2018 නොවැම්බර් 10 වන සෙනසුරාදා

අපේ කාලේ අපි දාපු නම් ගම්

 2018 නොවැම්බර් 10 වන සෙනසුරාදා, ප.ව. 12:31 1001

ඉංගිරිසිය ඇතුළු ඕනෑම බසක වචනයක් අපට ඕනෑ ලෙස තලා පෙලා උච්චාරණය කරගන්නටත් යන්ත්‍ර සූත්‍ර ඇතුළු ඕනෑම වස්තුවකට අපේ නමක් දාගන්නටත් අපි එදා ඉඳන්ම රුසියෝ වන්නෙමු. මෙය අප අත්දුටු අපේ ජීවිත කාලයටත් වඩා අතීතයට ගිය පුරුද්දකි. භාෂාව තලා පෙලා සකස් කරගැනීම එකකි. ඕනෑම දෙයකට අපේ නමක් අපට අවශ්‍ය ලෙස යොදාගැනීම තවත් දෙයකි. එසේ වුවද මේ කාරණා දෙකම එකට මිශ්‍ර වූ අවස්ථාද නැත්තේ නොවේ. මෙම ලිපියෙන් තෝරාබේරා ගන්නට උත්සාහ කරන්නේ අපේ කාලය තුළ අපේ නම් යොදා අපේ කරගත් දේය.

සකු (සංස්කෘත) බසින් හෝ ඉංගිරිසියෙන් කියනා වචනයක් දීමට හෝ තල්ලට වද දීගෙන කියන්නට නොකැමැති අපි අපේ ඌරුවට හරියන ලෙස එය උසුරුවා ගතිමු. සංස්කෘත භාෂාවෙන් සිංහල බසට වචන බිඳී ආ අයුරු ඒ පිළිබඳ විදග්ධ අයකු විසින් පහදා දිය යුතුය. එහෙත් ඉංග්‍රීසියෙන් බිඳගත් වචන පහදාගැනීම අපට ඒ හැටි අමාරු නොවේ.

ඉංග්‍රීසි නම් ගම් අපට ගලපාගත් ආකාරය සොයා බැලීමෙන් මේ කාරිය පටන්ගැනීම හොඳය. ෆ්‍රැන්සිස් යන ඉංග්‍රීසි නම අපි පුරන්සික්කු ලෙස උච්චාරණය කරමු. ග්‍රෙගරි යන්න අපට ගිරිගෝරිස්ය. ඒබ්‍රහම් අපට ඒබරං නැතහොත් අබරංය. එඩ්වින් අපට ඇඩ්ඩිංය. මාග්‍රට් අපට මාගරට්ය. මාගරට් ලොකු කැරට් කියා ඉස්සර ළමයින් මාගරට්ලාට විහිලු කළ බව කියැවේ. 

1981 නිපදවූ Tarzan and the Ape man නම් Tarzan පෙළේ චිත්‍රපටයක් ඊට ටික කාලයකට පසුව මෙරට ප්‍රදර්ශනය වූයේය. Ape man යනු වානර මිනිස් විශේෂයකි. එහි අරැත ටාර්සන් සහ වානර මිනිසා යන්නයි. හන්දියේ හවසට රැස්වූ අය ඊට කීවේ ටාර්සන් ඇන්ඩ් ද අපේ මෑන් කියාය. ඔවුන් ඊට ටාර්සන් ඇන්ඩ් ද ඒප් මෑන් කීවේ නැත. “ටාර්සන් ඇන්ඩ් ද - මේසන් හැන්ද” කියා කල්පිත චිත්‍රපටයක් ගැනද ඔවුහු කීවෝය. Mata – Hari නම් චිත්‍රපටයට ඇතැම් පළාත්වල පෝස්ටරය වැදුණේ (මට හරි) කියාය.

පිටරටින් මෙරටට ගෙන ආ වාහන හා යන්ත්‍ර සූත්‍රවලට, අපට ගැලපෙන නම් අපි යොදාගතිමු. 1977 විවෘත ආර්ථිකය මෙරටට හඳුන්වා දීමෙන් පසු (හයිඒස්) වෑන් රථ බහුල ලෙස එකදිගට මෙරටට එන්නට ගත්තේය. කාරයක ගමන් කරනවාට වඩා වැඩි පිරිසක් එහි යා හැකි බැවින් එය ජනප්‍රිය විය. ඒවායේ විනෝද ගමන් යාමද වැඩිවෙන්නට ගත්තේය. රුක්මනී දේවි ගායන ශිල්පිනිය 1978 මියගියේ හයිඒස් වෑන් රථයක ගමන් ගනිද්දීය. විවිධ මාදිලිවල හයිඒස් වෑන් රථ මෙරටට එන්නට ගත්විට ඒවා හඳුන්වන නම් යොදාගන්නට අපට ඕනෑ විය. රුක්මනී දේවි අනතුරට ලක්වුණු හයිඒස් වර්ගයේ මොඩලය ඉන් පසුව හඳුන්වන්නට ගත්තේ රුක්මනී මොඩ්ල් යනුවෙනි. එවකට රටේ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන බැවින් ජේ.ආර්. ගේ මුහුණ නිතර කාටුන් ශිල්පීන් විසින් අඳිනු ලැබුවේය. බොහෝ විට ඔවුන් හුවාදැක්වූයේ JR ජනාධිපතිතුමාගේ පමණට වඩා ලොකු නාසයයි. එම නාසයට සමාන ඉදිරිපස නිසාදෝ එක් හයිඒස් මාදිලියක් JR මොඩ්ල් ලෙස නම් ලැබුවේය. එක් ෆොක්ස්වැගන් කාර් රථ මාදිලියක දෙපැත්තේ කළු පාට වායු කවුළු දෙකක් තිබේ. 

ඒ නිසා එම මාදිලියේ ෆොක්ස්වැගන් කාර් රථ නම් ලැබුවේ කනේ මයිල් මොඩලය ලෙසයි. ඩැට්සන් සනී වාහනවලින් එකකට නම ලැබු‍ණේ (බටු සනී) කියාය. මෙසේ වාහනවලට අලුතෙන් ලැබුණු නම් වඩාත් තහවුරු වූයේ ඒවා විකුණන විට පුවත්පත්වල පළමු වෙළෙඳ දැන්වීම්වල ඒ නම භාවිතා කළ විටයි.

මේ බව දන්නා ඇතැම් වාහන ආනයනය කරන සමාගම් මෙරටට ගෙන්වද්දීම ඊට අපට හුරු නමක් යොදාගත්තේය. (බට්ටා) මිනිට්‍රක් ඊට හොඳම උදාහරණයයි.

පොදුජනයා අතර ජනප්‍රිය වූ මෝටර් බයිසිකල්වලටද අපෙන් අලුතෙන් නම් ලැබුණේය. ගමේ ගොඩේ පාරවල බර අදින්නට යොදාගත්තාවූත්, ව්‍යාපාරිකයන් අතර ජනප්‍රිය වූත් හොණ්ඩා රතු-සුදු 90 බයිසිකලය ජනප්‍රිය වූයේ තැපැල් නයින්ටිය නමිනි. විවෘත ආර්ථිකයේ අවතීර්ණයත් සමඟ ඉතිහාසයේ පෙර නොවූ තරම් මෝටර් බයිසිකල් කන්දරාවක් මෙරටට ඇදී එන්නට ගත්තේය. ඇතැම් ඒවා එකල හරිහැටි පාරවල් නොතිබූ ගම්බද ප්‍රදේශවල ජනයාට මහෝපකාරී විය. තැපැල් නයින්ටිය ඉන් එකකි. වී ගෝනි, රබර් ෂීට්, තේ දලු අදින්නට ඒවා ප්‍රයෝජනවත් විය. මාළු ව්‍යාපාරිකයන් සහ තැන තැන ඇති කඩවලට කුඩා පරිමාණයේ ඩිලිවරි සේවා පවත්වාගෙන යන අය භාවිත කළේ මේ තැපැල් නයින්ටියයි. ඊට ඇති ඉල්ලුමද ඒ සමඟම වැඩි විය.

විවෘත ආර්ථිකය සමඟ මුදල් හරිහම්බ කරගත් අලුත් මුදලාලිලා, එකවරම වෑන්, කාර් මිලදී ගත්තේ නැත. ගමන් බිමන් යන්නට ඔවුන් මුල් කාලයේ භාවිත කළේ මෝටර් බයිසිකලයයි. එසේ මුල් කාලයේ අලුතෙන් බිහිවූ මුදලාලිලාගෙන් බොහෝ දෙනෙක් සරම් ඇඳි අය වූහ. ඔවුන් භාවිත කළේ හොණ්ඩා 185 හෝ 200 වර්ගයේ බයිසිකල්ය. ඒ නිසාම ඒවාට සරම් මොඩල් කියා නම වැටුණේය. මේ කාලයේ මෝටර් බයිසිකල් නිසා බොහෝ තරුණයෝ රිය අනතුරුවලට ගොදුරු වූහ. ඒ කාලයේ මහ රෝහලේ හදිසි අනතුරු වාට්ටුවට මේ නිසාම හොන්ඩා වාට්ටුව යැයි නම් ලැබිණි.

අලුත් තාක්ෂණය හරහා තමන්ගේ භාවිතයට එන යෙදවුමකට හෝ යන්ත්‍රයකට තමන්ට ඕනෑ නමක් යොදාගන්නට ග්‍රාමීය ගොවි ජනතාව මහත් කැමැත්තක් දක්වති. වැස්සට හා නියඟයට ඔරොත්තු දෙන එක්තරා බිත්තර වී වර්ගයකට (මතක හැටියට ඒ BG379/2 වී වර්ගයයි) ඔවුහු (යකඩ මරං) යන නම තැබුවෝය. මෑතකදී මෙරටට ගෙන ආ ගොයම් කපා පාගා ගන්නා යන්ත්‍රවලටද ඔවුහු රිසි සේ නම් තැබුවෝය. ඉන් එක් යන්ත්‍රයක් (සුනාමිය) යන නම ලැබුවේය. 

අනෙක (භූතයා) යන නම ලැබුවේය. මේ නම් එම යන්ත්‍රවලට ලැබුණේ ගොවීන්ගේ නිරීක්ෂණයට හසුවූ එම යන්ත්‍රවල ඇති යම් යම් ලක්ෂණ නිසාය. මුලින්ම මෙරටට පැමිණි රෝද දෙකේ අත්ට්‍රැක්ටර් වර්ගයක වෙළෙඳ නාමය (ලෑන්ඩ් මාස්ටර්)ය. ඉන් පසු රෝද දෙකේ අත්ට්‍රැක්ටර් පොදුවේ හඳුන්වන නමක් බවට එය පත්විය.

ඒ ආකාරයට ඇතැම් භාණ්ඩවල වෙළෙඳ නාමයම පොදුවේ එම භාණ්ඩය හඳුන්වන නම බවට පත්වූයේය. බොහෝ අය තවමත් රබර් සෙරෙප්පුවලට කියන්නේ බාටා දෙක කියාය. ජංගම දුරකතනවලට මෑතක් වනතුරුම කීවේ (සෙල්ටෙල්) එක කියාය. එය මුල් කාලයේ ජංගම දුරකතන පැකේජවල වෙළෙඳ නමකි.

1956 සිට මේ දක්වා භාවිතා වූ ලංගම බස්රථවල ඡායාරෑප මෑතකදී සමාජ ‍වෙබ්අඩවියක ප්‍රදර්ශනය වූයේය. එක් එක් කාලවලදී පැමිණි වෙනස් වෙනස් බස්රථවලට පොදුජනයා භාවිතා කළ නම් එම රූප දකිනවිට සිහිපත් වේ. ඇතැම් ඒවා යකාබස් ලෙස හැඳින්වූයේය. 1989-90 කාලයේ පැමිණි කහ පාට බස්රථවලට කීවේ කහකුරුල්ලාය. නායක හාමුදුරුවෝ කියාද ඇතැම්හු රහසේ කීවෝය.

ගල්බමුණා, දෙහිසුදිය ආදී වශයෙන් හොර මත්පැන්වලට නම් රාශියක් තිබුණු අතර දංකොටුවේ පෙරන කසිප්පු දංකොටුව ස්පෙෂල්ය. ගල්අරක්කුවලට ඒ නම ලැබුණේ ඉස්සර ඒවා ගල්ඔය ඉස්කාගාරයේ පෙරූ නිසාය. ඒවා බල්ලන්ට ගහන ඒවාය. දෙයියන්ට ගහන්නේ පොල්ය. ඒවා ඉස්සර පොල්රාවලින් පෙරූ නිසා ඒවාට පොල් අරක්කු යන නම ලැබුණේය. මඳ පවනේ වැනෙන ගාණට හෝ බලු පදමට වදින්නේ ඒවා බොන ප්‍රමාණය අනුවයි.

ඉංග්‍රීසියෙන් කම්පන වාරකයට කියන්නේ shock absorber ය. එහි තේරුම කම්පනය උරාගන්නා උපකරණය යන්නයි. කම්පන වාරකය කීවාට කිසිවෙක් ඒ කුමක්දැයි නොදනිති. අපේ බාසුන්නැහැලා එය දන්නේ ෂෝකැබ්ශෝබරය කී විටය. සමහරු සොකට් සෝබරය කියාද කියූහ. ඒ ඔවුන්ගේ කටට පහසු විදිහය. ෆවුන්ඩේෂන් (Foundation) හෙවත් අත්තිවාරමට අපි කියන්නේ බවුන්ඩේසම කියාය. ඒ අපේ කටට හුරුවූ හැටියයි. ඇන්ගල් (Angle) එක හෙවත් පැතිකෝණය මේසන් බාසුන්නැහැලාට ඈන්ගුල් එක විය. හැත්තෑ ගණන්වල අග භාගය වනවිට දේශීය ප්‍රවෘත්ති නිවේදනවල (ලෝක වෙළෙඳපොළ) යන වචනය නිතර ඇසෙන්නට ගත්තේය. “ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල”, “ලෝක වෙළෙඳපොළේ සහල් මිල” යන්න අලුතෙන් ඇසෙන්නට ගත්තේ ඒ කාලයේ පටන්ය.

කොටුවේ ප්‍රධාන වීදියක අලුත බිහිවූ රෙදිපිළි වෙළෙඳපොළට, ලෝක වෙළෙඳපොළ හෙවත් world market යන්න පොදුජනයා භාවිතා කරන්නට ගත්තේ එතැන් පටන්ය. ඉන් පසු කොටුව දුම්රියපොළ අසල විධිමත් ලෙස සෑදූ ගොඩනැගිලි වෙත එම වෙළෙඳපොළ ගෙන ගියද (ලෝක වෙළෙඳපොළ) යන පුවරුව එහි ප්‍රදර්ශනය කරන්නට සිදුවූයේය. කාරණා කිහිපයක් නිසා ඉස්සර තිබූ ජනප්‍රියත්වය දැන් ලෝක වෙළෙඳපොළට නැත.

අපේ සම්ප්‍රදායික ගම්වල ඇත්තේ සිතේ චමත්කාරය දනවන නම්ය. ගලෙන්බිඳුණුවැව, ගෝනාපීනූවළ ඊට උදාහරණ වේ. අපේ දියඇලිවලට කෙතරම් ලස්සන නම් තිබේදැයි නෝර්වේ රටේ Njedegorze දියඇල්ලේ නම දුටුවිට සිහිපත් වෙයි. ඒ නම ප්‍රංශ ජාතිකයකුට පවා උච්චාරණය කිරීම පහසු නොවන බව කියැවේ. අහුපිනිඇල්ල, දියලුම, දුන්හිඳ යන නම් කෙතරම් ගීතවත්ද? අපේ අයට කීවා නම් සෙන්ට්ක්ලෙයාර්, ඩෙවොන් හා බේකර්ස් ඇලිවලටද ගීතවත් නම් යොදනු ඇත.

කිසියම් උපකරණයකට හෝ වස්තුවකට අපේ නමක් යෙදීම හිතුමතේ, ආවාට ගියාට කළ හැකි නොවේ. එය පොදුවේ ජනයා පිළිගතහොත් පමණක් භාවිතයට ගැනේ. මීට හොඳම උදාහරණයක් දැනට දශක තුනකට පමණ පෙර කොළඹට සමීප ප්‍රධාන විදුහලක විදුහල්පති කාර්යාලයෙන් ලැබුණේය. එම කාර්යාලයේ සිංහල භාෂාව පිළිබඳ උනන්දු වන එක් මැලේ ජාතික කාන්තාවක් සිටියාය. (මැලේ ජාතික කාන්තාවක් සිංහල බස ගැන උනන්දුවීම පැසසිය යුත්තකි). ඇයට කඩදාසිවල හිල් විදින (පන්චරයට) කියන සිංහල නම දැනගන්නට ඕනෑ වූයේය. ඒ සිංහල නම භාවිත කිරීම වඩාත් සුදුසු යැයි ඇය සිතුවාය. ඈ බොහෝ දෙනාගෙන් පන්චරය (puncture)ට කියන සිංහල නම විමසූ මුත් කිසිවෙක් ඒ ගැන අදහසක් නුදුන්නෝය. අවසානයේ ඇය භාෂාව පිළිබඳ වගකීම දැරූ එක් රාජ්‍ය ආයතනයකින් දුරකතන ඇමතුමක් දී ඒ නම විමසුවාය. ඈ හට ඊට පිළිතුරු ලෙස ලැබුණේ නොපිට පෙරළූ විට තරමක කුණුහරුපයක් සේ දැනෙන සිංහල වචනයකි. ඇය ඒ වචනය විදුහල්පති කාර්යාලය තුළ නිදහසේ භාවිත කළාය. විදුහල්පතිවරයාට මෙය උහුලාගත නොහැකි විය. “අන්න අර ගෑනිට අරකෙ තේරුම කියල දෙනවකො” අවසානයේ විදුහල්පතිතුමා එක් පිරිමි ගුරුවරයකුගෙන් ඉල්ලා සිටියේය. ඉන් පසු ඊට භාවිත වූයේ පංචරය යන පුරුදු නමමය. කොළඹ ප්‍රධාන වීදිවලටද අලුතෙන් යෙදූ නම් සාර්ථක නොවීය. පුරුදු පරිදි බොහෝ දෙනා ඩීන්ස් පාර, බුලර්ස් පාර, තර්ස්ටන් පාර යන පැරණි නම්ම ඊට භාවිතා කරති.

(විලා) යන ප්‍රංශ යෙදුම බොහෝ කාලයක පටන් නිවස යන්න වෙනුවට භාවිතා කරනු ලැබුවේ ඉංග්‍රීසියට හුරුවූවන්ය. සිංහල උදවියද, විලා යන නම රැගෙන, (කුසුම් විලා), (හංසි විලා), (පියුමි විලා) කියන විට ඊට වෙනම අරුතක් මතුව ආවේය. එහෙත් Keller නම් ඉංග්‍රීසි ජාතික කාන්තාවට හිමි Keller Vila නම් නිවසේ නම පසු කලක සිංහලෙන් යෙදූවිට එයට ආවේ වෙනම අරුතකි. “කෙල විලා” යනුවෙන් ප්ලාස්ටික් පුවරුවක සටහන් වූ නම දෙස බලා බොහෝ අය සිනාවක් පෑවේ ඒ වනවිට එම නිවස ගරාවැටී කෙලවිලා තිබුණු නිසාය.

සිංහලෙන් කෙටි නම් හෝ යෙදුම් යෙදූවිට වරෙක මතුවූයේ හාස්‍යයකි. අගනුවර තරුණ කවි සමාජයට අලුතෙන් සභාපතිවරයකු පත්වූ විට එකල පුවත්පතක එහි සිරස සටහන් වූයේ “අත කසනව සභාපති” යනුවෙනි. අපට සිටි අතිසාර්ථකම ගුවන්විදුලි විකට ශිල්පීන් අතර සැමුවෙල් රුද්‍රිගු ඔහුගේ වැඩසටහන්වලට යොදාගත් නම වූයේ, P.K. අමාරිස් යන්නයි. ඔහු කී අයුරු එම වාසගම පුවක්පිටිය කේවට්ටයලාගේ අමාරිස්ය. එය සිංහලෙන් කෙටි කර යෙදූවිට පු.කේ. අමාරිස් වන බව ඔහු එකල පුවත්පතකට කියා තිබිණි. 

අප වාසය කරනා ගමට අවුත් ආර්ථිකේ යැයි කී විට එවිට හැඟවෙන්නේ ශ්‍රී ලංකා ආර්ථිකය නොව, ආර්ථික මධ්‍යස්ථානය බව සැවොම දනිති.

රූපය දිරායයි, නාමය නොදිරයි. එහෙත් හරිහැටි නමක් නොදැමූ විට නාමයද දිරායයි. අපේ කාලයේ නම්වලින් ඒ බව සනාථ වූයේය.

 සමන් පුෂ්ප ලියනගේ