2018 නොවැම්බර් 10 වන සෙනසුරාදා

Venice by Ocean වෙතින් රස වෑහෙන අලුත් අයිස්ක්‍රීම්

 2018 නොවැම්බර් 10 වන සෙනසුරාදා, ප.ව. 12:30 53

අපි මීට කලින් වතාවකත් ඕෂනී ද සිල්වාගේ Venice by Ocean රස පිළිබඳව කතාබහ කළා. නමුත් අපි පහුගිය දවසක නැවතත් එතැනට ගොඩවුණේ ඇය තමන්ගේ මෙනුපතට අලුත් අයිස්ක්‍රීම් රස රැසක්ම හඳුන්වාදීලා තිබෙනවා කියන ආරංචියටයි.

ඕෂනීගේ අයිස්ක්‍රීම් අනිත් අයිස්ක්‍රීම්වලින් වෙනස් වන්නේ ඒවා හදන්න භාවිත කරන අමුද්‍රව්‍ය බොහෝමයක් පිටරටින් ගෙන්වන නිසයි. විශේෂයෙන්ම කජු වර්ග උසස් තත්ත්වයක පවතිනවා.

විශේෂයෙන් සකසනු ලබන ඇගේ අයිස්ක්‍රීම් ලීටර බාගේ සහ ලීටරයේ අයිස්ක්‍රීම් ලෙස ඉදිරිපත් වෙනවා. 

ඇගේ අලුත්ම අයිස්ක්‍රීම් රස එකතුවෙන් Pistachio වඩාත්ම රසවත් අයිස්ක්‍රීම් එක කිව්වොත් වැරදි නැහැ. pistachio පළතුරු යහමින් අඩංගු අයිස්ක්‍රීම් එකක්. ඇය එය සාදන්නේ රසකාරක යොදමින් නොවේ. pistachio කැබලි පවා එහි හැපෙන්න තිබෙනවා. 

Almond Butter තවත් රසවත් තේරීමක්. ආමන්ඩ් බටර් බහුල මෙහි තිබෙන්නේ හරිම සියුම් රස එකතුවක්. එහි රසය වගේම දිවට දැනෙන වෙනසත් හරිම අපූරුයි. ඊට අමතරව Peanut Butter Pretzel සහ Chunky Hazelnut Cream නමින් තවත් අයිස්ක්‍රීම් වර්ග දෙකක් හඳුන්වා දීලා තිබෙනවා. මම කොහොමටත් Pretzel විස්කෝතු සහ පීනට් බටර් කියන ජාති දෙකටම ගොඩක් කැමතියි. ඒ නිසා Peanut Butter Pretzel කියන්නේ හොඳම ගැලපීමක්. හේසල් නට් පිරැණු අනෙක් වර්ගයත් ඒ වගේම තමයි. 

ඕෂනී සාමාන්‍යයෙන් අයිස්ක්‍රීම් හදන්නේ ඇණවුම්වලටයි. නමුත් නාවල Crimpersහි ඇගේ අයිස්ක්‍රීම් ඕනෑම මොහොතක ලබාගත හැකියි. 

නටාෂා ප්‍රනාන්දුපුල්ලේ
සේයා රූ - කණිෂ්ක ගනේවත්ත