2017 පෙබරවාරි 11 වන සෙනසුරාදා

වහපු ගුවන් තොටේ හැන්දෑවක්

 2017 පෙබරවාරි 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 770

 

කටුනායක (කොළඹ) බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ශ්‍රී ලංකාවේ ප්‍රධානම ගුවන් තොටුපොළ පමණක් නොව දෙවැනි ලෝක යුද්ධය සමයේදී රාජකීය ගුවන් හමුදාවේ ගුවන් තොටුපොළක් ලෙස ද සේවා සැපයීය.

පසුකාලීනව ගුවන් තොටුපොළ ජාත්‍යන්තර ගුවන්තොටුපොළක තත්ත්වයට පත් කරමින් මෙරට සිව්වැනි අග්‍රාමාත්‍යවරයා වූ එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතාගේ නමින් නම් කරන ලදී. 1986දී ඉදිකිරීම් අවසන් කළ ගුවන්තොටුපොළේ හදවත බඳුවූ ධාවන පථය (Runner Way) සාදා අවසන් කළ සමාගම ඊට වගකීම් කාල දෙකක් ලබාදුනි. එකක් නම් ගුවන් යානා ගොඩ බැසීම් ලක්ෂ 2කි. දෙවැන්න නම් වසර විස්සකි. සැබැවින්ම මෙම ද්විත්ව කාල සීමා දෙකේ සැබෑ අරැත වූයේ අදාළ ධාවන පථයේ ජීවිත කාලය නොහොත් ආයුෂ ප්‍රමාණයයි. ගුවන් යානා ගොඩ බැස්සවීම් ලක්ෂ 2 පළමු වසර 10 තුළ සම්පූර්ණ වූ අතර ඒ අනුව 1996 වන විට එම ජීවිත කාලය අවසන් විය. ඉන් පසු ඉතිරිව තිබූ එකම නිදහසට කාරණය නම් ධාවන පථයට වසර විස්සක් ආයු කාලය ඇතැයි සිතීම විය. නමුදු 2001 වසරේ දිවයිනට පැමිණි අන්තර්ජාතික සිවිල් ගුවන්සේවා සංවිධානය වහාම කටුනායක ගුවන්තොටේ ධාවන පථය ප්‍රතිසංස්කරණය කළ යුතුබව නිර්දේශ කළේය. එම නිර්දේශ ලිපිය අතේ තබාගෙන සිටියදී දෙවැනි ආයුෂ බලපොරොත්තුව වූ වසර විස්සක කාලයද 2006 වන විට අවසන් වූ අතර දැන් මෙරට එකම ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ එකම ධාවන පථය වහාම අලුත් වැඩියාවට ලක්විය යුතු එකක් විය. නිදහසට කාරණා නැති විය.

එදා පටන් 2016 වසර වනතෙක් මෙම ගුවන් පථය භාවිත කළේ කරන්නට අන් විසඳුමක් නැති බැවිනි. යථාර්ථය අනුව වහාම ධාවන පථය නැවත සකස් කළ යුතු වුවද එය එසේ කරන්නට නම් එකම ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වසා දැමීමට සිදුවේ. රටේ එකම ගුවන්තොටුපොළ එසේ වසා දමනවා යනු විහින් ගෙලසිඳ දමාගැනීමකි. මෙරට ආර්ථිකය එලෙස ගුවන්තොටුපොළ වසා දමන්නට යනවා යන පුවතින් පවා දරුණු ලෙස කඩා වැටෙනු ඇත. කෙසේ හෝ 2015 වසර අවසන් වී 2016 උදාවන විට කටුනායක ගුවන්තොටුපොළේ ධාවන පථයේ රතු නිවේදනය නිකුත් විය. තවත් වසරක් ඇතුළත ධාවන පථය ප්‍රතිසංස්කරණය නොකරන්නේ නම් ජාත්‍යන්තර ගුවන් යානා මෙරට ප්‍රධාන ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ගොඩ බැස්සවීම නතර කරන්නට සූදානම් විය. එසේම එවන් තීරණයක් ඔවුන් ගත්තේ නම් ඉන් පසුව මෙරට ප්‍රධාන ගුවන්තොටුපොළ ලෝකයේ ගුවන්තොටුපොළ නාමාවලියේ අසාදු ලේඛනගත වීමට බොහෝ ඉඩකඩ පැවතිණි. 

එවැන්නක් සිදුවූ පසු ධාවන පථය නොව සමස්ත ගුවන්තොටුපොළම කඩා නැවත සෑදුවද කෙලින් හිටිගැනීම ලෙහෙසි පහසු නොවනු ඇත. මෙවන් වටපිටාවක කටුනායක ගුවන්තොටුපොළ වසා දැමීමෙන් තොරව ධාවන පථය ප්‍රතිසංස්කරණය කළ හැකි තත්ත්වයක්වේද යන්න සෙවීම විශේෂඥයන් හට පැවරුණි. ආරම්භයේදී රත්මලාන හා මත්තල ගුවන්තොටුපොළවල් පූර්ණ වශයෙන් යොදාගෙන වේගයෙන් මාස දෙකකට අඩු කාලයක් තුළ ධාවන පථය නැවත සකස් කරන්නට හැකිද යන්න සළකා බැලුනි. ඊටද විවිධ හේතු කාරණා මග වැළකීය. මත්තල ගුවන්තොටුපොළ සාදා ඇත්තේ වාර්ෂික ගුවන් මගීන් මිලියන එකක ධාරිතාවයකටය. නමුදු කටුනායක ගුවන්තොටුපොළ පසුගිය වසරේ පමණක් ගුවන් මගීන් මිලියන 9.4ක් හෙවත් කෝටියකට ලක්ෂ කිහිපයක් පමණක් අඩුවෙන් මෙහෙයවා තිබේ. කටුනායක ගුවන්තොටුපොළේ මගී පාලම් 10 හෙවත් වරකට ගුවන් මගීන් ගොඩ බැසීම හා ගුවන් මඟීන් ගුවන්ගත කිරීම් සඳහා ගුවන් යානා 10ක් නතර කළ හැකි වුවද මත්තල ඇත්තේ ගුවන් මගී පාලම් 2ක් පමණි. මේ සියල්ල මැද යම් සැලකිය යුතු ප්‍රමාණයක් ගුවන් යානා මත්තල හරහා මෙහෙයුම් සිදුකිරීමට නියම කළද ලෝකයේ ගුවන් සේවා යම් ප්‍රමාණයක් මෙකී ගුවන්තොටුපොළවල්වල සිය යානා ගොඩ බැස්සවීමට අකමැතිවීම නිසා එයද වැළකිණි. මෙරට අතිරේක ගුවන්තොටුපොළක් ලෙස භාවිතයට ගත හැකිව තිබූ මත්තල ගුවන්තොටුපොළේ වී ගබඩා කර එය ජාත්‍යන්තර වශයෙන් අපකීර්තියට පත් කිරීමේ ආදීනව එසේ පල දුන්නේය. ඉන් අනතුරැව ඉතිරිව තිබූ එකම විකල්පය වූයේ කටුනායක ගුවන්තොටුපොළ හරහා සිදුවන සියලුම ගුවන් ගමන් එහිම රඳවා ගනිමින් අලුත්වැඩියාවද සිදුකිරීමය.

දැනට පවතින ගුවන් ධාවන පථය කඩා ගුවන් ගමන් සිර නොකොට කටුනායක ගුවන්තොටුපොළ තුළම නව ධාවන පථයක් සකස් කිරීමටද යෝජනා විය. මේ මොහොතේ මුදල් වෙන් කළද ඒ සඳහා අවම වශයෙන් වසර 5ක කාලයක් ගතවේ. ඒ වනවිට ඉහත කී රතු ලියුම් සක්‍රීය වී හමාරය. අවසානයේ මෙකී කටයුත්ත බාරව සිටිනා ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ ඉහළ නිලධාරීහු ලෝකයේ මෙවන් අලුත්වැඩියාවන් සිදුකළ ආකාරයන් සොයා බැලූහ. එහිදී ඔවුන් තීරණය කළේ ලොව ඇති සාර්ථකම ක්‍රමය නම් දිනකට පැය අට බැගින් මාස 3ක කාලයකට ගුවන්තොටුපොළ වසා දමා ධාවන පථය ප්‍රතිසංස්කරණය කර ඉතිරි පැය 16 තුළ මෙහෙයුම් සිදු කිරීමය. මෙලෙස ගුවන් පථය වසා දැමීම නිසාවෙන් මෙතෙක් දහවල් කාලයේ සිදුකළ සියලුම ගුවන් මෙහෙයුම් නවතාලන්නට සිදුවිය. උදෑසන 8.30 සිට සවස 4.30 දක්වා ගුවන් පථය අලුත්වැඩියා කටයුතු වෙනුවෙන් වෙන් කරනා අතර සවස 4.30 පසු ගුවන් පථය නැවත මෙහෙයුම් කටයුතු සඳහා විවෘත වේ. පසුගියදා දේශය අපි සවස් යාමයේ කටුනායක ගුවන්තොටුපොළේ පැය කිහිපයක් ගත කලේ තාවකාලික වෙනස්කම් නිසාවෙන් එහි මගී ජනතාව අත්විඳිනා සිදුවීම් දෑසින් දැක ගන්නටය.

පළමු කාරණය වූයේ මෙකී ප්‍රතිසංස්කරණ කාල සීමාවේ තම ගුවන් යානය පිටත් වීමට නියමිත වේලාවට වඩා පැය පහකට පෙර ගුවන්තොටුපොළට පැමිණෙන්නැයි කියා මෙරට මාධ්‍ය ජනතාව දැන්වීමේ සෑබෑ කතාව සෙවීමයි. ඒ අනුව අපි අවසරය ලබාගනිමින් ටිකට්පත් කවුන්ටර ඇති දෙසට ගමන් කළේ පැය පහකට පෙර පැමිණි මඟීන්ගෙන් ඔවුන්ගේ අත්දැකීම් අසා දැනගනු පිණිසය.

පැය පහකට කලින් එන්න ඕනද කියලා අපි ශ්‍රීලංකන් එකට කෝල් කරලා ඇහුවා. එයාලා කිව්වා නෑ එහෙම එන්න ඕන නෑ ඒත් පුළුවන් ඉක්මණින් එන්න කියලා. මම වෙනදත් මැලේසියා යනවා ව්‍යාපාරික වැඩවලට. වෙනදාට වඩා අපහසුතාවයක් විඳින්න නම් වුණේ නෑ. ඇත්තටම එහෙම ධාවන පථයක් හදනවා ඒ නිසා ඇතිවන අපහසුතාවලට සමාවෙන්න කියලා බෝඩ් දාලා තිබුණට කිසි අපහසුවක් නම් දැනුණේ නෑ. වෙනදා තරම්වත් මම අද පෝලිමේ හිටියේ නෑ. වෙනදා ටිකට් කවුන්ටර් අරින්නේ අපේ ගුවන් යානය ගුවන්ගත වෙන්න පැය 3කට කලින්. ඒත් දැන් පැය පහකට කලින් අරිනවා. ඒ නිසා අන්තිම මොහොතවෙනකම් ලොකු පෝලිම් හැදෙන්නේ නෑ.

පැය පහකට කලින් එන්නැයි කියූ පුවත වැරදි ලෙස වටහාගැනීමක් සිදුව ඇත්දෝ යන්න සිතුණේ ප්‍රධාන ගුවන් සේවයක ටිකට් කවුන්ටරයේ සිටි නියෝජිතයකු සමඟ කළ පැහැදිලි කරගැනීමකදීය.

එහෙම පැය පහකට කලින් අනිවාර්යයෙන් එන්න කියලා නෙවෙයි කිව්වේ. සාමාන්‍යයෙන් අපි ටිකට් පරීක්ෂා කරලා පිටත්ව යෑමේ පරිශ්‍රයට ඇතුළු කරගන්නේ ගුවන් යානය පිටවෙන්න පැය 3කට කලින් ඉඳලා. නමුත් දැනට මාස දෙකකට පමණ පෙර සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂවරයා නියෝගයක් දුන්නා පැය පහකට පෙර ඉඳලාම මේ ටිකට් කවුන්ටර්ස් විවෘත කරන්න කියලා. දැන් මඟීන්ට ගුවන්තොටුපොළට පැමිණියාට පස්සේ එළියේ පෝටිකෝවේ හරි මේ වටේට හරි ඉන්න ඕන නෑ. ඉක්මණටම ඇතුළට යන්න පුළුවන්. මගීන් මේ ක්‍රමයට කැමැතියි කියලා අපිට හිතෙනවා. මොකද පැය පහෙන් මුල් පැය දෙක ඇතුළේ සමස්ත ටිකට් පරීක්ෂා කිරීම්වලින් 70%කට වඩා සිද්ධ වෙනවා. මගින් පෝලිමේ ඉන්නේ නැතිව ටිකට් පරීක්ෂාකර ගැනීම සිද්ධ කරගන්නවා. ඒක ගුවන් සේවයක් විදියට අපිටත් පහසුයි. ගුවන් යානා කිසිදු පමාවකින් තොරව ගුවන්ගත කරන්න අපිට පුළුවන්.

වෙනදා දකින්නට ලැබුණු ටිකට්පත් කවුන්ටර ප්‍රමාණයට අමතරව තවත් කවුන්ටර ගණනාවක් දකින්නට ලැබුණි. ඒ අනුව දැනගන්නට ලැබුණු පරිදි අතර ටිකට් කවුන්ටර 14ක් ස්ථාපිත කොට තිබේ. එසේම අමතර එක්ස්රේ යන්ත්‍රද දකින්නට ලැබුණි. ගුවන් ටිකට් පත් පරීක්ෂාවෙන් ඇතුළු වී ඉදිරියට ගියේ මෙලෙස කැමැත්තෙන් පැය පහක සිට ඇතුළු කරගැනීම් කරගත්තද එලෙස පැමිණෙන මඟීන් පර්යන්තය තුළ සිරවී සිටිනු ඇතැයි යන අපේක්ෂාවෙනි. සැබෑවටම කාරණා හාත්පසින් වෙනස් විය. දෑසින් දුටු කාරණා පසෙක තබා වෙනෙකක් ලිවිය නොහැක. සෑබෑවටම කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රය තුළ වෙනදාට වඩා වැඩි තදබදයක් තිබුණේ නැත. නමුදු වෙනදාට වඩා පිටවීමේ පරිශ්‍රයේ නම් ආපනශාලා පිහිටුවා තිබුණි. නව පුටු හා මේස තබා තිබුණි. පරිශ්‍රය පුරාවටම බැලු බැලු අත එලෙස පහසුකම් සලසා තිබුණි. 

එකම ගැටලුවක් වූයේ පැය කිහිපයකට පෙර පැමිණෙන මගීන් තරමක් වේලා පිටවීමේ පර්යන්තය ආසන්නයේ අසුන්ගෙන රැඳී සිටීමට සිදුවීමයි. ඊටත් වෙනදා අප ගුවන් තොටුපොළ පරිශ්‍රයේ නොදකින අපූරු යමක් දකින්නට ලැබුණි. එනම් පර්ශ්‍රයේ එහෙමෙහෙ යමින් සංගීතය සපයන කැලිප්සෝ සංගීත කණ්ඩායමක්ය. පසුව දැනගන්නට ලැබුණු පරිදි ශ්‍රී ලංකන් ගුවන්සේවයේ අනුග්‍රහයෙන් මෙලෙස වෙනස් යමක් ගුවන්තොටුපොළේ සිදු කෙරේ. එමඟින් රැදී සිටින මඟීන් හට කාලය යන්න මානසික වදයක් සිදුනොවන පරිදි වෙනසක් ලබාදී තිබේ. වෙනදා මගී පාලම ආසන්නයට යනතෙක් ගුවන් මගීන් සමඟ පැමිණෙන අමුත්තන් හටද යා හැකි වුවද දැන් තාවකාලිකව එකී අවස්ථාව සීමාකොට තිබේ. දැන් ඉදිරිපස පෝටිකාවෙන් ඇතුළු වීමට අවසර ලබාදෙන්නේ ගුවන් මගියාට පමණය. ඔහු හෝ ඇය සමඟ පැමිණෙන පවුලේ හිතවතුන් හට ඉදිරියට යාමට ඉඩක් නොලැබේ. ඒ සම්බන්ධව නම් මගීන්ගේ තරමක අප්‍රසාදයක් ඇතත් වසර ගණනකට පසුව මේ ගතවන මාස තුනට යම් කැපකිරීමක් කිරීමට රටක් ජාතියක් ලෙස එකමුතු විය යුතුය.

ගුවන් මගීන් අඩු හා කාලගුණයට වැස්ස හරස් නොවන කාල සීමාවකදී මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකිරීම නිසා හැකි ඉක්මනින් කාරණා අවසන් කරන්නට බලාපොරොත්තුවන බව අප කළ විමසීමකදී සිවිල් ගුවන්සේවා අධිකාරියෙන් දැනගන්නට ලැබුණි.

කතාව හා ෙස්යාරූ I විමුක්ති රත්නමලල

 2024 පෙබරවාරි 24 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00