2018 දෙසැම්බර් 08 වන සෙනසුරාදා

ධම්මික සාමණේර වත

 2018 දෙසැම්බර් 08 වන සෙනසුරාදා, ප.ව. 12:30 112

ධම්මික සාමණේර වත වනාහි සුනන්ද එරංග පෙරේරා නම් වූ ප්‍රවීණ කෙටිකතාකරුවාගේ නවතම කෙටිකතා සංග්‍රහයයි. මීට පෙර ස්වප්නමය රාත්‍රිය නම් වූ කෙටිකතා කෘතිය ඔස්සේ කෙටිකතාව පිළිබඳව වූ ස්වකීය දක්ෂතාව මැනවින් ගෙනහැර දැක්වූ සුනන්ද ජාතික තලයේ පුවත්පත් ඔස්සේද පාඨකයාගේ අවධානයට පාත්‍ර වූ කෙටිකතා රචකයෙකි.

මෙම කෘතිය පාඨකයා හමුවට පමුණුවා ඇත්තේ ගුරුගෙදර ග්‍රන්ථ කේන්ද්‍රයයි. එය කෙටිකතා අටකින් සමන්විතය.

සුනන්ද එරංග පෙරේරාගේ කෙටිකතාවල විශේෂත්වය වන්නේ නිර්ව්‍යාජ අනුභූතීන්, ආටෝප සාටෝප ආකෘතිවලට නතු නොවී ස්වභාවික ආරක් ඔස්සේ රචනා වී තිබීමයි. ඔහුගේ කෙටිකතාවලට පාදක වූ අනුභූතීන් පිළිබඳව ඔහු මෙසේ කියයි.

මෙම කෙටිකතා සංග්‍රහයේ දැක්වෙන කතා නිමිති සැබෑය. ඔවුන් මට කොතැනකදී හෝ හමුව තිබේ. දෛවය මට අතීතයේදී ලබාදුන් සියලු කටුක හා මිහිරි අත්දැකීම් අද මා පිළිගන්නේ පවිත්‍ර චේතනාවෙනි. දඩාවතේ ඇවිද ගිය ජීවිතයේත් ගුරුවරයකු වශයෙන් වශයෙන් ගතකළ කාලයේත්, විදේශගතව සිටියදීත් මා ලැබූ අත්දැකීම් තවත් කතා සීයක් ලිවීමට වුව ප්‍රමාණවත්ය.

මෙම කෘතියේ එන කාංසියේ පෙම්බරිය, චිත්‍රාවකගේ ස්වයංවරය, ධම්මික සාමණේර වත මෙන්ම උණුසුම් සඳදිය වැනි කෙටිකතා රචනා වී ඇත්තේ පාඨකයා සෞන්දර්යයේ උච්ච ස්ථානයකට ඔසවා තබමිනි. විශේෂයෙන්ම අනුභූතිය උත්කර්ෂවත්ව විස්තර කිරීමට සුනන්ද උපයෝගී කරගන්නා භාෂාව, එමෙන්ම අවස්ථා නිරෑපණය, පරිසර වර්ණනා මෙන්ම ආකෘතිය පාඨකයා කෙටිකතාව කරා සමීප කරවීමට හේතුසාධක වී ඇත. කෙටිකතාව පිළිබඳව සුනන්ද දක්වන ආකල්පයම ඔහුගේ කෙටිකතා පිළිබඳව අපට ඇතිකරන්නේ පහන් සංවේගයකි.

සාහිත්‍යයේ ප්‍රතිභා ශක්තිය උපදින්නේ අනුභූතීන් ඇසුරු කිරීමෙන්ය. එහෙයින්ම අත්දැකීම් විරහිත කතාකරුවා උත්පත්තියෙන් අවාසනාවන්තයෙකි. සුනන්ද කී ආකාරයටම ඔහුගේ කෙටිකතා සාර්ථක වීමට අව්‍යාජත්වය මෙන්ම ස්වභාවික චරිතද හේතුසාධක වී ඇත. ඔහුගේ කෙටිකතා අප සුන්දර ලොවකට ගෙන යන ගමන් අපද එම අත්දැකීමට හවුල් කර ගනී. 

එමෙන්ම සුනන්දගේ වචන ලෝකය විචිත්‍රය. ඔහුටම ආවේණික ශෛලියක් ගොඩනගා ගැනීමට උත්සාහ ගනී. උණුසුම් සඳදිය ඔහු පටන්ගන්නේ මෙසේය.

ගැඹුරු නිශ්ශබ්දතාවකින් යුතුව මැදියම් රාත්‍රිය ගෙවී යමින් තිබියදීත් නදීකා ඉකිබිඳ හඬා වැළපෙමින් තම දුක් අඳෝනාවන් කියවමින් සිටියාය. යහනේ වාඩිවී උකුලේ තිබූ කොට්ටයට හිස තබාගෙන සිටි ඇගේ උරහිස් සැලිණි. උපශාන්ත සිටියේ කණ්නාඩි මේසය ළඟ ඇඳිපුටුවේ වාඩිවෙලාය. කිසියම් නිශ්චිත තීරණයකින් තොරව අනියත සංකීර්ණ සිතිවිලිවලින් යුතුව ඔහු නදීකා දෙස බලා සිටියේය.

ධම්මික සාමණේර වත කෙටිකතාව ඔස්සේ භීෂණ සමයේ සාමණේර හිමිනමක් අත්දුටු සිදුවීම් අපේ සිත් කිළිපොලා යන අයුරින් ගෙනහැර දැක්වීමට සුනන්ද සමත් වෙයි. එහි එක් අවස්ථාවක් ඔහු ගෙනහැර දක්වන්නේ මෙසේය.

ධම්මික හාමුදුරුවන්ට අවසන් වතාවට ප්‍රකෘති සිහිය ලැබුණුවිට ප්‍රශ්න කරන්නෝ උන්වහන්සේ බිම හිඳුවා බිත්තියට හේත්තු කර තවත් නඩු දිනයක් සඳහා සූදානම් කළහ. මේජර් කතා කළේ උද්දාමයෙනි.

ඉතා සුන්දර කෙටිකතා 8ක් ඇතුළත් ධම්මික සාමණේර වත කෘතිය පාඨකයාට ආස්වාදයක් ගෙනදෙන්නා වූ කෘතියකි.

I පාඨක

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00