2018 දෙසැම්බර් 06 වන බ්‍රහස්පතින්දා

හොඳින් මෙන්ම නරකින්ද ඉහළ දමන කුජගේ රුචක යෝගය

 2018 දෙසැම්බර් 06 වන බ්‍රහස්පතින්දා, ප.ව. 08:19 465

වීර ක්‍රියාවල හොඳ නිපුණත්වයක් ඇති හමුදාවල කටයුතු කරමින් දස්කම් පෙන්වන අය රුචක යෝගයෙන් ජන්ම ලාභය ලබති. එසේම මැර බලයෙන්, චණ්ඩිකමින් ජීවිතය මෙහෙයවන ධනවත්තුද මේ යෝගයට උරුමකම් කියති. විශේෂයෙන් මෙම රුචක යෝගයෙන් ජන්ම ලාභය ලබන්නෝ අතිශය තෙදවත් බවින් යුක්තය. සුප්‍රසිද්ධ කැපීපෙනෙන සරු දිවියක් ගත කරන අය වෙති. වස්තු සම්පත, ධන ධාන්‍ය ආදියටද සැබැවින්ම හිමිකම් කියති. මෙම යෝගයෙන් උපන් අයගේ බිය පලා යති. කාටත් බය නැතිව ඉදිරියට යන ගතියෙන් යුක්ත වෙති. සතුරන් මෙල්ල කරමින් පරදවන මොවුන් බොහෝවිට ජය පිට ජය ලබමින් තේජවන්තව වැජඹෙති.

මේෂ හෝ වෘශ්චික ලග්නයෙන් ඉපදී කුජ ලග්නගතවීම නිසා රුචක යෝගය යෙදෙයි. කුජ උච්චක්ෂේත්‍රව සිටින අවස්ථාවලදී තරමක් සුබ ඵල ගෙන දීම අඩු වේ. කොහොම නමුත් රුචක යෝගයේ බලය වඩ වඩාත්ම ප්‍රබල වන්නේ කුජගේ මිත්‍ර ග්‍රහයන් විසින් සුබ දැකීම් ඇතුව සිටියහොත් පමණි. අසුබ ග්‍රහයන්ගේ දැකීම බොහෝවිට රුචක යෝගයේ බලය අඩුකර පෙන්වීමක්ද වේ.

වාසනාවන්ත ජීවිතයක් ගතකිරීමට නම් උනන්දුව තිබිය යුතුය. එසේම සුබ ග්‍රහයෝගයකින්, එසේ නොමැති නම් සුබ ග්‍රහයෝග කිහිපයකින් උත්පත්තියද ලබා සිටිය යුතුය. සමහර විටෙකදී සුබ ග්‍රහයෝගවල තිබෙන සුබ ඵල දුර්වල කරමින් නුසුදුසු නරක පැත්ත කෙරේ. එම නිසා ජීවිතය නරක මඟට යොමුකර නොගත යුතුව ඇත. තම ජීවිතය හොඳම පැත්තට යොමුකර ගතහොත් සුබ ග්‍රහයෝගවල ප්‍රතිඵල එලෙසින්ම ලබාගෙන තම ජීවිත හොඳ පැත්තට යොමුකළ හැකිය. පෙර ඍෂිවරයන් පවසා ඇති අයුරු බලන කල කෙනකුට සුබ ග්‍රහයෝග, අසුබ ග්‍රහයෝග දහස් ගණනින් ඇතිබව පැවසිය යුතුය.

රුචක යෝගය යෙදෙන්නේ අඟහරු නැත්නම් කුජ ග්‍රහයාගෙනි. කුජ එඩිතරය. හිතුවක්කාරය. හිතුවක්කාර ගති තිබුණද ශූරය. වීර වික්‍රමාන්විතභාවයට අධිපතිත්වයක් දරති. කලකෝලාහල, අඬදබරවලට අධිපතියා ලෙස හඳුන්වන අඟහරුගෙන් හදිසි අනතුරු, ලේ වැගිරීම් වැනි පීඩා ඇති කරයි. කුජගෙන් වස විසවලින් හානි සිදුවේ. එමෙන්ම විදුලිසැරවලින් ජීවිතයට පීඩා ගෙන දේ. හදිසි තීරණවලින් ඉක්මන් විවාහයකට මඟපාදන්නේ හතේ කුජ සිටින විටකදීය.

ජන්මියකුගේ උත්පත්තියේදී ලග්නය සතර, හත, දහය යන ස්ථානයක කුජ ග්‍රහයා හෙවත් අඟහරු බලවත්වීම, නොඑසේ නම් උච්චක්ෂේත්‍රව හෝ ස්වක්ෂේත්‍රව සිටීම රැචක යෝගයේ උදාවයි. කුජගේ ස්වක්ෂේත්‍ර රාශිය මකර රාශිය වනවා සේම මේෂ, වෘශ්චික යන රාශි ද්වය කුජගේ ස්වක්ෂේත්‍ර රාශි වේ. යම්කිසි කෙනකු මකර ලග්නයෙන් උත්පත්තිය ලබා එම ලග්නයේ කුජ ග්‍රහයා උච්චක්ෂේත්‍ර බලයකින් වැජඹීම නිසා රුචක යෝගය එම අයටද යෙදේ. මේෂ ලග්නයෙන් උත්පත්තිය ලබා සිටින ජන්මියකුගේ දසවැනි ස්ථානය මකර රාශියට අයත් වෙයි. එසේ වූ විට දසවැන්නේ කුජ ග්‍රහයා සිටීමෙන් හෙවත් ප්‍රවිශ්ට වීමෙන් රැචක යෝගය යෙදෙන අතර කුජ ග්‍රහයා ස්වක්ෂේත්‍ර වීමෙන්ද සාමාන්‍ය ලෙස එම රුචක යෝගයට හිමිකම් කියයි. කෙසේ නමුත් සුබ ග්‍රහයෝගයකින්, සුබ ග්‍රහයෝග කිහිපයකින් උපත ලබා වාසනාවන්ත දිවිපෙවතක් ගතකිරීමට උනන්දුවන්නන් රැචක යෝගයෙන් දස්කම් දක්වන්නෝ වෙති.

දේශමාන්‍ය
ජ්‍යොතිෂ්‍ය විද්‍යා විශාරද,
මහාචාර්ය හේමපාල පතිරණ