2018 දෙසැම්බර් 15 වන සෙනසුරාදා

ඉන්දීය මහ කෝටිපතියාගේ රජමඟුල

 2018 දෙසැම්බර් 15 වන සෙනසුරාදා, ප.ව. 12:31 283

ඉන්දියාව මෑත කාලයේ ලෝක අවධානය දිනාගත්තේ තරු මට්ටමේ විවාහ හේතුවෙනි. එක පෙළට ආ දීපිකා පදුකෝන් සහ රන්වීර් සිංගේ මංගල උත්සවය මෙන්ම ප්‍රියංකා චොප්රා සහ නික් ජෝනාස්ගේ විවාහ උත්සවයද රස පුවත් මැවූ යස සිදුවීම්ය. ඒ සියලු මඟුල් පරදන සුපිරි මංගල්ලයක් ගැන වාර්තා වූයේ ඒඅතරය. ඒ ඉන්දියාවේ ධනවත්ම පුද්ගලයා වන මුකේෂ් අම්බානිගේ දියණියගේ විවාහ උත්සවයයි.  ප්‍රියංකා සහ නික් ජෝනාස්ගේ විවාහ උත්සවයේ දෙවැනි මනාලිය ලෙසද සහභාගි වූ ඊෂා අම්බානිගේ එම මංගල්ලය නිළියක නොවන යුවතියක් වෙනුවෙන්  පැවැත්වූ යුගයේ අති උත්කර්ෂවත් ඉන්දීය විවාහ උත්සවය ලෙස ඉතිහාසගතවන ලකුණු දක්නට ලැබේ. 

ඉන්දියාවේ ධනවත්ම පුද්ගලයා වන මුකේෂ් අම්බානි රිලයන්ස් ඉන්ඩස්ට්‍රීස්හි කළමනාකරණ අධ්‍යක්ෂවරයාය.  අම්බානිගේ වත්කම අමෙරිකානු ඩොලර් බිලියන 47කි. අම්බානිගේ දියණිය වන ඊෂා අම්බානි විවාහ වන්නේ තවත් ඉන්දියානු ධන කුවේරයකුගේ පුතු වන ආනන්ද් පිරමාල් සමඟය. 

බදාදා පැවති මෙම විවාහ මංගල උත්සවය සඳහා හිටපු එක්‌සත් ජනපද රාජ්‍ය ලේකම්වරියක මෙන්ම හිටපු අමෙරිකානු ජනාධිපති බිල් ක්‌ලින්ටන්ගේ බිරිඳ වන හිලරි ක්‌ලින්ටන් ද සහභාගි වූවාය. ක්‍රිකට් තරැව සචින් තෙන්දුල්කාර් මෙන්ම ලොව ප්‍රධානතම වානේ ව්‍යාපාරිකයකු වන ලක්‍ෂමි මිත්තල් ඇතුළු ලොව ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන්ද, මාධ්‍ය ලෝකයේ දැවැන්ත චරිතයක් වන අරියානා හෆින්ටන්, ෂාරුක් ඛාන් හා ඔහුගේ බිරිඳ වන ගෞරී, අශ්වර්යා රායි, අභිෂේක් බච්චන්, ප්‍රියංකා චොප්රා සහ සල්මන් ඛාන් වැනි සුපිරි නළු නිළියන්ද  සහභාගී වී සිටියහ. එමෙන්ම මහේන්ද්‍ර සිං දෝනි, ජෝන් ඒබ්‍රහම්, කරන් ජෝහාර්, වරැන් ධවාන්, කත්‍රිනා කායිෆ් සහ අනිල් කපූර් ඇතුළු තවත් සුපිරි තරු රැසක් මෙම මංගල උත්සවයට සහභාගී වූහ. 

එම විවාහය දෙසැම්බර් 12 වනදා උදයිපූර්හිදී අති උත්කර්ෂවත් ලෙස පැවැති අතර එදින විවාහ මංගල උත්සවය පැවැත්වුණද ඊට පෙර  සතියේ සිටම එහි විවිධ උත්සව අවස්‌ථා ආරම්භ විය. ඒවා ඉදිරි සතිය පුරාද ‌පැවැත්වෙනු ඇත. ඒ අනුව මේ මඟූල් බාල සති තුනක් පුරා පැවැත්වෙන්නේ මහා සංගීත රුඟුම් සහිත ප්‍රසාංගික කලා මංගල්ලයක් හැටියටය. දෙස් විදෙස් ගායක ගායිකාවන්ද ෂාරුක් ඇතුළු බොලිවුඩ් තරුද මෙහි ප්‍රසාංගික නර්තන ඉදිරිපත් කරති. මේ සුපිරි  විවාහ මංගල උත්සවයේ ගී ගැයීම සඳහා ලෝක ප්‍රකට අමෙරිකානු ගායිකාවක වන බියොන්සේද ඉන්දියාවට පැමිණ සිටියාය.

මහාරාෂ්ට්‍රයේ උපන් මේ වනවිට 27 වැනි වියේ පසුවන ඊශාගේ පමණක් වත්කම ඩොලර් මිලියන 700කි. මහාරාෂ්ට්‍රයේම ධනකුවේරයකු වන අජේ පිරමාල්ගේ පුතු ආනන්ද් ඇයට මුණගැසී ඇත්තේ කුඩා කාලයේදීමය. පවුල් දෙක අතර සම්බන්ධය දශක ගණනාවක් පුරා දිව යයි. සුප්‍රකට මහා බාලේෂ්වරම් කෝවිලේදි මුල්වරට ආනන්ද් ඊෂා වෙත මේ මහා මංගල්ලයට මුල් වූ ආදර යෝජනාව ගෙනැවිත් තිබේ. ඉතින් මේ සල්ලි ගස් හෙල්ලෙන කාලය දැන්  උදාවී තිබේ. ඒ කෙතරම්ද යත් මේ විවාහයේ ආරාධනා පත පමණක් ඉන්දීය රුපියල් ලක්ෂ 3කි. මේ විස්මිත ආරාධනා පත සමඟ රෝස පැහැ ලේස් දැවටූ පුංචි පෙට්ටියක කුඩා රන් ආලේපිත තෑගි පෙට්ටි 4කි. මේ ආරාධනා පත අඩංගු පෙට්ටිය විවෘත කිරීමත් සමඟ සුබ මංගල ගයාත්‍රි මන්ත්‍රය ඉබේ වාදනය සිදුවෙයි. කොටින්ම එය අම්බානිවරැන්ට පමණක් සිදුකළ හැකි පන්නයේ මංගල හාස්කමකි.

බ්ලුම්බර්ග් වෙබ් අඩවිය කියන්නෙ මේ මඟුලට යන මුළු වියදම ඉන්දිය රුපියල් කෝටි 70ක් කියාය. මාධ්‍ය වාර්තාවල දැක්වෙන පරිදි මංගල උත්සවයේ ආරාධිතයින් රුගෙන ඒම සඳහා වෙන්කර තිබූ ගුවන් යානා සංඛ්‍යාව පමණක්  100කට අධිකය. ඉන් අමුත්තන් පිරිසක් දෙසැම්බර් 7-10 අතර කාලය තුළ අම්බානි නිවස වන ඇන්ටීලියා මන්දිරයට පැමිණි අතර එම සංඛ්‍යාව 5100ක් පමණ වන බව සඳහන්ය. අම්බානිවරැ සහ පිරමාල් පවුල උදායිපුරය පුරා ඇති සියලු තරු හෝටල වෙන්කරගන ඇත. අමුත්තන් සඳහා ජගුවර්, පෝෂේ, මර්සිඩීස්, අවුඩි සහ බී.එම්.ඩබ්ලිව්. රථ දහසකට වැඩි ගණනක් සේවයේ යොදා ඇත. අමුත්තන්ට තුන් වේලම රසමසවුලු ප්‍රදානය කරන අතර ඔවුන්ට 108ක් වූ විවිධ ඉන්දියානු සංස්කෘතීන්ට අයත් කලා නිර්මාණ මිලට ගන්නට ස්වදේශ් බසාර් හෙවත් දේශීය අලෙවි පොළක්ද පිහිටුවා ඇත. බකිංහැම් මන්දිරයට පමණක් දෙවැනි වන අම්බානිවරුන්ගේ තට්ටු 27ක් වූ ඇන්ටිලියා මන්දිරයට සරිලන්නට පිරමාල්වරු සිය පුත්‍රයාට මුහුදු වෙරළ අයිනේ තට්ටු 5ක මන්දිරයක් තෑගි දී තිබේ. එය ඉන්දිය කෝටි 450කි. ඇන්ටිලියා ගොඩනැගිල්ල මුළුමනින්ම රාජකීය මංගල විලාසිතාවන්ගෙන් සැරසී ගත් ගමන්ය. අගමැති මෝදිද මේ රජමඟුලට සහභාගි වන්නට එන නිසා ආරක්ෂාවද තදටම යොදා තිබුණි.

 සුගත් පී. කුලතුංගආරච්චි