2018 දෙසැම්බර් 08 වන සෙනසුරාදා

ආණ්ඩුවේ හබයට විසඳුම කුමක්ද?

 2018 දෙසැම්බර් 08 වන සෙනසුරාදා, ප.ව. 12:31 176

විසඳුම ඇත්තේ මහ මැතිවරණයකයි‍
- නීතීඥ ප්‍රේමනාත් සී. දොළවත්ත

ඉතාමත් පැහැදිලිව මේ රටේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාය. අගමැතිතුමා මහින්ද රාජපක්ෂ මහතාය. අගමැති යන නාමය පාවිච්චි කිරීමද අභියාචනාධිකරණය විසින් පවරපු නඩුවේ කිසිදු අවස්ථවක නවතා දමා නැත. කටයුතු කිරීමේ බලය පමණක් තාවකාලිකව නවතා තිබේ. නව අග්‍රාමාත්‍යවරයා පත්වීමෙන් පසුව විශාල සහන ප්‍රමාණයක් ලැබී තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42/4 අනුව පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීන්ගේ විශ්වාසය දිනාගත හැකි යැයි ජනාධිපතිවරයා කල්පනා කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කෙරෙයි. එදා 2015 ජනවාරි 8 වැනිදා ජනාධිපතිවරයා විශ්වාස කරනු ලබන්නේ පාර්ලිමේන්තුවේ විශ්වාසය දිනාගත හැකි මන්ත්‍රීවරයා රනිල් වික්‍රමසිංහ මහතා බවයි. එය සංඛ්‍යාත්මකවම අවශ්‍ය නොවේ. රටේ ජනතාවගේ මතය ප්‍රකාරව එය වෙනස්විය හැකිය. 2015 දී පැවතියේ සුළුතර ආණ්ඩුවකි. රනිල් වික්‍රමසිංහ මහතාට තිබුණේ පාර්ලිමේන්තුව මන්ත්‍රී ධූරය 42 කි. ජනාධිපතිවරයා එම අවස්ථාව ඔහුට ලබාදෙන්නේ ජනතාව වෙනසක් බලාපොරොත්තු වෙමින් පැවති පාලක පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයාව පරාජය කර තිබුණ හෙයිනි.

නමුත් මෙම අවස්ථාවේදී එවන් මැතිවරණයක් නොවූවත්  ජනතාව විසින් පළකරන නව මතවාද තුළ පවතින රජය ප්‍රතික්ෂේප කරනු ලැබීය. 

එහි ප්‍රතිඵලයක් ලෙස අග්‍රාමාත්‍යවරයා වෙනස් කිරීමට සිදුවිය. වඩාත් සමීපතම මැතිවරණ ප්‍රතිඵලය දෙස බැලීම අග්‍රාමාත්‍යවරයා සුළුතරද බහුතරද කියා බැලීමට වඩා වටී. වෙස්මිනිස්ටර් පාර්ලිමේන්තුව ක්‍රමයක් යටතේ අප සාමාන්‍යයෙන් උපයෝගී කරගත යුත්තේ ජනමතයි. ඒ අනුව හිටපු අගමැතිවරයා ජනමතට හිස නමා ඉවත්විය යුතුව තිබුණි.

මෙරට අපට සිටින්නේ රටේ මහජනතාවගේ සෘජු ඡන්දයෙන් පත්වන විධායක ජනාධිපතිවරයෙකි. නිර්මාපකයන් ඒ පිළිබඳ කීවේ මේ හරහා ගැහැනියක් පිරිමියෙක් කරන්නත් පිරිමියෙක් ගැහැනියක් කරන්නත් පමණක් නොහැකි බවයි. එය ඒ තරම් බලවත්ය. අග්‍රාමාත්‍යවරයා සමඟ වසර තුනහමාරක් එක්ව වැඩකිරීමේ උත්සාහයක් ජනාධිපතිවරයා දරා ඇත. මෙවන් දැඩි තීන්දුවකට ඔහු එලඹෙන්නේ ඉන් අනතුරුවය. බැඳුම්කර වංචාව, ඉහළ අමාත්‍යවරුන්ගේ කොමිස් වංචා, රටේ සභ්‍යත්වය, භෞමික අඛණ්ඩතාව විනාශ කරමින් සන්ධීය රාජ්‍යයක් කරා ගෙන යාම, ජනාධිපතිවරයාට එල්ල වූ ජීවිත තර්ජනයක් අවසාන වශයෙන් ඔහු මෙම තීරණය සඳහා පෙළඹවීය.

මෙම අර්බුදකාරී තත්ත්වය ඉක්මනින්ම වෙනස්වනු ඇත. මෙරට ජනතාව ඉදිරියට ගෙනයා යුතුව තිබේ. එවිට ජනතාව පාලන බලය ලබාදිය යුත්තේ කාටදැයි තීරණය කරනු ඇත. පැහැදිලිවම මෙම විසඳාගත යුත්තේ මහ මැතිවරණයකින්ය.

ජනාධිපති ලබා දී ඇත්තේ වැරදිම පූර්වාදර්ශයක්
- ජනාධිපති නීතීඥ ජේ.සී. වැලිඅමුණ

ජනාධිපතිවරයාට අගමැති ධූරය හිස් වූ අවස්ථාවක අගමැතිවරයෙක් පත් කරගත හැකිය. නමුත් එම තෝරාගැනීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සීමාවන් දෙකක් දක්වා තිබේ. ඉන් එකක් නම් තෝරාගන්නා අගමැතිවරයා පාර්ලිමේන්තුවේ උපරිම විශ්වාස තිබෙන පුද්ගලයා විය යුතුය. දෙවැන්න නම් එය ජනාධිපතිවරයාගේ මතය විය යුතුය. ඇතැමුන් සිතන්නේ මේ මතය තිබූ විට ඔහුට ඕනෑම අයෙක් පත්කළ හැකිය කියාය. නමුත් එම මතය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අර්ථ නිරූපණය වී තිබෙන්නේ පක්ෂග්‍රාහී හෝ මනඃකල්පිත මතයක් නොවිය යුතුය. එය කරුණු අනුව ඔප්පු කළ හැකි විය යුතුය.

සාමාන්‍යයෙන් මෙය සිදුවන්නේ මැතිවරණයකදී වැඩියෙන්ම ඡන්ද ලබාගන්නා පක්ෂයට පාර්ලිමේන්තුවේ බහුතරයක් තිබේ නම් ඔවුන් අගමැතිවරයා ලෙස පත්විය යුත්තේ කවුරුන්දැයි නිර්දේශ කරනු ලබයි. එවිට අනිවාර්යයෙන්ම ජනාධිපතිවරයා එම තැනැත්තා අගමැති ලෙස පත්කරයි. බහුතරයක් නොමැතිවිට බහුතරය සාදාගැනීමට හැකි පක්ෂ එකතු වී බහුතරයක් සකසාගෙන නමක් යෝජනා කරයි. එය සාමාන්‍යයෙන් සිදුවන්නේ පක්ෂ නායකයන් හමුවී තීරණය කිරීමෙනි. ඒ හැරෙන්නට වෙනම කිසිවෙක් අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කිරීමට ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ඉඩක් නැත.

දැන් ජනාධිපතිවරයා අහවලාගේ ක්‍රියාකලාපය සංස්කෘතිකව ගැලපෙන්නේ නැතැයි කියමින් සිටී. නමුත් එවන් දෑ ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ප්‍රශ්නයක් කරගත නොහැක.

ජනතාව ඔහුට ඡන්දය ලබාදී ඇත්නම් එය නැවත උරගා බැලීමට අවස්ථාවක් ජනාධිපතිවරයාට නැත. ජනාධිපතිවරයා මෙම ප්‍රකාශය කරන්නේ ඔහුගේ දෘෂ්ඨිය අනුව විය හැකිය. නමුත් එය ඒ ආකාරයෙන් සලකා බැලුවහොත් ඕනෑම දේශපාලන පක්ෂයක නායකයෙක් ජනාධිපති ධුරයට පත්වූ විට විරුද්ධ දේශපාලන පක්ෂයේ ඔහුට කැමති දුර්වල පුද්ගලයකු පත් කරගෙන ආණ්ඩුව පවත්වාගෙන යාමට උත්සාහ දැරිය හැකිය. 19 වැනි සංශෝධනය ගෙන ඒමේ එක් අරමුණක්නම් එම තත්ත්වය වළක්වා ගැනීමයි.

ඕනෑම රාජ්‍ය සේවකයකු ජනාධිපතිවරයකු ඇතුළු සැමට අභිමතයක් තිබේ. නමුත් එම අභිමතය ක්‍රියාත්මක කරන සීමාවන් පොදුරාජ්‍ය නීතිය යන්නේන් අර්ථ නිරූපණය වේ. එසේ හෙයින් කිසිවකුට තම අභිමානය අත්තනෝමතික ලෙස ක්‍රියාත්මක කළ නොහැක. උදාහරණයක් ලෙස රියැදුරු බලපත්‍ර ගත් පසු යමෙකු රිය පැදවීමට අභිමතයක් තිබේ. නමුත් පාරේ දකුණේ රිය පැදවීමට  බීමතින් රිය පැදවීමට ඔහුට නොහැක. මන්ද එය තීරණය වන්නේ නීතියෙනි. ජනාධිපතිතුමාගේ අභිමතයටත් ඒ නීතිය ඒ ආකාරයෙන්ම බලපායි.

ජනාධිපතිවරයකුට දිය හැකි වැරදිම පූර්වාදර්ශයක් දැන් ලබාදී තිබේ. මෙම පූර්වාදර්ශයත් සමඟ එන ප්‍රශ්න ඊළඟ පරම්පරාවටත් බලපායි. ජනාධිපතිවරයා මෙන් තමන්ට ඕනෑ කෙනෙකු පත්කර ගැනීමේ පූර්වාදර්ශයක්  රටේ සෙසු නායකත්වයත් ලබාගනු ඇත. මෙය ඉතාමත් භයානක අදූරදර්ශී ක්‍රියා කලාපයකි. එය සාධාරණීකරණය කරන්නට යාමද වරදකි. එයින් මතුවන සමාජ දේශපාලන ව්‍යාකූලත්වයට අවසානයේ නිමාවන්නේ පාරේ ලේ හලා ගැනීමෙනි. කිසිවෙක් ඊට වග නොකියති. දේශපාලනඥයන්ට මෙවන් දෑ කිරීමට  නම් පහසුය.

ජනපතිට උවමනා විදියට අගමැති පත් කරන්න බෑ
- ජ්‍යෙෂ්ඨ නීතිඥ අජිත් පතිරණ

ජනාධිපතිවරයාට අගමැති කවුද කියා තීරණය කළ හැකිද? මෙම පැනයට විවරණ දෙකක් ලබාදිය හැකිය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42ක වගන්තියේ ඉතාම පැහැදිලිව මේ පිළිබඳව දක්වා තිබේ.

"ජනාධිපතිවරයාගේ මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කරනු ලැබිය යුතුය."

මෙහිදී ගැටලු නිර්මාණය වන්නේ මතය අනුව යන්න සහ උපරිම විශ්වාස ඇති පුද්ගලයා යන්න සම්බන්ධයෙනි. මේ දෙස බැලිය යුත්තේ ප්‍රායෝගිකවයි. පාර්ලිමේන්තුවේ උපරිම විශ්වාසය යමෙකුට තිබෙන බවට සිතා ජනාධිපතිවරයාට මතය ඇති කරගත නොහැක. එය ප්‍රායෝගිකව නොවේ. පාර්ලිමේන්තුවේ විශ්වාස වැඩි පුද්ගලයා කවුරුන්දැයි දැනගත යුත්තේ පාර්ලිමේන්තුවෙනි. ජනතාවගේ ව්‍යවස්ථාපිත පරමාධිපත්‍යය ඡන්ද බලයෙන් ලබා දී ඇත්තේ පාර්ලිමේන්තුවටයි. එය එක් එක් අයගේ සිතුවිලි අනුව වෙනස් කළ නොහැක. ව්‍යවස්ථාවේ එම පරමාර්ථය කොපමණ කාලයකට ලබාදී ඇතිදැයි සඳහන් වෙයි. 

මෙය සරලව උදාහරණයක් ඇසුරින් පහදතොත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයාගේ බලතල යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරු පත්කළ හැකිය.

අභියාචනාධිකරණ, අධිකරණ විනිශ්චයකාරවරු පත්කළ හැකිය. නමුත් ජනාධිපතිවරයාට තමන් කැමති පුද්ගලයකු පත්කළ නොහැකිය. අදාළ නම් ව්‍යවස්ථාපිත කොමිෂන් සභාවට යැවිය යුතුය. ව්‍යවස්ථාපිත කොමිෂන් සභාවෙන් අනුමත කළහොත් ජනාධිපතිතුමන්ට පත්කිරීම් සිදුකළ හැකිය. මේ අනුව ජනාධිපතිවරයාට රටේ අභියාචනාධිකරණ විනිශ්චයකාරවරයෙක් තමන්ට වුවමනා ආකාරයට පත්කර ගැනීම නොහැකි නම් රටේ අගමැතිවරයා තමන්ට වුවමනා ආකාරයට පත්කර ගන්නේ කෙසේද? 

ජනවරම තිබෙන්නේ ද විධායක ක්‍රමය අහෝසි කිරීමටයි. මෙරට ජනතාවට හුස්ම ගන්නටත් විධායක බලතල බාධාවක් වූ යුගයක් විය. එසේ හෙයින් ජනතාව මෙම විධායක ක්‍රමය අහෝසි කිරීමට ජනවරමක් ලබාදුණි. 19 වැනි සංශෝධනය ඉදිරිපත් වන්නේ ඒ අනුවය. ඒ හේතුවෙන්ම ජනාධිපතිවරයා 19 වැනි සංශෝධනයට අනුව වැඩ කළයුතු වෙයි. 19 ව්‍යවස්ථාවේ 42 වැනි වගන්තියේ පැහැදිලිව අගමැතිවරයා පත්කරන ආකාරය දක්වා තිබේ. මෙහි පුළුල් අර්ථය නම් ජනාධිපතිවරයාට අභිමතානුසාරී බලය ඇත්තේ 42 වගන්තියට යටත්ව බවය.

මෙහි තවත් භයානක තත්ත්වයක් ඇත. මේ වනවිට ජනාධිපතිතුමාගේ මුක්තිය යම් පමණකට අඩුකර තිබේ. ජනාධිපතිවරයා ධූරය මෙහෙයවනු ලබන කාලයෙන් ඔහු සිදුකරනු ලබන ව්‍යවස්ථා උල්ලංඝනය කිරීම් හෝ අපරාධමය වගකීම සම්බන්ධයෙන් නඩු පැවරීමට අයිතිය තිබේ. ඊට මුක්තියක් නැත. දණ්ඩ නීති සංග්‍රහයේ 115 වැනි වගන්තියේ රාජ කුමන්ත්‍රණය දක්වා ඇත. කවුරුන් හෝ පවතින ආණ්ඩුවක් පෙරළන්නට කුමන්ත්‍රණය කරනවා නම් දඬුවම ජීවිතය දක්වා සිරදඬුවම හෝ මරණීය දණ්ඩනයයි. ඒ වගකීම පිළිබඳව පරිස්සම් විය යුතුය.

බලය තිබෙන්නේ ජනාධිපතිටයි
- නීතිඥ සාගර කාරියවසම්

ජනාධිපතිවරයාගේ විශ්වාස අනුව පාර්ලිමේන්තුවේ බහුතරයකගේ කැමැත්ත දිනාගන්නා පුද්ගලයා අගමැති ලෙස පත්කළ යුතුය. ජනාධිපතිවරයාගේ මතයත් එය තීරණය කිරීමට වැදගත් වේ. ජනාධිපතිවරයා එලෙස පත් කිරීමෙන් අනතුරුව පත්කළ තැනැත්තාට අකැමැති නම් පාර්ලිමේන්තුවට ඒ සම්බන්ධයෙන් තීරණ ගැනීමේ හැකියාවක් තිබේ. ඊට අදාළ ප්‍රතිපාදන ව්‍යවස්ථාවේ සඳහන් කර ඇත. නමුත් මූලික වශයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අග්‍රාමාත්‍යවරයා පත්කිරීමේ බලය ලබාදී ඇත්තේ ජනාධිපතිවරයාටය.

ව්‍යවස්ථාවේ එල්බී සිටිමින් විශාල නඩු ගොඩක අපි පැටලී සිටිමු. ඒ අනුව ව්‍යවස්ථාව අනුව සියල්ල සිදුවිය යුතුය. මේ මොහොතේ රටට අත්‍යවශ්‍යම දෙය මහ මැතිවරණයකට යාම බව ත්‍රෛනිකායික හිමිවරු මෙන්න අගරදගුරුතුමා පවා ප්‍රකාශ කර තිබේ. නමුත් පිරිසක් ව්‍යවස්ථාව අනුව එය සිදුකළ නොහැකි බව කියමින් සිටී. එසේ නම් අගමැතිවරයා පත්කිරීම සම්බන්ධ කාරණයද ව්‍යවස්ථාව අනුව සිදුවිය යුතුය. ව්‍යවස්ථාවට අනුව එය සිදුකළ යුත්තේ ජනාධිපතිවරයාගේ මතය අනුවය. ජනාධිපතිවරයාගේ මතය වැරදි නම් පාර්ලිමේන්තුව තුළින් පත්කළ පුද්ගලයාව ඉවත් කිරීමට හැකිය. එසේ ඉවත් කළ විට නැවත සිය මතය අනුව අග්‍රාමාත්‍යවරයා පත් කිරීමේ බලය ජනාධිපතිවරයාට ලැබේ. අප කැමැති වුණත් අකැමැති වුවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇත්තේ එම තත්ත්වයයි.

දෙසිය විසිපහ කීවද නොකරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ටී.එන්.ඒ. එක සහ ජවිපෙ එකතුව පිළිබඳව සිතා විය යුතුය. එය. දැනට ඇතිවී තිබෙන තත්ත්වය ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය යන ආයතන තුනටම අයහපත් ලෙස බලපායි. 

රටක පාලකයකු පත් කරගත යුත්තේ ජනතාවගේ ඡන්ද බලයෙනි. නමුත් ඒ පාලන කිරීමේ සංකල්ප මේ වනවිට අධිකරණය වෙත ගෙන ගොස් තිබේ. මේ තත්ත්වය ප්‍රජාතන්ත්‍රවාදයට එතරම් හිතකර නැත. එනිසාම මෙම ප්‍රශ්නය ව්‍යවස්ථාදායකය හා විධායකය විසින් බේරා ගතයුතු ප්‍රශ්නයක් බවට පත්වී තිබේ.

අවසානයේ සඳහන් කළ යුත්තක් ඇත. ජනාධිපතිවරයා තමන්ට බලය තිබෙන බව කියයි. එය සත්‍යයකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඔහුගේ මතය අනුව එම පත්කිරීම සිදුකිරීමට බලයක් ලබා දී තිබේ. පාර්ලිමේන්තුවට ඊට එරෙහි වීමටද හැකිය. ඒ අනුව මෙම ගැටලුව ඉවර නොවෙන නැවත නැවත සිදුවිය හැකි දෙයකි. යහපත් සුදුසුම දෙය වන්නේ විධායකය හා ව්‍යවස්ථාදායකය සමාදානයෙන් මෙම අර්බුදය නිමාකර ගැනීමයි.

අගමැති තීන්දුකළ හැක්කේ ජනපතිට පමණයි
- ජ්‍යෙෂ්ඨ නීතීඥ විවෘත විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ පීඨාධිපති රාජා ගුණරත්න 

වර්තමාන ආණ්ඩක්‍රම ව්‍යවස්ථාව යටතේ අගමැතිවරයා කවුරුන්ද යන්න තීරණය කිරීමේ පූර්ණ බලය ඇත්තේ ජනාධිපතිවරයාටය. පාර්ලිමේන්තුව විසින් අගමැති තෝරාගන්නවා යන්න සම්පූර්ණ අසත්‍යයකි. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ කෙටුම්පතේ එවැන්නක් තිබුණා විය හැකිය. නමුත් සම්මත කර කථානායකවරයා අත්සන් කර නීතීයක් බවට පත් වූ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ එවැන්නක් නැත. එහි තිබෙන්නේ පාර්ලිමේන්තුව තුළ උපරිම විශ්වාස ඇතැයි ජනාධිපතිවරයා සිතන පුද්ගලයා අගමැතිවරයා ලෙස පත්කළ යුතුය කියාය.

මෙහි නිර්ණායක දෙකක් තිබේ. ජනාධිපතිවරයා විසින් පත්කිරීම සිදුකරනු ලබයි. පාර්ලිමේන්තුවේ මේ පුද්ගලයාට උපරිම විශ්වාස ඇතැයි ජනාධිපතිවරයා සිතේ නම් එම පත් කිරීම සිදුවේ. ඒ ජනාධිපතිවරයාගේ විශ්වාස නම් වූ මනෝමූලික නිර්ණායකය මතය. ඒ හැරෙන්නට වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිපාදනවලට අනුව අග්‍රාමාත්‍යවරයා පත්කිරීමට කිසිදු බලයක් පාර්ලිමේන්තුවට ලබා දී නැත.

පාර්ලිමේන්තුවේ දෙසිය විසිපස්දෙනාම කියූවත් නැවත හිටපු අග්‍රාමාත්‍යවරයා පත් නොකරන බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශය නීත්‍යානුකූල පදනමක් තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අග්‍රාමාත්‍යවරයා පත් කිරීමේ අනුව අනන්‍ය බලය ඇත්තේ ජනාධිපතිවරයාටය. එනිසාවෙන් පාර්ලිමේන්තුවේ 225ක් නොව 500ක් සිටියද ඒ සියලු දෙනා අත්සන් කර අසවලා අගමැති ලෙස පත්කරන ලෙස ඉල්ලා සිටියද වර්තමාන නීතියට අනුව ජනාධිපතිවරයාට එය නොකර සිටිය හැක.

ජනාධිපතිවරයාට  අග්‍රාමාත්‍යවරයා පත්කිරීමේ හැකියාව පිළිබඳව විවිධ තර්ක මතුවේ. නමුත් සාමාන්‍ය තර්ක පදනම් සහිතවත් පදනම් රහිතවත් තිබිය හැක. මුලාකරන තර්ක, දැනුම්වත් කරන තර්ක, විනාශකාරී තර්ක, ප්‍රගතිශීලී තර්ක යනුවෙන් විවිධ තර්ක තිබේ. ඒ අනුව මෙවා ඉතාම දැනුවත්ව ජනතාව මුලාකරමින් රැවටීම කරන තර්ක වෙයි.

මෙරට ව්‍යවස්ථාදායකය විධායකය අධිකරණ යන සියල්ලට බලය ලැබෙන්නේ ජනතාවගෙනි. නිතී සැකසීමේ බලය, නීති ක්‍රියාත්මක කිරීමේ බලය, අධිකරණ බලය මේ බල තුනම ඇත්තේ ජනතාව සතුවය. එය ජනතා පරමාධිපත්‍යයයි. දැන් ජනතාව මේ වෙලාවේදී තීරණයක් ගැනීමට මෙම බලය ඉල්ලා සිටී. මෙහිදී උපරිම සහ සුපිරි ප්‍රජාතන්ත්‍රවාදය නම් පරමාධිපත්‍යය බලය ක්‍රියාත්මක කිරීම සඳහා ජනතාවට ඡන්දයක් ලබා දීමයි. මැතිවරණකට මුහුණු දීමට බයක් දක්වන්නේ ජනතාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූ පක්ෂ හා කණ්ඩායම්ය. එහෙත් මෙම විකෘති බය නැතිකළ හැක්කේ ජන මතය ප්‍රකාශ කිරීමට ඉඩ දීමෙනි.

බහුතර මන්ත්‍රීන්ගේ තීරණය හැර වෙනත් තෝරාගැනීමක් බෑ
- පුවත්පත් කතුවර නීතිඥ කේ. ඩබ්ලිව්. ජනරංජන

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන පරිදි අග්‍රාමාත්‍යවරයා  පත්කළ යුත්තේ ජනාධිපතිවරයාය. පාර්ලිමේන්තුවේ උපරිම මන්ත්‍රීවරුන්ගේ විශ්වාස දිනාගත හැකි යැයි ජනාධිපතිවරයා සිතන මන්ත්‍රීවරයා අගමැතිවරයා ලෙස තොරාගත යුතුය. බොහෝ දෙනා වැරදියට අර්ථ දක්වන්නේ (ජනාධිපතිවරයා සිතන) යන්නයි. නමුත් මෙහිදී ජනාධිපතිවරයාට ඕනෑම දෙයක් සිතිය නොහැකිය. පාර්ලිමේන්තුවේ සිටින ඕනෑම අයෙක් ජනාධිපතිවරයාට අගමැති ලෙස පත්කළ නොහැකිය. ඔහුගේ අභිමතයට සීමාවන් තිබේ. සීමාව වන්නේ පාර්ලිමේන්තුවේ උපරිම විශ්වාස දිනාගත් කෙනා යන්නයි.

මෙම උපකල්පනය මත ජනාධිපතිවරයා තමන් සිතන කෙනාව අගමැති ලෙස පත්කළා යැයි සිතමු. නමුත් යම් ආකාරයකින් පාර්ලිමේන්තුව තුළ විරෝධතාවක් ඇති වුවහොත්, බහුතරයකගේ කැමැත්ත ඔහුට නැතැයි කියා පාර්ලිමේන්තුව තුළින් ප්‍රකාශයට පත්වුවහොත්, ජනාධිපතිවරයාට ඒ සම්බන්ධයෙන් නැවතත් තීන්දුවක් ගැනීමට සිදුවේ. එසේ නම් පාර්ලිමේන්තුවේ බහුතරය අකමැති පුද්ගලයකු අග්‍රාමාත්‍ය ධූරයට පත්කිරීමට ජනාධිපතිවරයාට හැකියාවක් නැත. 

මෙහි අනෙක් කාරණය නම් පාර්ලිමේන්තු තුළ සිටින යම් මන්ත්‍රීවරයෙක් කෙරෙහි උපරිම විශ්වාසය තිබේ යැයි බහුතර මන්ත්‍රීවරු පිරිසක් පවසයි නම් ජනාධිපතිවරයා ඔහුව තෝරාගත යුතුය. ඒ හැරෙන්නට වෙන කිසිදු තෝරා ගැනීමක් ජනාධිපතිවරයාට නැත.

දෙසීය විසිපස් දෙනාම අනුමත කළත් හිටපු අගමැතිවරයා නැවත පත් කරන්නේ නැති බව කියන්නට ජනාධිපතිවරයාට කිසිදු පදනමක් නැත. එය එතුමා ජනාධිපතිවරයකු වශයෙන් නොකිව යුතු දෙයකි. එහි අංශුමාත්‍රයක බලයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඒ වෙනුවෙන් නැත.

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම, අලුත් අගමැතිවරයෙක් පත් කිරීම, එම අගමැතිවරයාට ඇතැයි කියන බලතලද, මගේ මතය අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි වෙයි. මෙය වැරදි පූර්වාදර්ශයක් වන්නේ මෙම වැරදි හැසිරීම දිගින් දිගටම අනුගමනය කිරීමට පටන් ගැනීම තුළිනි. මෙවැනි ලෙසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පැත්තකට දමා වැඩකරන ජනාධිපතිවරුන් ලෝකයේ ඇත්තේම නැති තරම්ය. මෙවැනි උදාහරණයක් ඇත්තේ ලංකාවේ පමණි.

තවත් පසෙකින් තේරුම් ගත යුත්ත නම් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් විධායක ජනාධිපතිවරයාගේ බලතල අඩුකර ඇති බවයි. එසේ තිබියදීත් ජනාධිපතිවරයෙක් ඒ සීමාව තුළත් මේ ආකාරයට හැසිරෙයි නම් විධායක ජනාධිපති ක්‍රමය කොතරම් බිහිසුණුද යන්න අප පාඩමක් ලෙස උගත යුතුය. ජනතාවත් විධායක ජනාධිපතිවරයාට මෙවන් විශාල බලයක් තිබේ යැයි විශ්වාස කරමින් සිටී. ජනාධිපතිවරයා විසින් තමන් පාලනය කරන බව සිතයි. එහෙත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කොතැනකවත් විධායක ජනාධිපතිවරයාට තනිවම මේ සියලු වැඩ කළ හැකි බව දක්වා නැත. විධායක ජනාධිපතිවරයාටත් ඇත්තේ පාර්ලිමේන්තුව හා අධිකරණයට සමාන බලයකි. නමුත් මෙම අත්තනෝමතික හැසිරීමෙන් අප උගත යුතු පාඩම නම් ලැබෙන පළමුවන අවස්ථාවේදීම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු බවයි.

I සංවාද සටහන - චමිඳු නිසල්