2018 දෙසැම්බර් 15 වන සෙනසුරාදා

අතේ ඇඟිලි හිරිවැටිල්ලට සැත්කම් නැති ප්‍රතිකාර

 2018 දෙසැම්බර් 15 වන සෙනසුරාදා, ප.ව. 12:30 244

වර්තමානයේ බොහෝමයක් රෝගීන් අතෙහි ඇඟිලිවල හිරිය වේදනාව පිළිබඳ පැමිණිලි කරන අවස්ථා බහුලව දැකිය හැක. මෙය අද සමාජයේ බොහෝ දෙනා අතර දක්නට ලැබෙන රෝගයක් ලෙස හැඳින්විය හැක. නවීන විද්‍යාවට අනුව මෙම රෝගය හඳුන්වනු ලබන්නේ Carpal Tunnel Syndrome යනුවෙනි. අතට රුධිරය සපයන ප්‍රධාන ස්නායුවක් (Median Nerve) මැණික්කටු සන්ධියේදී තෙරපීමට ලක්වීම නිසා මෙම රෝගය ඇතිවේ.

මෙහිදී ප්‍රධාන වශයෙන්ම කැපීපෙනෙන රෝග ලක්ෂණය වන්නේ අතෙහි මහපටැඟිල්ල, දබරඟිල්ල, මැදඟිල්ල හිරිවැටීම හා වේදනාවයි. කලාතුරකින් මැණික්කටු සන්ධියේ වේදනාව හා එම වේදනාව අතෙහි ඉහළට පැතිරීමද වියහැකිය.

මෙම රෝග ලක්ෂණ ක්‍රම ක්‍රමයෙන් හටගනී. විශේෂයෙන් රාත්‍රී කාලයේදී නින්දට බාධා වන පීඩාකාරී අවස්ථාවක් ලෙස දැක්විය හැක. තදින් යමක් අතින් ග්‍රහණය කිරීමේ අපහසුතාවයන් ද ඇතිවේ. දීර්ඝකාලීනව මෙම රෝග අවස්ථාවන්ට ප්‍රතිකාර නොකර සිටීමෙන් අතෙහි මහපටඟිල්ල ආශ්‍රිත මාංශපේෂී ක්ෂයවීමද සිදුවිය හැක. ස්නායු පීඩාවට පත්වීමට බොහෝ හේතු සාධක බලපායි.

• අතිස්ථූලතාවය නිසා ස්නායු ගමන් මාර්ගය අවට පටකවල මේදය තැම්පත් වීමෙන් ස්නායුව මහ තෙරපුමක් ඇතිවීම.

• තයිරොක්සීන් හෝමෝනයේ විෂමතාවයන් නිසා (Hypothyroidism)

• සන්ධි රෝග (Arthritis)වලදී පටක ආසාදනයට ලක්වීම හා ද්‍රව එක්රුස් වීම නිසා (Fluid recension) ස්නායුව මත පීඩනය ඉහළ යාම.

• මැණික් කටු සන්ධියට සිදුවූ අනතුරක්, අස්ථි බිඳීමක් නිසා (Trauma)

• ස්නායු ගමන් මාර්ගයට පිටතින් මාංශමය වර්ධනයක් හෝ මේද තැම්පත් වීම නිසා (lipomas)

• ගර්භනී මව්වරුන්ට ගර්භනී කාලයේ සිදුවන හෝමෝනමය වෙනස්කම් හේතුවෙන් 

• වෙනස් රෝගවල බලපෑම් නිස.

මෙවැනි රෝග තත්ත්වයක් ඇතිවිය හැක.

බටහිර වෛද්‍ය ක්‍රමයට අනුව ඉතා සරල ශල්‍යකර්මයක් මඟින් මීට ප්‍රතිකාර කරයි. ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේදී මෙම රෝග තත්ත්වය පිළිබඳ විශේෂයෙන් වෙනමම සඳහන් කර නැතත් වාත රෝග ගණයේ ලා සැලකෙන අතර ඒ අනුව ප්‍රතිකාරය තීරණය කෙරෙනා රෝගයකි.

නමුත් ආයුර්වේද ප්‍රතිකාර මගින් ශල්‍යකර්මයට නොගොස් ඖෂධ ප්‍රතිකාර මගින් මෙම රෝගය සුවඅතට පත්කර ගතහැකිය. 

එහිදී ඖෂධ ප්‍රතිකාරවලට අමතරව ස්ථානිකව තෛල ගෑම, තැවිලි, පැලැස්තර යෙදීම ආදී ප්‍රතිකාර ද යොදා ගනී. සුදුසු ව්‍යායාමද ඖෂධ ප්‍රතිකාර සමඟ උපයෝගී කරගත හැක. මෙවැනි රෝග ලක්ෂණ ඇතිවිට සුදුසුකම් ලත් ආයුර්වේද වෛද්‍යවරයෙකු මුණගැසී අවශ්‍ය උපදෙස් හා ප්‍රතිකාර ලබාගැනීම ඉතා වැදගත් වේ.

කුමුදුනී ද සිල්වා
ආයුර්වේද වෛද්‍ය 
B.A.M.S (කොළඹ විශ්වවිද්‍යාලය)
සෙත්සුව ආයුර්වේද රෝහල