැන Araliya Green Hills

 2018 දෙසැම්බර් 15 වන සෙනසුරාදා, ප.ව. 12:30 259

මුහුදු මට්ටමේ සිට අඩි 6,200ක් ඉහළින් පිහිටා ඇති නුවරඑළිය නගරය මේ මොහොත වනවිට තම ශීතල දේශගුණ රටාවක් සමඟින් උත්සව සමයට සැරසී සිටිනවා. ගෙවුණු සති කිහිපය තුළදී අධික වර්ෂාවක් පතිත වුණු පුංචි එංගලන්තය මේ වෙද්දි හරිත පැහැයෙන් බබළන පාරාදීසයක් බවට පත්වෙලා. මේ නිසාම යුරෝපයේ දේශගුණ තත්ත්වය නුවරඑළියට ආදේශ වෙලා තියෙන අයුරු බොහොම අපූරුවට දකින්න පුළුවන්.

මේ වසරේ දෙසැම්බර් මාසයේදී පස්වැනි සංවත්සරය සමරණ අරලිය ග්‍රීන් හිල්ස් හෝටලය කියන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ තිබෙන සංචාරක හිත් ඇද බැඳගත් නවාතැනක්. තරුපහේ මේ හෝටලය තමන්ගේ සුහදශීලී සේවාවත් රසවත් ආහාර පානත් නිසා මේ ප්‍රසිද්ධිය උරුම කරගෙන සිටිනවා.

විවිධ පහසුකම් සහිත මාදිලි කිහිපයකින්ම කාමර පෙළගස්වා ඇති මේ හෝටලයේ Presidential Suites සහ Royal Suite එකක් අන්තර්ගතයි. මුළු කාමර ගණන 160ක්. මේ නිසා විවේකය සුවපහසුව වෙනුවෙන් නුවරඑළියට බලා ගමන් කරන සංචාරකයන්ට අවශ්‍ය උපරිම සුඛෝපභෝගීත්වය පිරිනැමීමට මේ හෝටලය සමත්. කොහොම නමුත් උපරිම සුවපහසුවක් සමඟ දර්ශනීය අවට පරිසරයක් දැකබලාගත හැකි Royal Suit එක කියන්නේ ජීවිතයේ කිසිදා අමතක නොවන සොඳුරු අත්දැකීමක් සමීප කළ හැකි තැනක්.

විශාල ඉඩකඩක්, ගෙත්තම් සහ වෙනත් කලාත්මක අභ්‍යන්තර අලංකරණ වලින් යුත් මේ හෝටලයේ දැව භාණ්ඩ පවා ඉතාමත් උසස් මට්ටමේ ඒවායි. අනෙක් අතට ඒවා නුවරඑළියේ ශීත පරිසරයට ඔබින ලෙස නිර්මාණය කර තිබීමත් විශේෂත්වයක්. හෝටලයේ කාමර දිහාවට නැවතත් අවධානය යොමුකළොත් තේ සහ කෝපි සාදාගැනීමේ පහසුකම, මිනිබාර්,  හීටර්ස් සහිත කාමර, ආරක්ෂිත සේප්පු, සංගීතය ආදී බොහෝමයක් දෑ ඒවායේ අඩංගුයි. 

ආහාරපාන ගැන කතා කිරීමේදී සාමාන්‍ය කෝපිහලක ආහාරවල පටන් ජේත්තුකාර විදිහට සැරසිලා ලබාගන්න අංග සම්පුර්ණ ආහාර වේලක් දක්වා පරාසයක් පවතිනවා. මේ හෝටලය තුළ දකින්න පුළුවන් තවත් සුවිශේෂී පහසුකමක් තමයි උෂ්ණත්වය පාලනය කළ හැකි පිහිනුම් තටාකය. දිනය පුරා ඕනෑම වෙලාවකට සිත් සේ වතුරට බැහැලා විනෝද වීමේ අවස්ථාව මේ නිසා උදාවෙනවා. මෙතැන පාරිභෝගික සේවාව කොතරම් හොඳද කියනවා නම් අලසව යහනේ වැතිර සිටිද්දී ඔබේ කාමරයටම ආහාරපාන ගෙනැත් දීමට පවා කාර්ය මණ්ඩලය සැදී පැහැදී සිටිනවා. ප්‍රධාන අවන්හලේදී පෙර‘පර දෙදිග ආහාර වර්ග පිළිගැන්වෙනවා. ඒ වගේම Marigolda la Carte අවන්හල හරහා සංචාරකයන්ගේ තෙහෙට්ටුව මොහොතකින් අතුරුදන් කරවිය හැකි රසවත් ආහාර රැසක් පිරිනැමෙනවා. 

ඉහත කියූ පහසුකම්වලට අමතරව උසස් මට්ටමේ සාම්ප්‍රදායික සම්බාහන මධ්‍යස්ථානකුත් හෝටලයේ තිබෙනවා. ඒ වගේම කඳු අතරේ බයිසිකල් පැදීම, ඇවිදීම, අශ්වයින් පැදීම වගේ විනෝදජනක සහ ත්‍රාසජනක ක්‍රියාකාරකම් රැසක් හෝටල් කාර්ය මණ්ඩලයේ උදව්වෙන් සිදුකළ හැකියි. ඒ විතරක් නෙමෙයි, නුවරඑළිය නගරයේ ඒ මේ අත ඇවිදයාම පවා එක් අතකට ත්‍රාසජනක අත්දැකීමක්. නැවුම් එළවළු පළතුරු වගේම වෛවර්ණ මල් අලෙවි කරන වෙළෙඳුන් සෑම අතකම දකින්න පුළුවන්. 

- සනත් වීරසූරිය
සේයා රූ - ශාන් බන්දු වීරසිංහ