2018 නොවැම්බර් 17 වන සෙනසුරාදා

බහිරව කන්දේ සොඳුරු විමානේ Amaara Sky Hotel

 2018 නොවැම්බර් 17 වන සෙනසුරාදා, ප.ව. 12:30 228

මහනුවර අනිවත්ත කියන්නේ බොහෝම සාමකාමී පළාතක්. පෞරාණික නිවාස වගේම සුපිරි හෝටල් නවාතැන්, පෙළින් පෙළ පිහිටා තියෙන අනිවත්තට මීට අවුරුදු කිහිපයකට පෙරාතුව එකතු වුණු අලුත්ම හෝටලය තමයි අමාරා ස්කයි හොටෙල් (Amaara Sky Hotel).

දමුණුපොළ මාවතේ බහිරවකන්දේ හරි අපූරු තැනක පිහිටා තිබෙන මේ හෝටලයට නුවර නගර මධ්‍යයේ ඉඳන් තියෙන්නේ කිලෝ මීටර දෙකක් විතරයි. තට්ටු හතරකින් යුතු මේ සුන්දර නවාතැන එක් පැත්තකින් මහනුවර නගරය දෙසටත් අනෙක් පැත්තෙන් හුන්නස්ගිරිය කඳු මුදුන දෙසටත් මුහුණලා සිටිනවා. 

හෝටලය සතු මුළු කාමර සංඛ්‍යාව 14ක්. ඒ අතර සුපීරියර් කාමර 7ක්, ඩිලක්ස් කාමර 5ක් වගේම පෙන්ත්හවුස් එකකුත් Suite ඒකකයකුත් තිබෙනවා. 

මේ සියලු කාමර LCD රූපවාහිනී, DVD යන්ත්‍ර වගේ නවීන පහසුකම්වලින් පරිපූර්ණයි. ඒවා හැම එකකටම යාබද නාන කාමරත් පවතිනවා. Suite ඒකකයට විශාල නිදන කාමරයක්, ආලින්දයක් සහ අංශක 240ක දර්ශන පථයක් හිමි පෞද්ගලික බැල්කනියකුත් අඩංගුයි. පෙන්ත්හවුස් එකේ දැවැන්ත වීදුරැ බිත්තියේ සිට අවට පරිසරයේ සුන්දරත්වය හිතේ හැටියට විඳගන්න පුළුවන්. 

Worldlink සංචාරක ආයතන සමූහයට අයිති මේ හෝටලයේ ඇති විශේෂත්වය වන්නේත් අපූරු දර්ශනතලයයි. 
අමාරා ස්කයි හෝටලයේ කෑමබීම ප්‍රධාන ආහාර රටා තුනකට අනුව පිළියෙල කෙරෙනවා. ඒ දේශීය, බටහිර සහ චීන විදිහටයි. ඒ අතරට ආහාර මෙනූ හතකින් යුත් (Seven course) VVIP ආහාර අත්දැකීමක් පවා මෙතැනදී ලබාගන්න පුළුවන්. 

මේ හෝටලයේ තිබෙන තවත් විශේෂත්වයක් තමයි එය සතු කලාගාරය. හැබෑ කලාගාරයක හැඟීම සංචාරකයන්ගේ හිතට පිවිසවමින් අලංකාර තෙල් සායම් චිත්‍ර 80කට වඩා වැඩි ප්‍රමාණයක් හෝටලයේ දැකගන්න පුළුවන්. 

මේ අතර ‘The spa in the sky’ විදිහට නම් කරපු ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයකුත් හෝටලය සතුයි. අත්දැකීම් බහුල තෙරපිවරුන්ගේ සහාය ලබාගන්න වගේම ජැකූසි පහසුකම් අත්විඳින්නත් මෙහිදී පුළුවන්.

මේ සේවා සහ පහසුකම්වලට අමතරව තේ වතු සවාරි, උරුම ස්ථාන සවාරි, නගර සුවිසැරි, හුන්නස්ගිරිය සහ නකල්ස් කඳු තරණය, පින්නවල ආදී ස්ථානවලට මාර්ගෝපදේශකයන් සමඟ සවාරි සංවිධානය කරදීමටත් හෝටල් කාර්ය මණ්ඩලය සූදානමින් ඉන්නවා. 

- සනත් වීරසූරිය 
ඡායාරූප - ශාන් බන්දු වීරසිංහ