2018 නොවැම්බර් 10 වන සෙනසුරාදා

එදා වලව්වක් අද සොඳුරු නවාතැනක් Tamarind Hill

 2018 නොවැම්බර් 10 වන සෙනසුරාදා, ප.ව. 12:30 120

කොළඹ කලබලකාරී පරිසරයෙන් පොඩ්ඩක් මිදෙන්න ඕන කියලා හිතපු මම පහුගිය දවසක ගාල්ල පැත්තට ගියා. ඒ ගියේ ගාල්ලේ තියෙන අලංකාර වගේම රාජකීයත්වයක් ගැබ්වුණු තැනකටයි. ටැමරින්ඩ් හිල් කියන මේ හෝටලය අතීත වලව්වක්. මේ වෙද්දී ඒක සුන්දර හෝටලයක් බවට පරිවර්තනය කරලා. නමුත් මේ පරිවර්තනය සිදුවෙලා තියෙන්නේ වලව්වේ මුල් ලක්ෂණවලට කිසිම හානියක් නොවන ආකාරයටයි. හොඳම උදාහරණය තමයි අදටත් දකින්න ලැබෙන මැද මිදුල. විශාල ඉඩකඩකින් යුත් කාමර පවා අන් නවාතැනකට වඩා වෙනස් විදිහේ උණුසුම් අත්දැකීමක් හිමිකර දෙනවා.

මේ හෝටල් භූමියේ ඉතිහාසයේ පටන් වර්තමානයේ මෙනු කාඩ් එක දක්වා සියල්ල ගැන හොඳ දැනුමක් තියෙන රොජර් මට ටැමරින්ඩ් හිල් ගැන හොඳ විස්තරයක් ලබාදුන්නා.

හෝටලයේදී වඩාත්ම සිත්ගන්නා සුළු කාරණය වුණේ සුදු පැහැති බිත්ති සහ විශාල ඉඩකඩක් සහිතව එය ඉදිකර තිබීමයි. නිවාඩුවකදී ලබන විවේකයට එවැනි සුඛෝපභෝගීත්වයක් අත්‍යවශ්‍යයි.

ලංකාවට පැමිණි බ්‍රිතාන්‍ය ආක්‍රමණිකයන්ට ගොඩක් ප්‍රයෝජනවත් වූ තැනක් ලෙසත් ටැමරින්ඩ් හිල් ප්‍රකටයි. විශේෂයෙන්ම ලංකාවේ වෙරළබඩ ප්‍රදේශ කොල්ලකෑමට පැමිණෙන ප්‍රංශ නැව් පිළිබඳ ඔත්තු බැලීමට මේ ප්‍රදේශය ඔවුන්ට උපකාරී වෙලා තිබෙනවා.

ටැමරින්ඩ් හිල් වලව්වේ අයිතිකාරයන් හැන්දෑවේ නිස්කලංකව ගාලු පාර දිහාත් මුහුද දිහාත් බලාහිඳින්නට අසුන්ගත් විශාල ගල් ආසනයකුත් තවම දකින්න පුළුවන්. ඇත්තටම අවුරුදු 250ක් කියන්නේ සුළුපටු කාලයක් නෙමෙයි. ඒ කාලය තුළ වෙච්ච බොහෝමයක් සිද්ධි කතාන්තර මෙතැන ලියවිලා තියෙනවා.

මම නවාතැන් ගත්ත කාමරය පිහිටා තිබුණේ ප්‍රධාන ගොඩනැගිල්ලට පිටුපසින්. රොජර් කියපු විදිහට එතැන ඉස්සර තිබිලා තියෙන්නේ අශ්ව ඉස්තාලයයි. මේ නිසා ටැමරින්ඩ් හිල් හෝටලයේ නවාතැන් ගන්නා කාමරයට පවා ඊටම ආවේණික කතාවක් තිබෙනවා.

මෙතැන කෑමබීම නම් පංකාදුයි. හරියට ගෙදරදි අම්මා හදලා දෙන කෑම තරමටම රසයි. මෙතැන විශේෂත්වය වන්නේත් දේශීය කෑම බීමයි. 

සියවස් දෙකහමාරක ඉතිහාසයක් දරාගෙන ඉන්න මේ නවාතැන කොළඹින් මිදිලා නිවාඩුවක් ගෙවන්න කදිම තැනක්. පිහිනුම් තටාකයේ ගිලිලා කොක්ටේල් එකක් රස විඳින්න වගේම ස්පා එකෙන් ගත සිත සැහැල්ලු කරගන්නත් හැකිවීම ඒ විවේකී බව තවත් වැඩිකරනවා. 

ධනූ
ඡායාරූප - You’re my favorite

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00