2018 දෙසැම්බර් 08 වන සෙනසුරාදා

පිටකොටුවේ නත්තල් බිස්නස්

 2018 දෙසැම්බර් 08 වන සෙනසුරාදා, ප.ව. 12:30 97

මේ ගෙවී යන්නේ සීතල නත්තල් සමයයි. සොබාදහම සිය සෞම්‍ය සීත කාලගුණයෙන් මුළු රටම පවන් සලන මේ දින කිහිපය රටේ උත්සව පවත්වන්නන්ගේම සමයයි. නාගරික කිතුනු බැතිමත්හු අවුරුද්ද පුරාම දත කට මැදගෙන බලා සිටින්නේ ශීතල දෙසැම්බරයේ මේ දින කිහිපය එළඹෙන තුරුය.

වසරේ අවසන් සැණකෙළිය වූ නත්තල නිමිත්තෙන් පවත්වන නා නා ප්‍රකාර වෙළෙඳසල්පිල් සොයා කොළඹ නගරයේ සැරිසැරූ අපට දක්නට ලැබුණේ කුඩා හා මහා පරිමාණ මෙන්ම පදික වේදිකාව තුළද නත්තල් භාණ්ඩ අලෙවි කරනා ස්ථාන රාශියකි.
කොළඹ පිටුකොටුව ආශ්‍රිතව වීථි ගණනාවක් නත්තල් සැරසිලි වෙළඳාමෙන් පිරී ගොසිනි. මල්වත්ත පාර හන්දිය සිට කෙළින් වීදිය පුරා පදිකවේදිකාව සහ හන්දි අසල පාට පිරුණු නත්තල් සැරසිලි අලෙවිසල්ය. එක් තට්ටුවක වෛවර්ණ පැහැයෙන් බැබළෙන බෝල, තරැ, පබලු වැල් සහ දිලිසෙන රැළි වර්ගය. තව ලෑලි තට්ටුවක නත්තල් සීයාගේ අනුරැව, මුවන්ගේ රූප, නත්තල් ගස් වලින් පළමු හරස් වීදිය පිරී ගොසිනි. නමුත් පෙර වසරවල මෙන් නොව මෙවර තවමත් එම වීදිවල සිටිනා පාරිභෝගිකයන්ගෙන් පිරී පැවතියේ නැත.

වෙනදාට ගෙන්වන නත්තල් ගස්වලට වඩා මේ නත්තල් ගස් විශේෂයි. අනික තමයි බැලූ බැල්මට මේ ගස්වල පෙනුමක් තියෙනවා. හැබැයි තවමත් එච්චර බිස්නස් එකක් නැහැ. අපත් සමඟ පළමුව අදහස් දක්වමින් ෆයිරුස් පැවසීය.

අපි පහුගිය මාසේ 25 තමයි මේ තත්තල් බඩු තට්ටුව දැම්මේ. තාමත් හරියට බිස්නස් නැහැ. වෙනදා මේ වෙනකොට සාමාන්‍යයෙන් හොඳ බිස්නස් එකක් තියෙනවා. හැබැයි වැස්සත් එක්ක බිස්නස් අඩුවෙලා තියෙනවා. සේල් එකක් වෙයි කියලා හිතනවා. හැබැයි ගිය අවුරැද්දේ තරම් සේල් එකක් තියෙන එකක් නැහැ කොහොමත්. මොකද බිස්නස් වෙනවා නම් මේ වෙනකොට මේ දාපු බඩු දවසෙන් දෙකෙන් විකිණෙනවා. බලමු තව දවස් තියෙනවානේ. කොහොමත් 10 වැනිදායින් පස්සේ වගේ බිස්නස් එකක් තියෙයි කියලා අපි හිතනවා.

ෆයිරුස්ගෙන් සමුගත් අපි මල්වත්ත වීදියෙන් හැරී කෙලින් වීදිය දිගේ ඉදිරියට ඇදුණෙමු. නවතම නත්තල් ගස් අලෙවි කරමින් සිටි අයකු වෙත අප ළඟා වූයේ නත්තල් ගස්වල අලෙවිය පිළිබඳ දැනගැනීමටය.

පිටකොටුවේ පදික වේදිකාවේ වසර 15ක පමණ වෙළෙඳ අත්දැකීමක් ඇති සේකර නම් වූ ඔහු නත්තල් භාණ්ඩ අලෙවිය පිළිබඳව අපට මෙලෙසින් අදහස් පළ කළේය.

මම අනිත් අයිටම් විකුණන්නේ නැහැ. නත්තල් ගස් විතරයි විකුණන්නේ. මේ කාලෙට ඉතින් මේක තමයි බිස්නස් එක. ඒ නිසා තමයි වැඩි දෙනෙක් මේ බිස්නස් එකට බැහැලා තියෙන්නේ. දැන් වැඩි හරියක් තියෙන්නේ ප්ලාස්ටික් නත්තල් ගස්. මේවා එක දවසක් පාවිච්චි කරලා විසිකරන්න ඕන නැහැ. නැවත පාවිච්චියට ගන්නත් පුළුවන්. මේ දවස්වල නම් එච්චර ලොකුවට වෙළඳාමක් නැහැ. ගොඩක් අය එනවා ගාණ අහලා බලලා යනවා. මිනිස්සු ළඟ සල්ලි නැති නිසා බලලා යන ප්‍රමාණය තමයි වැඩි. බඩුගන්න ප්‍රමාණය ගොඩක්ම අඩුයි. මේ විදියට බිස්නස් නැතුව තිබුණොත් මේ බඩුවල ගාණවත් කවර් කරගන්න බැරිවෙයි කියලා තමයි අපි හිතාගෙන ඉන්නේ. කොහොම හරි බිස්නස් වෙන අවුරැදුවලට වඩා අඩුයි.

සේකරගෙන් සමුගත් අපි තවත් විශාල ප්‍රමාණයේ නත්තල් සැරසිලි මෙන්ම පොඩිත්තන්ගේ හිත් ඇද බැඳ ගන්නා සෙල්ලම් බඩු රාශියක් අලෙවි කිරීමට තිබූ ස්ථානයට සේන්දු වූවෙමු.

නමින් මිස්කාරි වූ ඔහු වසර කිහිපයක්ම නත්තල පමණක් වෙළෙඳාමේ යෙදෙන්නෙකි. මෙවර නත්තලෙහි නත්තල් සැරසිලි පිළිබඳව මෙලෙසින් අදහස් පළ කළේය.

මම අවුරුදු පහක් හයක් පුරාවටම මේ තට්ටුව බද්දට අරගෙන නත්තල් බඩු දාලා විකුණනවා. හැබැයි දැන් අවුරුදු පහ හයකට කලින් තිබුණු තත්ත්වය නෙවෙයි දැන් තියෙන්නේ. ඉස්සර මේ කාලය වෙනකොට අපි දෙපාරක් බඩු ගෙනැල්ලා දාලා ඉවරයි. ඒ වුණාට මේ දැන් අවුරුදු දෙකක් විතර බිස්නස් හොඳටම වැටිලා. ගිය අවුරුද්දෙත් බඩු ඉතුරු වුණා. ඒත් පාඩු වුණේ නැහැ. ඒ වුණාට මේ අවුරුද්දේ ගෙනාපු සල්ලිවත් හොයාගන්න ලැබෙයි කියලා හිතන්නේ නැහැ. කොහොමත් මේ අවුරුද්දෙත් වැඩිපුර බිස්නස් එකක් නැත්නම් මේ බිස්නස් එක නතර කරන්න තමයි හිතාගෙන ඉන්නේ. බිස්නස් නැත්නම් බොරැවට අතින් වියදම් කරලා මේ විදියට බිස්නස් කරන එක ඇත්තටම බොරු වැඩක්.

දෙවැනි වීදියෙහි නත්තල් සැරසිලි අලෙවි කරනා ස්ථානයක පාරිභෝගිකයන් තරමක් ගැවසුණු අතර එම ස්ථානයෙහි වෙළෙඳාමෙහි යෙදී සිටි අමිර්ගෙන්ද මෙවර නත්තල් සැරසිලි අලෙවිය පිළිබඳව අදහස් විමසුවෙමු.

දැනට නම් මේ බිස්නස්වල වරදක් නැහැ. මේ පළවෙනිදා තමයි අපි තට්ටුව දැම්මේ. 24 වැනිදා වෙනකම් කොහොමත් බිස්නස් කරනවා. මේ වැස්සත් එක්ක මිනිස්සු එන එක ටිකක් අඩුවෙලා තියෙනවා. ඒ වුණාට උදේ කාලේ සැලකිය යුතු වෙළෙඳාමක් තියෙනවා. කොහොමත් මේ මාසේ 15න් පස්සේ වගේ බිස්නස් එක හොඳ වෙයි කියලා අපි බලාපොරොත්තු තියාගෙන ඉන්නවා.

අමිර්ගේ ලෑලි තට්ටුවෙන් මඳක් ඈතට වෙන්න තිබූ හුදකලා ස්ථානයක වෙළෙඳාමේ යෙදී සිටි බාස්කර් ඉතාම ඕනෑකමෙන් අපත් සමඟ එකතු විය.

අල්ලා දෙවියන්ගේ පිහිටෙන්, අපිට නම් මේ බිස්නස් එකේ කියන්න තරම් වරදක් නැහැ. මේ දවස්වලත් තරමක් හොඳ මට්ටමේ බිස්නස් එකක් තිබුණා. කොහොමත් 20 ඉඳන් 24 වෙනකම් හොඳ සේල් එකක් තියෙයි. පහුගිය අවුරුද්දෙත් එහෙම තමයි සේල් එක තිබුණේ. මිනිස්සු එහෙම එනවා. බඩු අරගෙන යනවා. අලුත් අලුත් අයිටම් ආවම වෙනදට වඩා ඒවා විකුණගන්න පුළුවන්. කොහොමත් මේ වැස්ස නිසා තමයි පොඩ්ඩක් විතර බිස්නස් අඩුවුණා නම් වුණේ. එහෙම නැත්නම් වෙළෙඳාම හොඳයි.

 කතාව - හසිත් අංජන
     සේයාරූ - සුමුදු හේවාපතිරණ