2018 නොවැම්බර් 17 වන සෙනසුරාදා

පවුලේ කට්ටියගෙන් Sallys’ CAPITAL

 2018 නොවැම්බර් 17 වන සෙනසුරාදා, ප.ව. 12:30 113

හජාරා අල්බා සහ ඇගේ පවුලේ උදවිය එකතුවෙලා කරන මෙහෙයුමක් විදිහට Sallys’ CAPITAL හඳුන්වන්න පුළුවන්. ආහාර පාන සකසන්න මේ පවුලේ අයට තිබුණු උනන්දුව සහ ආසාව නිසාම මීට අවුරුද්දකට විතර කලින් තමන් හදන තමන්ටම ආවේණික වුණු ආහාර වර්ග ඇණවුම් මත ලබාදෙන්න මේ අය තීරණය කළා. එතැනදී ව්‍යාපාරයට නමක් දාගන්න හිතද්දි මෙයාලට කල්පනා වුණේ සීයාගේ නම ඒකට යොදන්නයි. එහෙම තමයි Sallys’ CAPITAL කියන නම මේකට වැටුණේ. 

මෙතැන අවන්හලක් නෙමෙයි. ගෙදරක පවුලේ කට්ටිය එකතු වෙලා කරන වැඩක් නිසා Sallys’ CAPITAL ආහාරවල රස බලන්න ඕන නම් ටිකක් කල් තියා ඇණවුම් කරන්න වෙනවා. හැබැයි ඒ වෙනුවෙන් ගතකරන කාලයට ඕනවටත් වඩා වටිනවා කියලා ඒවා රස බලද්දි නම් අනිවාර්යයෙන්ම හිතේවි.

අපි මුලින්ම රස බැලුවේ කෙබාබ් එකකුයි. බීෆ් දාලා හරිම රසට හදලා තිබුණු මේ කෙබාබ් ඩිනර් පාටියකට කියාපු කෑමක්. චිකන් දාලා හදලා තිබුණු skewers කියන්නේ තවත් රස කෑමක්. ඒවා විවිධ වර්ණවලින් ඉදිරිපත් කරලා තිබුණෙ දැක්කමත් කටට කෙළ උනන විදිහටයි. කොහොමවුණත් මෙයාලගෙන් කෑම ඕඩර් කරනවා නම් අනිවාර්යයෙන්ම රස බැලිය යුතු කෑමක් තමයි Shrimp Pie එක. හරිම සොෆ්ට් වගේම ක්‍රන්චි විදිහට හැපෙන මේ Shrimp Pie මැද්දේ හරිම ක්‍රීමි ගතියක් තියෙනවා. රස පංකාදුයි!

ඊට පස්සේ අපිට ලැබුණේ Paine Farci සහ Kunafa කෑම වර්ග දෙකක්. Paine Farci කියන්නේ ඉස්සන් සහ චිකන් කරි දාලා පාන් එක්ක පිරිනැමෙන බටර් සහ සුදුලූනු පේස්ට් එකක් තියෙන කෑමක්. 

අතුරැපස වර්ග ගැන කතාකරද්දි මෙයාලගේ බ්‍රවුනීස් ගැන කියන්න වචන මදි. හරිම සුමුදුයි වගේම චොක්ලට් රසයෙන් පිරිච්ච මේ බ්‍රවුනීස් මම මෙතෙක් කාපු හොඳම බ්‍රවුනිස්වලින් එකක් කියලා බය නැතුව කියන්න පුළුවන්. 
ඊට අමතරව Jaggery Cake, Blue Velvet Cookies, Chocolate Indulgence, Chocolate Spheres සහ Chocolate Eclairs  වගේ  තවත් රස කෑම ජාති ගොඩක් මෙයාලගෙන් ඇණවුම් කරන්න පුළුවන්. 

- නටාෂා ප්‍රනාන්දුපුල්ලේ
ඡායාරූප - කණිෂ්ක ගනේවත්ත