2018 නොවැම්බර් 10 වන සෙනසුරාදා

අලුත් ආණ්ඩුවේ කේන්දරේ!

 2018 නොවැම්බර් 10 වන සෙනසුරාදා, ප.ව. 12:30 213

මේ දිනවල බොහෝ දෙනා බලාසිටින්නේ අලුතින් පත්වුණු ආණ්ඩුවට කුමක් සිදුවේද යන්න පිළිබඳවය. එය ඉක්මනින් කඩා වැටෙනු ඇති බව ඇතැමුන් පවසන අතර තව කොටසක් පවතින්නේ ගොඩනැගුණු රජය සියලු බාධක අබිභවා ඉදිරියට ගමන් කරන බවය. කෙසේ වුවද අද හෙටම මේ පිළිබඳ යම් ඡායාමාත්‍ර දර්ශනය වනවා ඇත.

අභිනව රජය ස්ථාවර වීම හෝ අනාගතය අවිනිශ්චිත වීම මෙන්ම අතරමඟ කඩාවැටීමටද ඇති ඉඩප්‍රස්තා පිළිබඳ ශ්‍රී ලංකාවේ කේන්ද්‍රය මෙන්ම අගමැතිවරැන් දෙදෙනාගේ සහ ජනාධිපතිවරයාගේ කේන්ද්‍රවලින් මතුවන ග්‍රහ තත්ත්වය අනුව තීරණයක් ගැනීමට අපහසු නොවේ. 

මේ වනවිට දේශපාලන කේෂ්ත්‍රයේ මතුව ඇති අර්බුදකාරී තත්ත්වය පිළිබඳ ජ්‍යොතිෂය තුළින් දකින ආකාරය මින් පෙර ලිපිවලින් පැහැදිලි කළෙමි. ජ්‍යොතිෂය විශ්වාස කරන සෑම කෙනෙකුම හිතන දෙයක් වන්නේ හැම දෙයක්ම ජ්‍යොතිෂයෙන් දකින්නට හැකිය යන වැරදි විශ්වාසය මත සිටිමින් ජ්‍යොතිෂය දෙස බැලීමය. ග්‍රහයින්ගේ සංඥා සමඟ මිනිස් සමාජය විසින් නිර්මාණය කරන ලද පරිසරය තුළ අනාවැකි ප්‍රකාශ කිරීම ජ්‍යොතිෂය වෙයි. දැනට පවතින දේශපාලන අර්බුදය ගැනත් නොවැම්බර් මාසයේ උග්‍ර වන අර්බුදකාරී තත්ත්වය තුළ ජනාධිපතිවරයා දැඩි තීරණවලට එළඹීම ඉදිරි දිනවලදීත් සිදුකරනු ඇති බවට දින වකවානු සහිතව මින් පෙර ලිපිවල සඳහන් කළ නිසා නැවතත් පුන පුනා ඒ ගැන සඳහන් කිරීම අවශ්‍ය නොවේ.

ව්‍යවස්ථාව, දේශපාලන පක්ෂ, මැතිවරණ හා පාර්ලිමේන්තුව යනාදී සියල්ල මිනිස් නිර්මාණයන් වේ. රට තුළ පවත්නා මොනයම් හෝ අර්බුදකාරී තත්ත්වයක් ලෝකායන ජ්‍යොතිෂයට අනුවත් එයට බලපාන දේශපාලන චරිතවලට අදාල ජන්මපත්‍ර පරීක්ෂාවෙන් ද පවතින අර්බුදකාරී වාතාවරණය මත දේශපාලන භූමිකාවේ ප්‍රධාන ලෙස රඟන චරිත තුනක් ගැන අවධානයට ලක් කිරීමෙන් යමක් අවබෝධ කරගැනීමට හැකි වෙයි.

රනිල් වික්‍රමසිංහ මහතාගේ කේන්දරයට අනුව ඔහුගේ දුර්වල ග්‍රහචාරය නිසා මීට බොහෝ කාලයක පටන් බලය ක්‍රමයෙන් හීන වෙමින් පැවතුණ අතර ව්‍යාවස්ථානුකූලව සම්මත කරගත් මැතිවරණයක් පැමිණෙන දිනතෙක් එතුමාට බලයේ සිටීමට අවකාශය ලැබුණි. 2018 සැප්තැම්බර් 03 වන දින ජනාධිපතිගේ වර්ෂ උදා කේන්දරයේ බලවත් වීමත් සමඟ රනිල් මහතාගේ දුර්වල ග්‍රහචාරය ක්‍රියාත්මක විය. ඉදිරි දින කිහිපයේ දී ජනාධිපතිවරයා තවදුරටත් දැඩි තීරණ ගන්නා බව මින් පෙරද මා විසින් මෙහි සඳහන් කර තිබුණි.

මහින්ද රාජපක්ෂ මහතාගේ උපන් කේන්දරයේ කේතු ග්‍රහයාගේ අතුරැ දශාව නිම වූයේ 2018 සැප්තැම්බර් මාසයේදීය. ඒ වනවිට සෙනසුරුගෙන් පීඩා වෙමින් තිබූ එම අතුරැ දශාව නිම කරමින් ප්‍රබල තත්ත්වයකට ගෙන එන්නට ග්‍රහ චාරය ක්‍රියාත්මක විය. 2018 නොවැම්බර් 18 වෙනි දින වර්ෂ උදා කේන්දරයේ වර්ෂාධිපති හා මුන්ථ අධිපති සිකුරු ග්‍රහයාට අයත්ව තුලා රාශියේ සහ 5 වන භාවයේ මුන්ථ ස්පූඨය සමඟ සිටින අතර වර්ෂ උදා මොහොත පවතින 18 දිනට පෙර දිනයේ හෙවත් 17 වන දින සිකුරු ග්‍රහයා වක්‍රයෙන් මිදීම නිසා ප්‍රතාපවත් ලෙස නැගිටින්නට මහින්ද රාජපක්ෂ මහතාට හැකියාව ලැබෙනු ඇත. රාජ්‍ය සහාමය අධිපති වන්නේද සිකුරු ග්‍රහයා වීම මෙහි ඇති විශේෂත්වයයි. 2019 අප්‍රේල් මාසයේදී මෙය තවදුරටත් බලවත් වන බව පෙනෙන්නට තිබේ.

රනිල් මහතාගේ 2019 මාර්තු 24 දින උපන් දිනය සමරන වර්ෂ උදා කේන්දරයට අනුව ඔහුගේ බලය අහිමි වෙනවා පමණක් නොව තවත් විශාල අර්බුද රැසකටම අනාගතයේදී මුහුණ පාන්නට සිදුවන බව පැවසිය යුතුව ඇත.

ජ්‍යොතිෂ විඥාණාචාර්ය සාම විනිසුරු 
ඩබ්ලිව්. තිලක් ද සිල්වා

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00