2018 දෙසැම්බර් 15 වන සෙනසුරාදා

ජායිපූර් සුන්දරී: අමුතු වින්දනයක්!

 2018 දෙසැම්බර් 15 වන සෙනසුරාදා, ප.ව. 12:30 118

තමාට ආවේණික වූ රූපීය අනන්‍යතාවක් ගොඩනගා ගනිමින් කෙටිකතාකරණයේ යෙදෙන කපිල කුමාර කාලිංග තම රෑපීය අනන්‍යතාවයේ අඛණ්ඩ දිගුවක් ලෙසින් ජායිපූර් සුන්දරී කෙටිකතා සංග‍්‍රහය ලාංකීය පාඨකයා හමුවට ගෙන එයි.
මෙහි එන අපූරු කෙටිකතාවක් ලෙස ගේට්ටුවේ අමුත්තෝ” හැඳින්විය හැක. අර්ධ මායාරෑපී ශෛලියට අනුගත වෙමින් රචනා කරන ලද මේ කතාව තුළින් කතුවරයා 88-89 ධවල භීෂණයේදී ලංකාව තුළ මිනිස් ජීවිත කෙතරම් අඩු ලංසුවක් දක්වා ක්ෂය වූයේද යන්න කතිකාවට බඳුන් කරයි. මෙවන් ඛේදනීය පසුබිමක් තුළ වුවද පාතාලය මළමිනී වෙළෙඳාමෙන් තම උදර පෝෂණ කාර්යය ඉටුකරගත් - ශෝචනීය සහ නින්දනීය කතාවද මෙතුළින් ගම්‍යමාන වේ.

විශ්ව වටිනාකමක් කැටිකොට ගත් කෙටිකතාවක් සේ හැඳින්විය හැකි ද්විත්ව රංගනය මෙතෙක් ලාංකීය කෙටිකතාකරැවන්ට මුණ නොගැසුණු කතා අනුභූතියක් වෙත පාඨකයා ගෙන යයි. වේෂ නිරෑපනයෙන් අනතුරුව නිළියක් අමුසොහොනෙහි ඇවිදිමින් සිටිනුයේ තව මොහොතකින් තමාට මිනීපෙට්ටියක් තුළ සයනය කිරීමට සිදුවන රඟපෑම පිළිබඳ දර්ශනය පරිකල්පනය කරමිනි.

මෙහිදී ඇයට අමුසොහොනේ මිනීවළ තුළට බෑමට ආසන්න, පියන විවෘත කොට ඇති මිනීපෙට්ටියක් තුළ දැකිය හැකිවනුයේ තම වයසේම සිටින මියගිය තරැණියකි. සැබැවින්ම තමා හා සම වයසේ සිටින තරැණියක් සත්‍ය ලෙස මිනීපෙට්ටියක සයනය කරද්දී, එය අනුකරණය කරමින් රංගනයක යෙදීම කෙතරම් සදාචාරාත්මකදැයි ඇගේ සිත මුමුණයි. පරිසරයේ ගූඪ බව වඩ වඩාත් තීව‍්‍ර කිරීම සඳහා කතුවරයා යොදාගන්නා උපක‍්‍රමය වනුයේ මළමිනියට අවසන් ගෞරවය සඳහා පැමිණ ඇත්තේ එක් අයකු ලෙස එළිදරව් කිරීමය. ඔහුද මැදි වයසේ සිටින පිරිමියෙකි. හඬා වැළපෙමින් සිටින ඔහු මියගිය කතගේ ස්වාමියාද, පියාද, සොහොයුරෙක්ද, මිතුරෙක්ද යන වග කෙටිකතාව කියවා අවසාන වුවද පාඨකයාට එළිදරව් නොවේ.

කතාවේ යටිපෙළ හරහා හුයක් සේ දිවෙන සාංදෘෂ්ටිකවාදී චින්තන ධාරාව පසුපස ලුහුබැඳ එනුයේ මේ සමස්ත ක‍්‍රියාදාමය හා බැඳුණු ආත්මීය හා වෛෂයීය සාධකයන්ගේ සෙවණැල්ල බව තර්කානුකූල පාඨක මනසට වැටහෙනු නොවැළැක්විය හැකි කරුණකි.

ජායිපූර් සුන්දරී නම් කෙටිකතාවේදී ඉන්දියාව බලා යන කථානායකයා, සිය වැඩමුළුව අවසානයේ නවාතැන්ගත් හෝටලයට පැමිණ එහි ජනේලය තුළින් බලද්දී දිනපතා නෙත ගැටුණේ, සේවය හමාර වී සවස හෝටලය අසලින් වැටුණු අතුරැ මාවත ඔස්සේ තම නිවෙස බලා යන සරල සුන්දර ගතිපැවතුම්වලින් යුතු චාම් යුවතියකි. ඇයගේ රූ සපුව දැක සුන්දර රොමෑන්තික සිහිනයක පැටලෙන කථානායකයා ඇය ගැන තතු සෙවීමේ ගූඪ ආශාවෙන් දිනක් ඇය පසුපස පියවර තබයි. අවසානයේ ඔහු පාතාල මැරයින් පිරිසකගේ අඩම්තේට්ටම්වලට ලක්වේ.

නේත‍්‍රා කතාවේදී සිය ඉන්දීය සංචාරයේදී ප‍්‍රසිද්ධ කෝවිලක් නැරඹීමට ගිය කථානායකයාට වීණාවක් අත දරාගත් නළඟනකගේ ප‍්‍රතිමාවක් අලෙවි කිරීමට පැමිණි නේත‍්‍රා මුණගැසේ. ප‍්‍රතිමාවේ කලාත්මක පරිපූර්ණත්වය ගැන පූර්ණ තෘප්තියට පැමිණි කතානායකයා එය මිලදී ගම්දෝ නොගම්දෝ යන දෙගිඩියාවක සිටිද්දී, තම නඩයේම වූ සිංගප්පූරු කාන්තාවක් එය මිලදී ගත්තද, ඇයගෙන්ද යමෙක් එය සොරා ගනී. අවසානයේ ඔහුට එළිදරව් වනුයේ එම ප‍්‍රතිමා නෙළනුයේ නෙත් අඳ නේත‍්‍රාගේ පියා බවයි.

නිදි වර්ජිත රාත‍්‍රියක් කෙටිකතාව ස්ත‍්‍රී චින්තනයේ ක‍්‍රියාකාරීත්වය පිළිබඳ මනෝ විශ්ලේෂණ කෙටිකතාවක් ලෙසට අර්ථකථනය කළ හැක. කඳුකර නිවසක තම මැදි වයසේ මෙහෙකාරිය සමඟ වෙසෙන සුවිනීතාගේ සැමියා රැකියාවක් සඳහා විදේශගතවී ඇත. මඳ වැසි සහිත දිනයක ක‍්‍රියාවිරහිත වූ බස් රථයේ රියැදුරු සහ කොන්දොස්තර තම ගේට්ටු ලාම්පු එළියෙන් දකින සුවිනීතාගේ සිත අක්බඹර කෙස් කළඹ උඩට පීරා ඇති, මනා උඩු රැවුලකින් යුතු මැදිවියේ පසුවන රියැදුරු දුටුවිට කැළඹිලි සහිත වේ. ඇය තුළ ඔහු නිසා උපදින සිතුවිලි සරාගීය. එහෙත් සාම්ප‍්‍රදායික පන්ති සමාජය උරැම කරදී ඇති නෛතික හා සදාචාරාත්මක සිරිත් විරිත් පද්ධතිය තුළ මැයගේ එම සිතිවිලි හුදු රොමාන්තික සිහිනයකට පමණක් සීමාවන අයුරු මේ කෙටිකතාව තුළින් මනාව චිත‍්‍රණය වේ. විකාරරූපී නාට්‍යයක දර්ශන පෙළ ගැසෙන ආකාරයෙන් අතිශය උත්ප‍්‍රාසාත්මක ශෛලියකින් ලියැවී ඇති අමුතු සිද්ධියක් අප නැවත වරක් නිකොලායි ගොගොල් වෙත ගෙන යයි. ජී.බී. සේනානායකයන්ගේ වඩා ඔප මට්ටම් කරන ලද කෙටිකතා ශෛලියද සිහියට නංවන මෙම කෙටිකතාව ඉංග‍්‍රීසි භාෂාවට පරිවර්තනය වූයේ නම්, අනිවාර්යයෙන්ම ලෝක කෙටිකතා ගොන්නට එකතු වනු ඇත.

කෙටිකතා රචනයේදී කපිල සිය හුරුපුරුදු සරල සුගම භාෂා විලාශයම උපයුක්ත කොට ගනී. ඒවා අවස්ථා නිරූපනයේදී ඖචිත්‍යය දනවන සේ යොදා ගැනීමට කපිල සමත් වේ. 

මා සාර්ථක කලා කෘතියකින් අපේක්ෂා කරනුයේ එමගින් වඩා යහපත් වූ ලෝකයක් නිර්මාණය කිරීම සඳහා පාඨකයා පොළඹවනසුළු උත්‍්ප්‍රේරණයක් කිරීමය. ඒ මවිසින් මෙහි එන ප‍්‍රඥාව යන්න අර්ථකථනය කරනු ලබන ආකාරයයි. ජායිපූර් සුන්දරී කෙටිකතා එකතුවද වින්දනීය මාවතක් ඔස්සේ පාඨකයා ගෙනයමින්, ඔහුගේ ප‍්‍රඥාව වඩවයි.

සත්‍යපාල ගල්කැටිය

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00