2018 දෙසැම්බර් 15 වන සෙනසුරාදා

අර්බුදය පියවරින් පියවර

 2018 දෙසැම්බර් 15 වන සෙනසුරාදා, ප.ව. 12:31 135

සති හයක් ඉක්මවා ගිය ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදයේ සුවිශේෂ අවස්ථා මෙසේ සටහන් වෙයි

ඔක්තෝබර් 26

• එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර, සිය පාර්ශවය ආණ්ඩුවෙන් ඉවත් වූ බව කතානායකවරයාට දන්වා යැවූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.

• ඉන් මඳ වේලාවකට පසුව මහින්ද රාජපක්ෂ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ අගමැති ධුරයේ දිවුරුම් දුන් බව ජනාධිපති කාර්යාලය නිවේදනය කළේය.

• එහෙත්, එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ තවමත් රටේ අගමැතිවරයා බව එවක කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න බීබීසී සිංහල සේවය සමඟ කියා සිටියේය.

• එසේම, මාධ්‍ය හමුවක් පවත්වමින්, 19 වන ව්‍යවස්ථා සංශෝධනය ප්‍රකාරව අගමැතිවරයා තීරණය කළ හැක්කේ පාර්ලිමේන්තුවට පමණක් බව ‘ධූරයෙන් නෙරපන ලද අග්‍රාමාත්‍ය' රනිල් වික්‍රමසිංහ පෙන්වා දුන්නේය.

ඔක්තෝබර් 27

• ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නියමය අනුව නිකුත් කෙරුණු අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් පාර්ලිමේන්තුවේ වාරාවසාන කරන ලද අතර නොවැම්බර් 16 වන දා නැවත පාර්ලිමේන්තුව ආරම්භ වන බවට දින නියම කෙරිණි.

• මෙදින පස්වරු 4ට පෙර, අරලියගහ මන්දිරය භාරදී පිටව යන ලෙස රනිල් වික්‍රමසිංහට දැනුම් දී ඇතැයි මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මාධ්‍ය වෙත පැවසීය.

• ඒ දක්වා අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කළ සමන් ඒකනායක අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් ඉවත් කර ඒ වෙනුවට සිරිසේන අමරසේකර පත් කෙරිණි.

• කෙසේ වෙතත්, අග්‍රාමාත්‍යවරයා ලෙස ක්‍රියා කිරීමේ පූර්ණ බලය හා හැකියාව තමා සතුව පවතින බව රනිල් වික්‍රමසිංහ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසීය.

ඔක්තෝබර් 28

• නව අගමැතිවරයෙකු පත් කිරීමෙන් පසු පළමුවරට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙදින ජාතිය ඇමතූ අතර තමන් කළ ක්‍රියාව ව්‍යවස්ථාවට අනුකූල බව ඔහු එහිදී අවධාරණය කළේය.

ඔක්තෝබර් 29

• මහින්ද රාජපක්‍ෂ කොළඹ, මල්පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍යවරයා ලෙස වැඩ භාර ගත්තේය.

• ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුව කැඳවීමේ බලය කතානායකවරයා සතුව පවතින බව රනිල් වික්‍රමසිංහ ඔක්තෝබර් 29 වනදා විදෙස් මාධ්‍යවේදීන් සමග පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සඳහන් කළේය.

• ජනාධිපතිවරයා නව කැබිනට් මණ්ඩලයේ පළමු පත් කිරීම් කළේය. එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණි විජේදාස රාජපක්ෂ සහ වසන්ත සේනානායක ද ඒ අතර වූහ.

ඔක්තෝබර් 30

• වහාම පාර්ලිමේන්තුව කැඳවීමට පියවර ගන්නා මෙන් මන්ත්‍රීවරුන් 126 දෙනෙකු කතානායකවරයාගෙන් ඉල්ලා සිටි අතර, ඒ පිළිබඳව සාකච්ඡා කිරීම පිණිස ඔහු පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැඳවන්නට යෙදිණි.

• මේ අතර, එජාපෙ කොළඹදී විරෝධතාවක් සංවිධානය කළේය. පවතින දේශපාලන අර්බුදය විසඳාගත හැක්කේ, පාර්ලිමේන්තුව යළි කැඳවීම මගින් පමණක් බව ධූරයෙන් නෙරපන ලද රනිල් වික්‍රමසිංහ එහිදී පැවසීය.

''ව්‍යවස්ථානුකූලව කටයුතු කරන ලෙස'' ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද ඔහු ප්‍රකාශ කළේය.

නොවැම්බර් 01

• නොවැම්බර් 5 වන දින පාර්ලිමේන්තුවේ සභා වාරය ආරම්භ කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තීරණය කර ඇති බව, පත්කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මෙදින පෙරවරුවේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පිරිසක් හමුවේ ප්‍රකාශ කළේය. එහෙත්, එම දිනය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මෙතෙක් නිල වශයෙන් තීන්දුවක් ගෙන නැතැයි ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසීය.

නොවැම්බර් 02

• පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් පාර්ලිමේන්තුවේදී කතානායකවරයා හමුවී මන්ත්‍රීවරුන් 118 දෙනෙකුගේ ඒකමතික කැමැත්ත පළ කළ ඒකාබද්ධ යෝජනාවක් කතානායකවරයා වෙත භාර දුන්හ.

නොවැම්බර් 04

• නොවැම්බර් මස 14 වනදා පෙරවරු 10 ට පාර්ලිමේන්තුව කැඳවීමට තීරණය කර ඇති බව මෙදින ජනාධිපතිවරයා නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයකින් කියවිණි.

නොවැම්බර් 05

• නව පාර්ශවයට හිමි බහුතර බලය පෙන්වීමට හැකි වනතුරු පෙර පැවති තත්ත්වය පිළිගැනීමට සිදුවන බව දක්වමින් කතානායක කරු ජයසූරිය නිවේදනයක් නිකුත් කළේය.

• කෙසේ වුවද, කතානායකවරයාගේ නිවේදනයෙන් සුළු මොහොතකට පසු පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන සභානායකවරයා ලෙස පාර්ලිමේන්තු සභානායක කාර්යාලයේදී වැඩ ආරම්භ කළේය.

• මෙදින සවස් වරුවේ පාර්ලිමේන්තු වටරවුම අසල ජනාධිපතිවරයා සහ පත්කළ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජන රැලියක් පැවති අතර, ''113 ගැන බය වෙන්න එපා, පාර්ලිමේන්තුවේ 113 හදල ඉවරයි,'' යනුවෙන් එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

නොවැම්බර් 06

• ශ්‍රී ලංකාවේ පවතින දේශපාලන අර්බුදය අවසන් කිරීම සඳහා පාර්ලිමේන්තුව යළි කැඳවීමේ වැදගත්කම සාකච්ඡා කරනු වස් කතානායක කරු ජයසූරිය හමුවූ බව ශ්‍රී ලංකාවට පත්වූ නව ඇමරිකානු තානාපතිනි ඇලයිනා ටෙප්ලිට්ස් ප්‍රකාශ කළාය.

නොවැම්බර් 07

• චමල් රාජපක්ෂ, එස්.බී. දිසානායක අමාත්‍යවරු ලෙසද පවිත්‍රා වන්නිආරච්චි රාජ්‍ය අමාත්‍යවරියක් ලෙසද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී දිවුරුම් දුන්හ.

• 14 වනදා පාර්ලිමේන්තුව රැස් කිරීමට පෙර සියලු අමාත්‍ය ධුර සඳහා මන්ත්‍රීවරුන් පත් කරන බව රජයේ සම මාධ්‍ය ප්‍රකාශක මහින්ද සමරසිංහ මෙදින පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පැවසුවේය.

නොවැම්බර් 08

• තවත් කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනෙකු සහ රාජ්‍ය අමාත්‍යවරුන් පස් දෙනෙක් පෙරවරුවේ ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්හ.

• ඒ අනුව, බන්දුල ගුණවර්ධන, සුසිල් ප්‍රේම්ජයන්ත අමාත්‍යවරු ලෙස දිවුරුම් දුන් අතර, ලක්ෂ්මන් වසන්ත පෙරේරා, එස්.එම්. චන්ද්‍රසේන, සාලින්ද දිසානායක, සී.බී. රත්නායක සහ අනුර ප්‍රියදර්ශන යාපා රාජ්‍ය අමාත්‍යවරු ලෙස දිවුරුම් දුන්හ.

• ආණ්ඩු පක්‍ෂ ප‍්‍රධාන සංවිධායකවරයා ලෙස අමාත්‍ය එස්.බී දිසානායක පත් කළේය.

නොවැම්බර් 09

• ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නිකුත් කළ ගැසට් නිවේදනයේ සඳහන් දිනට පාර්ලිමේන්තුව කැඳවන්නේ දැයි යන්න පිළිබඳව තමන් සැලකිල්ලෙන් පසුවන බව යුරෝපා සංගමය, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, නෙදර්ලන්තය, රුමේනියාව, බ්‍රිතාන්‍යය, නෝර්වේ සහ ස්විට්සර්ලන්ත තානාපතිවරු ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

• මේ අතර, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ මීට පෙර රාජ්‍ය අමාත්‍ය ධූරයක දිවුරුම් දුන් සී.බී. රත්නායක කැබිනට් අමාත්‍යවරුන් ලෙසින් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්හ.

• ජනාධිපතිවරයා එදිනම රාත්‍රියේ වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා අති විශේෂ ගැසට් පත්‍රයකට අත්සන් තැබුවේය.

• ඊට අනුව පාර්ලිමේන්තු මැතිවරණය 2019 ජනවාරි 5 වන දින පැවැත්වීමට නියමිත විය.

නොවැම්බර් 10

• රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් පහ කිරීමෙන් නොනැවතී, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන තවදුරටත් උල්ලංඝණය කරමින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව තමන් අධිකරණය හමුවට යන බව එක්සත් ජාතික පක්ෂය පැවසූ අතර ජනතා විමුක්ති පෙරමුණද අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව ප්‍රකාශ කළේය.

• ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව විසුරුවා හැර ජනවාරි 5 වැනිදා මහ මැතිවරණයක් පැවැත්වීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගෙන ඇති තීරණය පිළිබඳව එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා දැඩි අවධානය යොමුකර ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

නොවැම්බර් 12

• ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කළ නියෝගය නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සම් 13 ක් පමණ ඉදිරිපත් වූ බව වාර්තා විය.

• ඒ සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ පෙත්සම් සලකා බැලීම, අගවිනිසුරු නලින් පෙරේරා, ප්‍රියන්ත ජයවර්ධන සහ ප්‍රසන්න ජයවර්ධන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙදින ආරම්භ විය.

නොවැම්බර් 13

• ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සම් පිළිබඳ සලකා බැලීම දෙවැනි දිනටත් පැවැත්විණි.

• එහිදී, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයේ 33 වන වගන්තිය ප්‍රකාරව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ව්‍යවස්ථාවේ සඳහන් වන ප්‍රතිපාදනවලට පරිබාහිරව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා අමතර බලයක් ජනාධිපතිවරයාට හිමි වී තිබෙන බව නීතිපතිවරයා සඳහන් කළේය.

• දිනය අවසානයේදී, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් අතුරු නියෝගයක් නිකුත් කළ ශ්‍රේෂ්ඨාධිකරණය, ඉදිරිපත් කළ පෙත්සම් විභාගයට ගැනීමට තීරණය කළේය.

නොවැම්බර් 14

• නොවැම්බර් 04 වනදා ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව, මෙදින උදෑසන 10.00ට පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ කෙරිණි.

• එහිදී, පත්කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් ආණ්ඩු පක්ෂයේ අසුන් ගත් අතර ධූරයෙන් නෙරපන ලද අගමැතිවරයා ඇතුළු එක්සත් ජාතික පෙරමුණ විපක්ෂයේ අසුන් ගත්තේය.

• පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අත්හිටුවා, ''පත්කළ අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවක්'' ඉදිරිපත් කර, මන්ත්‍රීවරුන්ගේ ''හඬ අනුව'' සම්මත කළ බව කතානායකවරයා ප්‍රකාශ කළ අතර, ඒ බව කතානායකවරයා රාත්‍රියේදීම ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම්දීමට කටයුතු කළේය.

• ඊට ප්‍රතිචාර වශයෙන් කතානායකගේ ස්ථාවරය ප්‍රතික්ෂේප කරමින් ජනාධිපතිවරයාද කතානායකට එම රාත්‍රියේම ලිපියක් යොමු කළේය.

• පත්කරන ලද අග්‍රාමාත්‍යවරයා සහ කැබිනට් මණ්ඩලය ව්‍යවස්ථා විරෝධී බවට, මන්ත්‍රීවරුන් 122 දෙනෙකු අත්සන් කළ ලිපියට, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති පියසේන ගමගේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රී ඒ.එච්.එම්. ෆවුසිද අත්සන් තබා තිබිණි.

• මීට පෙර රාජපක්ෂ පාර්ශ්වයට සහය පළකළ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් නැවත රනිල් වික්‍රමසිංහ පාර්ශ්වයට සහය දෙන බව ප්‍රකාශ කළේය.

• ජනපති මෛත්‍රීපාල සිරිසේන ඔක්තෝබර් 29 වන දින පත්කළ අමාත්‍ය වසන්ත සේනානායක මෙදින පාර්ලිමේන්තු සැසියෙන් අනතුරුව එක්සත් ජාතික පෙරමුණට සහය දෙන බව ප්‍රකාශ කළේය.

නොවැම්බර් 15

• පාර්ලිමේන්තුව රැස්වූ අතර පෙර දිනයේ සම්මත වූ විශ්වාසභංගය හේතුවෙන් අග්‍රාමාත්‍යවරයෙකු නොමැති බව කතානායකවරයා ප්‍රකාශ කළේය.

• ඉන් අනතුරුව පාර්ලිමේන්තුව තුළ ගුටිබැට හුවමාරුවක් සිදුවූ ආකාරය ජාත්‍යන්තර මාධ්‍ය පවා වාර්තා කළේය.

• 2015 ජනවාරි 8 වනදා පොරොන්දු වූ ''පරමාර්ථ ජයග්‍රහණය කරවීම සඳහා'' කටයුතු කරන බවට ''ධූරයෙන් නෙරපන ලද අග්‍රාමාත්‍යවරයා'' කොළඹ ලිප්ටන් වටරවුමේ පැවති ජන රැලියකදී පැවසීය.

නොවැම්බර් 16

• පාර්ලිමේන්තුව තුළ දැඩි කලබලකාරී වාතාවරණයක් ඇතිවූ අතර, දැඩි පොලිස් ආරක්ෂාව සහිතව පාර්ලිමේන්තුවේ තාවකාලික අසුනක සිට කතානායකවරයා දෙවැනි විශ්වාසභංග යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම කර (හඬ අනුව) ප්‍රතිඵලය ප්‍රකාශ කර සිටියේය.

• සභාගැබට පැමිණි පොලිස් නිලධාරීන්ට සහ පසුව මන්ත්‍රීවරුන් පිරිසකටද, පත්කළ රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මිරිස් කුඩු ප්‍රහාර එල්ල කළ බව වාර්තා විය.

• මෙදින පාර්ලිමේන්තුවේදී එක්සත් ජාතික පෙරමුණ ඇතුළු පක්ෂ විශ්වාසභංග යෝජනාව සම්මත කරගත් ආකාරය පිළිගත නොහැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට එදින සවස දැනුම් දී තිබිණි.

නොවැම්බර් 19

මෙදින පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේදී එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කළේ, වත්මන් රජය ලෙස ක්‍රියාකරන සිය පාර්ශවයට තේරීම් කාරක සභාවේ බහුතරය හිමි විය යුතු බවය.

• එහෙත්, ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ඊට එරෙහිව අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තුවේ බහුතරය නොමැති පාර්ශ්වයකට තේරීම් කාරක සභාවේ බහුතර බලය ලබා දීම අයුක්ති සහගත බවය.

• ඒ අනුව, පක්ෂවල මන්ත්‍රී සංයුතිය අනුව තේරීම් කාරක සභාව සකස් විය යුතු බව ඔහු එහිදී පෙන්වා දුන්නේය.

• මේ අතර, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරනු ලැබ තිබියදී, විසුරුවා හැර තිබෙන පාර්ලිමේන්තුව යළි කැඳවීමට කතානායකවරයා ගත් තීරණය නීති විරෝධී යැයි ප්‍රකාශ කරන ලෙස ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළේය.

නොවැම්බර් 21

• එක්සත් ජාතික පෙරමුණට සහය දෙන බව නොවැම්බර් 14 ප්‍රකාශ කළ වසන්ත සේනානායක මෙදින කැබිනට් මණ්ඩල රැස්වීමට සහභාගී විය.

නොවැම්බර් 22

• පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සංයුතිය සම්බන්ධයෙන් කතානායක කරු ජයසූරිය මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැති බවත්, එය සිකුරාදා (23) පාර්ලිමේන්තුව රැස්වීමට පෙර ගනු ඇතැයි කතානායක මාධ්‍ය අංශය බීබීසී සිංහල සේවයට පැවසීය.

නොවැම්බර් 23

• පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ මන්ත්‍රී සංයුතිය, කතානායක කරු ජයසූරිය විසින් සභාවට දැනුම් දෙන ලදී. ඒ අනුව, එක්සත් ජනතා නිදහස් සන්ධානය - 05, එක්සත් ජාතික පෙරමුණ - 05, දෙමළ ජාතික සන්ධානය - 01 සහ ජනතා විමුක්ති පෙරමුණ - 01 වශයෙන් මන්ත්‍රීවරුන් තේරීම් කාරක සභාවට පත්කර තිබිණි.

නොවැම්බර් 25

• තම ධූර කාලය තුළ පළමු වරට විදෙස් මාධ්‍ය ආයතන සඳහා සේවය කරන මාධ්‍යවේදීන් හමුවූ ජනාධිපති සිරිසේන, 2015 ජනාධිපතිවරණයේ ප්‍රධාන පොරොන්දුවක් වූ දූෂිතයන්ට දඬුවම් නොදීම පිළිබඳව වගකිව යුත්තේ ''හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ හා හිටපු නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක'' බව පැවසීය.

• නිසි ස්ථාවර නියෝග අනුව පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වන්නේ නම් තමන්ට එය පිළිගැනීමට සිදුවන බව පැවසූ ජනාධිපතිවරයා, රනිල් වික්‍රමසිංහ සහ සරත් ෆොන්සේකා හැර වෙනත් කෙනෙක් අගමැති ධූරය සඳහා යෝජනා කළ යුතු බවද ප්‍රකාශ කළේය.

නොවැම්බර් 26

• මහින්ද රාජපක්ෂට පාර්ලිමේන්තුවේ බහුතර බලය නොමැති හෙයින් ඔහුගේ පත්වීම බල රහිත කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 122 දෙනෙකු ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමට අභියාචනාධිකරණය තීරණය කළේය.

• ඒ අතර, අගමැති රනිල් වික්‍රමසිංහ පදවියෙන් ඉවත් කිරීම සහ මහින්ද රාජපක්ෂ අගමැති පදවියට පත් කිරීම, නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් විය.

නොවැම්බර් 28

• නොවැම්බර් 5 වැනිදා මන්ත්‍රීවරුන්ට අල්ලස් ලබාදීමට තැත් කිරීම සම්බන්ධයෙන් කළ පැමිණිල්ලට අදාළ සවිස්තර වාර්තාවක් අල්ලස් සහ වංචා, දූෂණ විමර්ශන කොමිසමට භාර දුන් බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය පැවසීය.

නොවැම්බර් 29

• ඔක්තෝබර් 26 වන දිනට පෙර පැවති, ''එක්සත් ජාතික පෙරමුණේ නායකත්වයෙන් යුතු ආණ්ඩුව'' යළි පිහිටුවීම සඳහා සහාය පළකරන බව සිය මන්ත්‍රීවරුන් 14 දෙනෙකුගේ අත්සන් සහිතව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත යොමුකරමින් දෙමළ ජාතික සන්ධානය පැවසීය.

• අගමැති කාර්යාලයේ වියදම් කපා හැරීම සඳහා එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කළ යෝජනාවද මෙදින පාර්ලිමේන්තුවේ වැඩි ඡන්ද 123කින් සම්මත විය.

• පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ යෝජනාවක් පරිදි මෙදින සවස කතානායකවරයා ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරයා හමුවිය.

නොවැම්බර් 30

• මහින්ද රාජපක්ෂට අගමැති ධූරයේ කටයුතු කිරීමට නීත්‍යනුකූල හිමිකමක් නොමැති බැවින් ජනාධිපතිවරයා විසින් අගමැතිවරයා සහ ඔහුගේ අමාත්‍ය මණ්ඩලය පත්කරනු ලැබීම බලරහිත කිරීමේ (කෝ වොරෝන්ටෝ) ආඥාවක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකර ඇති පෙත්සම අභියාචනාධිකරණයේදී විභාගයට ගැනිණි.

දෙසැම්බර් 03

• පත් කරන ලද අගමැති රාජපක්ෂ ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් 49 දෙනෙකු එම තනතුරු දැරීම වළක්වාලමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

• එම අතුරු තහනම් නියෝගයට එරෙහිව අඟහරුවාදා ආරම්භක පැයේදීම ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කරන බවද මහින්ද රාජපක්ෂ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

• ජනාධිපතිවරයා සහ එක්සත් ජාතික පෙරමුණේ නායකයන් අතර රාත්‍රියේ පැවති සාකච්ඡාව මුළුමනින්ම අසාර්ථක වූ බව වාර්තා විණි.

දෙසැම්බර් 04

• ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය දෙසැම්බර් මස 7 වන සිකුරාදා දක්වා අත්හිටුවමින් වාරණයක් නිකුත් කළේය.

• පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීතිවිරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය සත් පුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ ශ්‍රේෂ්ඨාධිකරණයේදී විභාගයට ගැනිණි.

• ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ සමුළුව අමතමින්, පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනාම අත්සන් කළත් නැවත රනිල් වික්‍රමසිංහ අගමැති ධූරයට පත් නොකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසීය.

දෙසැම්බර් 05

• පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීතිවිරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය සත් පුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ ශ්‍රේෂ්ඨාධිකරණයේදී දෙවැනි දිනටත් විභාගයට ගැනිණි.

දෙසැම්බර් 06

• ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නිකුත් කර ඇති ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් පනවා තිබෙන අතුරු නියෝගය අදාළ විභාගයේ තීන්දුව ලබාදෙන තුරු දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

දෙසැම්බර් 07

• ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාර්ලිමේන්තුව විසුරැවා හරිමින් නිකුත්කළ ගැසට් නිවේදනය සම්බන්ධ පෙත්සම් විභාගය අවසන් කළ සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරැ මඬුල්ල එහි තීන්දුව ප්‍රකාශ කිරීම කල් තැබීය.

උපුටා ගැනීම - බී.බී.සී. සිංහල